පාසලේදී පන්තියේදී දරුවන් රකින සුහුරු මෙවලම

 ඡායාරූපය:

පාසලේදී පන්තියේදී දරුවන් රකින සුහුරු මෙවලම

අද දවසේ ඔබගේ දරුවා පාසලට නිරුපද්‍රිතව ඇතුළු වුණාද? පාසල් ප්‍රජාවට අයිති නැති කෙනෙක් පාසලට ඇතුළු වීම වලක්වන්න පාසලට පුළුවන්ද? අද හවස අමතර පන්ති තියෙනවාද? පන්තිය වෙලාවට කලින් ඉවර වෙයිද? මේ කාරණා ගැන මේ කාලයේ මවුපියන් වද වෙන බව සැකයක් නැහැ.

අද පාසලට පැමිණි ළමයි කවුද? අද පාසලට පැමිණි ගුරුවරු කවුද? වෙනත් පිටස්තර පුද්ගලයකු අද පාසලට පැමිණියාද? මේ දවස්වල විදුහල්පතිවරුන්ට මේ ගැන අමතර වගකීමක් පැටවී ඇති බවත් අපි දන්නවා.

මේ දිනවල ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියේ සිටින සෑම දෙනෙකුට වගේම මවුපියන් සියලු දෙනාත් මේ ගැටලුවලට උත්තර හොයනවා. පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමඟම ආරක්ෂාව පිළිබඳව මුළු රටම පාහේ කතාබහ කරමින් තියෙනවා. ඒ අතරින් පාසල්වල ආරක්ෂාව පිළිබඳවද විශේෂ අවධානයක් යොමු වෙනවා. මේ ප්‍රශ්නවලට ඉතා නිර්මාණශීලී විසඳුමක් හඳුන්වා දීමට නූතන තාක්ෂණය සමඟ හරි හරියට අත්වැල් බැඳ ගත්ත තරුණයෙක් සමත් වෙලා තියනවා. ඔහු නමින් චමින්ද කණ්ඩම්බිය.

තොරතුරු තාක්ෂණ කළමනාකාරවරයකු ලෙස සේවය කළ ඔහු දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කර තිබේ. තම දරුවා ආරක්ෂිතව පාසලට පැමිණියාද යන්න සහ පාසල හා මවුපියන් අතර වෙනත් තොරතුරු සන්නිවේදනය සඳහාත් පාසලේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහාත් පාසලේ ඉහළ බලධාරීන්ට රුකුළක් වන පරිදි ඔහු මෙම පරිගණක මෘදුකාංගය නිර්මාණය කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ මේ මොහොතේ රටේ ආරක්ෂාව සඳහා තම දායකත්වය ලබා දෙනු වස් ඔහු තම නව සොයා ගැනීමට අදාළ 'යෙදෙවුම් මෘදුකාංගය' (App) දිවයිනේ සියලුම පාසල් සඳහා නොමිලයේ ලබා දීමට සූදානමින් සිටීමයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සමඟ චමින්ද කණ්ඩම්බි 'රැස' සමඟ කතාබහකට මුල පිරීය.

[නිර්මාණි බණ්ඩාරනායක]

මොකක්ද මේ අලුත් මෘදුකාංගය?

මේක මම හඳුන්වන්නේ ‘WST’ කියලා. ‘W’ කියන්නේ ‘Wisdom’ කියන එකට. ඒකෙන් කතා කරන්නේ ගුරුවරුන්ට ‘S’ කියන්නේ ‘Success’ කියන එකට. ඒකෙන් කතා කරන්නේ දරුවන්ට ‘T’ කියන්නේ ‘Trust’ කියන එකට. ඒකෙන් කතා කරන්නේ මවුපියන්ට. මේ වෙලාවේ හැමෝම කතා කරන්නේ ආරක්ෂාව ගැන. මම හිතන විදිහට ඒකට හොඳම විසඳුම මේ App එක. පාසලකට හෝ පෞද්ගලික උපකාරක පන්තිවලට මේ මෘදුකාංගය ගන්න පුළුවන්. ඒ අධ්‍යාපන ආයතනයට ස්මාර්ට් දුරකතනයක් අවශ්‍යයි. අපි හැම ළමයෙකුටම ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දෙනවා. එහි දරුවාගේ ඡායාරූපය තියෙනවා. දරුවා පාසලට හෝ පන්තියට පැමිණෙන විට ගේට්ටුව අසල ආරක්ෂකයකුට හෝ ශිෂ්‍ය නායකයකුට මේ මෘදුකාංගය සහිත ස්මාර්ට් දුරකථනය ලබා දුන්නාම ළමයාගේ ඩිජිටල් කාඩ් එක මඟින් ස්මාර්ට් දුරකතනයට ඒක දැනුම් දෙනවා. අතපසුවීමකින් ළමයකුට කාඩ් එක අමතක වුණොත් ළමයාගේ නම Search කරලා අනන්‍යතාව තහවුරු කරගෙන පාසලට ඇතුළු වෙන්න ඉඩ දෙන්න පුළුවන්. මේකේ පවතින තවත් විශේෂත්වයක් තමයි පාසලට විතරක් නෙමෙයි, පෞද්ගලික උපකාරක පන්තිවලටත් ළමයාට එකම ඩිජිටල් කාඩ් එකකින් ඇතුළු වීමට පුළුවන් වීම.

මේ ‘WST’ මෘදුකාංගය මේ මොහොතේ වැදගත් වෙන්නේ කොහොමද?

මේ වෙලාවේ හැමෝම කතා කරන්නේ ආරක්ෂාව ගැනනේ. ළමයින්ගේ ආරක්ෂාව මවුපියන්ට ප්‍රශ්නයක් වෙලා තියනවා. මේ ක්‍රමවේදය මඟින් ළමයා පාසලට එනකොට පාසලටම අයත් ළමයෙක්ද කියලා අඳුරගන්න පුළුවන්. මවුපියන්ට ළමයා ආරක්ෂිතව පාසලට ගියාද කියලා දැනගන්න පුළුවන්. ළමයා පාසලට යන්න පරක්කු වුණාම ඒක දැනගන්නත් පුළුවන්.

මෙය මවුපියන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

අපි මේක හැදුවේ මවුපියන්ටත් ප්‍රයෝජනවත් වෙන විදිහට. උදේ 7.30 ඉඳන් 8.00 වෙනකල් පරක්කු වෙලා පාසලට දරුවෙක් ගියොත් මවුපියන්ගේ දුරකථනයට SMS පණිවුඩයක් යනවා දරුවා පරක්කු වෙලා පාසලට ගියේ කියලා. පාසලට දරුවා ගියේ නැතිනම් මවුපියන්ට ඒකත් SMS පණිවුඩයක් මඟින් දැනුම් දෙනවා. ඒ වගේම මේකෙන් ලැබෙන අමතර පහසුකමක් තමයි මවුපියන් සහ පාසල අතර පණිවුඩ හුවමාරු ක්‍රමවේදයක් විදියටත් මේ මෘදුකාංගය භාවිත කිරීමට පුළුවන් වීම. පාසල් කාලය තුළ ගුරුවරුන්ට සහ පාසලට පුළුවන් මවුපියන්ට පණිවුඩ ලබා දෙන්න. රැස්වීම් ගැන, ගෙදර වැඩ සම්බන්ධයෙන් හෝ වෙනත් තොරතුරක්. මේ මෘදුකාංගය මම නිර්මාණය කළේ ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියේදී තොරතුරු සන්නිවේදනයට සහ ආරක්ෂාව සඳහා.

මේ වගේ මෘදුකාංගයක් සකස් කිරීමට හේතුව මොකක්ද?

මේක මම නිර්මාණය කළේ 2014දී. පෞද්ගලික උපකාරක පන්ති ඉලක්ක කරගෙන ළමයින්ගේ ආරක්ෂාවට සහ ආයතනයේ පහසුවට තමයි මේක නිර්මාණය කළේ. ඒ කලේ මාධ්‍ය ඔස්සේ මට දැනගන්න ලැබුණා පෞද්ගලික පන්ති යන දරුවන් වෙනත් අනිසි දේවල්වලට යොමු වෙනවා කියලා. ගෙදරින් යන ළමයා පන්ති ගියාද කියන ගැටලුව මව්පියන්ට තිබුණා. මම මේක ගැන හොයලා බැලුවා. සෙනසුරාදා, ඉරිදා පංතිවල කාඩ් කපන්නත් ගියා. ඒ කාඩ්වලත් වංචා සිද්ධ වෙනවා දැක්කා. මේ ගැටලු සියල්ලටම විසඳුමක් පවතින ක්‍රමවේදයක් හදන්නයි මට ඕන වුණේ.

මේ සඳහා ඔබට ලැබුණු සම්මාන ගැන සඳහන් කළොත්?

මේ මෘදුකාංගය වෙනුවෙන් මට සම්මාන හතරක් ලැබුණා. British Computer Society ආයතනයෙන් National Best Quality ICT Award එක ලැබුණා 2015දී. 2016දී මට සම්මාන දෙකක් ලැබුණා. British Computer Society ආයතනයෙන්ම තවත් සම්මානයක් ලැබුණා. 2016දී මට රජයෙන් Special Merit Award එකක් ලැබුණා. ඒ වගේම සිරස "කෝටියක් වටින අදහස්" වැඩසටහනෙනුත් මට සම්මානයක් ලැබුණා. ඊට අමතරව මේ මෘදුකාංගයේ ඉදිරි වැඩකටයුතු සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක් ලැබුණා.

මේ වන විට ‘WST’ මෘදුකාංගය අධ්‍යාපන ආයතනවල භාවිත වෙනවාද?

ඔව්. මීට වසර එකහමාරකට කලින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මේ මෘදුකාංගය ගැන අහම්බෙන් තොරතුරු දැකලා මට කතා කළා. දරුවන්ව සුරක්ෂිතව පාසලට ගන්න මේ ක්‍රමවේදයේ අවශ්‍යතාව ඔවුන් තේරුම් අරගෙන මේ මෘදුකාංගය මගෙන් මිලදී අරගෙන දැන් භාවිත වෙනවා. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 10/11 ශ්‍රේණිවල දරුවන් සඳහා මේ ක්‍රමවේදය මීට පෙර භාවිත වුණා. ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ මුළු පාසලටම මේක අරගන්න මට කතා කළා. ඊට අමතරව පෞද්ගලික උපකාරක පන්ති 60ක් විතර මේ ක්‍රමවේදය භාවිත කරනවා. තව පාසල් තුනක් මේක ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න කතා කරලා තියෙන්නේ. ඒ මීගමුව ආවේමරියා කන්‍යාරාමය, මීගමුව ලොයොලා විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය.

දැන් ඔබ මේ මෘදුකාංගය පාසල් සඳහා නොමිලේ ලබා දෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒ ගැන විස්තර කළොත්?

ඔව්. මම සූදානම් ලංකාවේ සියලුම පාසල්වලට මේ මෘදුකාංගය නොමිලේ ලබා දෙන්න. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වගේම මවුපියන්ගේ සහ පාසලේ විනිවිදභාවය වෙනුවෙන් මම මේක නොමිලේ ලබා දෙන්න සූදානම්. ළමයි 2,000ට වැඩි පාසල් සඳහා මම මේක ලබා දුන්නේ ලක්ෂ දෙකහමාර ගාණේ. ළමයි 1,000ට වැඩි පාසල් සඳහා මම මේක ලබා දුන්නේ එක්ලක්ෂ හැත්තෑපන්දහස ගාණේ. ඒත් මේ අයකිරීම සම්පූර්ණයෙන් ඉවත් කරන්න මම තීරණය කළා. ඩිජිටල් හැඳුනුම්පත සඳහා පමණක් රු.400ක් අය කරනවා. ඒක විදේශ රටකින් හදන්නේ. ඒ සඳහා විතරයි අය කිරීමක් කරන්නේ. මෘදුකාංගය මගේ නිසා මම ඒක නොමිලේ ලබා දෙනවා සෑම පාසලකටම. මවුපියන්ගේ දුරකථනවලට SMS මඟින් දැනුම් දෙන නිසා රුපියල් 40ක මුදලක් මේකට මාසෙකට අය කරනවා. ඒක ඉතාම සුළු ගාණක්. ඕනෑම දුරකථන ජාලයකට මේක සම්බන්ධයි.

මේ සම්බන්ධයෙන් ඉහළ බලධාරීන්ව ඔබ දැනුවත් කළාද?

ඔව්. මේ සිදුවීම වෙන්න මසෙකට විතර කලින් මම අගමැතිතුමාට ලිඛිත පණිවුඩයක් යැව්වා රජයේ මැදිහත්වීමෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ සඳහා සහයෝගයක් ලබා දෙන්න කියලා. ඒක සලකා බලා අගමැතිතුමාගේ ලේකම් කාර්යාලයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ට ලිඛිත පණිවුඩයක් මඟින් දන්වලා තියෙනවා මේ ගැන සොයා බලා ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. නමුත් ඒකට තවම ප්‍රතිචාරයක් නැහැ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහත්මයාට මේකට සහයෝගය දෙන්න කියලා දැන්වුවාම අද (13) මේ ගැන සාකච්ඡා කරන්න මට එන්න කියලා කිව්වා. මම යෝජනා කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයට මට ලිඛිත අවසරයක් ලබා දීලා මේක ක්‍රියාත්මක කරන්න අවසර ලබා දෙන්න කියලා.

ඉදිරියේදී මේ මෘදුකාංගයත් සමඟ ක්‍රමවේදයේ වෙනස්කම් කරන්න ඔබ බලාපොරොත්තු වෙනවාද?

දැනට SMS පණිවුඩයක් මඟිනුයි මවුපියන්ට තොරතුරු දැනුම් දෙන්නේ. ඉදිරියේදී Mobile App එකක් හරහා මවුපියන්ට තොරතුරු සියල්ල බලා ගන්න පුළුවන් වෙයි. උපකාරක පන්ති සඳහා ගෙවීම් ඉදිරියේදී මෙමඟින් කරන්න පුළුවන් වෙයි. පාසල් දරුවන්ට ලබා දෙන සුරක්ෂා රක්ෂණාවරණය සඳහාත් මේ ඩිජිටල් කාඩ් එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම නිල ඇඳුම් වවුචරය වෙනුවට මේ කාඩ් එක භාවිත කරන්න පුළුවන්. එතකොට අදාළ පහසුකම සහිත සාප්පුවකට ගිහින් මවුපියන්ට පුළුවන් නිල ඇඳුම් සඳහා රෙදි මිලදී ගන්න. ඊට අමතරව පාසල් ළමයින්ට බස් එකේ යන්න සීසන් එකක් විදිහට භාවිත කරන්න පුළුවන් හැටියට ඉදිරියේදී මම මේ මෘදුකාංගය හදනවා. මේ සියල්ලම තනි කෙනෙක්ට කරන්න අමාරුයි. මම රජයෙන් ඉල්ලීමක් කරනවා මේ සඳහා රජයේ සෘජු මැදිහත්වීමක් කරන්න කියලා.

මාතෘකා