ආත්ම විශ්වාසය ඇති චරිතයක් වීමට....

 ඡායාරූපය:

ආත්ම විශ්වාසය ඇති චරිතයක් වීමට....

ව්‍යවසායකයෙක් විදිහට පමණක් නොවෙයි එදිනෙදා ජීවිතයේදී වුණත් තමන්ට තමා ගැන විශ්වාසයක් නැත්නම් ඔහු හෝ ඇය සාර්ථක පුද්ගලයෙක් නොවෙයි. සාර්ථක තැනැත්තා තුළ ඇති ආත්ම ශක්තිය ඔවුන්ට ස්වයං ආශීර්වාදයක් ලබා දෙනවා. ඒ වගේම ආත්මශක්තිය අපි උපත ලබන විට රැගෙන එන දෙයක් නොවෙයි. හිස් අතින්ම උපත ලබන අපි ජීවිත් වීම සමඟ බොහෝ දේ උපයා ගන්නවා වගේම ආත්ම ශක්තියත් අපි විසින්ම ගොඩනඟා ගන්නා අපේම ජීවිතයට අනිවාර්ය ආශීර්වාදයක් ලබා දෙන ගුණාංගයක්. එහෙමනම් අපේ ආත්ම ශක්තිය ගොඩනඟා ගැනීමේ සරලම පියවර මොනවාද....?

පුද්ගලයාගේ බාහිර පෙනුම

අපේ ජීවිතයේදී සහකරුවෙක් හෝ සහකාරියක් සොයන ගමනේ දී අපි බොහොම සීරුවට අපේ පෙනුම උපරිම විදිහට සූදානම් කර ගන්නවා. 'පෙනුම නොවෙයි, ගතිගුණයි වැදගත්' කිව්වත් නොදැනීම හෝ ගතිගුණට වඩා අපේ මුල්ම හැඟීම ගොඩනැ‍ඟෙන්නේ පෙනුමටයි. ව්‍යවසායකයෙක් ගැන වුණත් මේ තත්ත්වය සාධාරණයි. මොන තරම් ගුණාත්මක සන්නාමයක හිමිකරුවෙක් වුණත් මුලින්ම දකින විට ඇති වන හැඟීම හෙවත් First Impression වඩාත් වැදගත්. තමන්ගේ පෙනුම පිළිවෙළකට තබා ගන්නවා කියන්නේ ඉතාම සරලව, 'තමන්ට තමන් විශ්වාසයි' කියන පණිවිඩයයි.

තමන්ගේ ක්ෂේත්‍රය ගැන දැනගන්න

ඔබේ ව්‍යවසායකත්වය කුමන භාණ්ඩ හෝ සේවා සම්බන්ධයෙන් තිබුණත් අදාළ භුමිකාවේදී ඒ වෙනුවෙන් වූ අවබෝධයක් සහ දැනුවත් බවක් නැති වුණොත් යම් අවස්ථාවකදී ඔබට ඔබ ගැනත් ඇති විශ්වාසය බිඳ වැටෙනවා. උදාහරණයක් විදිහට ඔබ දක්ෂ සූපවේදියෙක් විදිහට නම් දරා ඇති චරිතයක් වුණත් යම් අවස්ථාවකදී මේ වගේ ප්‍රශ්නයක් ඔබගෙන් ඇහුවොත්.

එකසිය පනහකට විතර උත්සවයක් ලෑස්ති කරන්න ඕන. මගේ 'මෙනු' එකට අවශ්‍ය කළමනා ගැන ඇස්තමේන්තුවක් කෙනෙක් ඉල්ලා හිටියොත් ඔබට ඒ ගැන අවබෝධයක් නැත්නම් ඇතිවන අපහසුතාව නිසා ඔබ ගැනම ඇති ආත්ම විශ්වාසය බිඳ වැටෙන්න පුළුවනි. ඒ නිසා නිතරම ඔබේ ව්‍යාපාරය ගැන පමණක් නොව ප්‍රවර්තන තත්ත්වයන් ගැනත් අවබෝධයකින් සිටිනවා නම් ඔබ ගැන ඇති ආත්ම විශ්වාසය බිඳ වැටෙන තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ.

ආත්ම විශ්වාසය ඇත්නම් සාර්ථකත්වය ඉතාම පහසුයි

පුද්ගලයකුට සාර්ථකත්වයට පත්වීම එතරම් පහසු දෙයක් නොවෙයි කියලා හිතුවත් සාර්ථකත්වයට පත් මිනිසුන්ගේ රහස ගැන ඔබ නොදන්නවා විය හැකියි. විශිෂ්ටත්වයට පත් පුද්ගල චරිත පිළිබඳ කරුණු සොයා බැලුවොත් ඔවුන්ගේ රහස බිඳ නොවැටෙන ආත්ම විශ්වාසය බව සනාථ වේවි.

සමාජශීලී වීම

ආත්ම විශ්වාසය ඇති පුද්ගලයා බෙහෙවින් සමාජශීලීයි. ඔවුන් සමාජය සමඟ ජීවත්වෙන්න කැමැතියි. ඇතැම් පුද්ගලයන් බොහෝ විට සමාජයට සම්බන්ධ නොවී හුදකලාව ජීවත්වීම ප්‍රිය කරනවා. ඔවුන් එසේ හුදකලා වන්නේ සමාජයේ හැලහැප්පීම් සමඟ ඉදිරියට යෑමට තිබෙන බිය නිසයි. එහෙත් සමාජශීලී පුද්ගලයා තමාට ලැබෙන ප්‍රශංසාවන් මෙන්ම චෝදනාවන්ද දරාගන තව තවත් අත්දැකීම් උපයා ගෙන ඉදිරියට යන හැකියාවෙන් යුක්තයි.

තමන්ටත් විනෝදාංශයක්

ආත්ම විශ්වාසය ඇති ව්‍යවසායකයෙක් තුළ යම් විනෝදාංශයනුත් තිබෙනවා. බාල කාලයේ පටන් අපි තුළ තිබෙන විනෝදාංශ වියපත් වුණාම යම් යම් අන්දමින් වෙනස් වෙන්න පුළුවනි. ඒත් අපේ ජීවිතයට යම් විනෝදාංශයක් අවශ්‍යයි. එසේ නොවුණාම අපේ ජීවිතයේ කිසියම් ගලා ගෙන යෑමක් නැහැ. ඒ නිසා ආත්ම ශක්තිය ඇති පුද්ගලයන් විනෝදාංශ ගැනත් යොමු වෙන චරිත බවට පත්ව සිටිනවා. ඒ නිසා පුද්ගලයෙක් විදිහට නිතරම අනවශ්‍ය විදිහට වගකීම් ඇති චරිතයක් බැව් ප්‍රදර්ශනය කරනවාට වඩා යම් විවේකයක් ගනිමින් විනෝදාංශයක නිරතව ජීවත් වෙනවා නම් ඔබේ හිතට සතුට වගේම ඇති වෙන ධනාත්මක බව නිසා ආත්ම ශක්තිය නොදැනීම ගොඩනැඟෙනු ඇති.

[පුන්‍යා චාන්දනී ද සිල්වා]

 

මාතෘකා