උපයන දෙයින් රටටත් සමාජයටත් සේවයක් කිරීම මගේ ව්‍යාපාර දැක්මයි

 ඡායාරූපය:

උපයන දෙයින් රටටත් සමාජයටත් සේවයක් කිරීම මගේ ව්‍යාපාර දැක්මයි

 

වික්‍රමාරච්චි ඔප්ටීෂියන් නිර්මාතෘ සහ සභාපති

මිහිර වික්‍රමාරච්චි

බොහෝ දෙනෙක් තම ජීවිතයේ වටිනාම දේවල් ප්‍රවේශම් කරන්නේ "ඇස් දෙක වාගේ "ය. එහෙත් ඇතැම් අය තමන්ගේ ඇස් ගැන දක්වන්නේ අඩු සැලකිල්ලකි. එම නිසාම වර්තමානයේ කුඩා දරුවන් පවා විවිධාකාර අක්ෂි ආබාධවලට ලක්වී සිටිති. වික්‍රමාරච්චි ඔප්ටීෂියන් ආයතනය හෙවත් ජේ. එම්. වික්‍රමාරච්චි සමාගම දශක හතරකට වැඩි කාලයක් තිස්සේ සුවහසක් දනන්ගේ ඇස් පෑදීමේ මහඟු සත්කාරයේ නියැලී සිටින සුප්‍රකට සහ කීර්තිමත් සමාගමකි. ඉහළම ප්‍රමිතියේ ඇස් කන්නාඩි, අව් කන්නාඩි, කන්නාඩි රාමු මෙන්ම කාච වර්ග සැපයීම, ඉහළ අක්ෂි පරීක්ෂණ සේවා සැපයීමෙන් ඔබ්බට ගොස් Wickramarchchi Speech and Hearing ආයතනය මඟින් ජනතාවගේ ශ්‍රව්‍ය හා කථන හැකියාව දියුණු කිරීම, ශ්‍රවණ හැකියාව දියුණු කිරීමේ උපදෙස් සහ උසස් තත්ත්වයේ තාක්ෂණික උපකරණ සැපයීමේ සිට ආශ්චර්යවත් කර්ණශංඛ බද්ධය දක්වා සිය සේවා ජාලය විහිදුවාලූ විශිෂ්ට සමාගමක් ලෙස වික්‍රමාරච්චි ඔප්ටීෂියන් ආයතනය හෙවත් ජේ. එම්. වික්‍රමාරච්චි සමාගම හැඳින්විය හැකිය.

මෙම ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන නියමුවා වන්නේ ජ්‍යේෂ්ඨ අක්ෂි විශේෂඥ මිහිර වික්‍රමාරච්චි මහතාය. ජාත්‍යන්තර ශ්‍රව්‍ය දෘශ්‍ය සංගමය, ඇමෙරිකානු ශ්‍රව්‍ය දෘශ්‍ය සංගමය, බ්‍රිතාන්‍යයේ ශ්‍රව්‍ය දෘශ්‍ය සංගමය සහ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් පදනම ආදී ජාත්‍යන්තර සංගම් රැසක සාමාජිකයකුද වන ඒ මහතා දශක හතරකට වැඩි කාලයක් ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත පළපුරුදු සායනික ශ්‍රව්‍ය දෘශ්‍ය විශේෂඥවරයෙකි. මේ 'රැස' මිහිර වික්‍රමාරච්චි මහතා සමඟ කළ කතාබහකි.

ඔබ ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වීම සිදුවූයේ කෙසේද?

ව්‍යාපාරයක් කරනවා කියන අදහස හිතට ආපු හැම වෙලාවකම මට අවශ්‍ය වුණේ ව්‍යාපාරයක් කරන ගමන් ඒ උපයන ආදායමින් මිනිස්සුන්ට සහ සමාජයට සේවයක් කරන්නයි. ඒ කාලයේ මිනිස්සු ඇස්වලට වඩා කන් ගැන උනන්දු වෙන තත්ත්වයක් තිබුණේ. ඒ නිසා මුලින්ම මම ශ්‍රව්‍ය උපකරණ ක්ෂේත්‍රයෙන් ව්‍යාපාරය පටන්ගත්තා. ඉන්පසු Southampton විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ශ්‍රව්‍ය සහ දෘශ්‍ය යන දෙඅංශයෙන්ම ව්‍යාපාරය පුළුල් කළා.

ව්‍යාපාර කටයුතු සඳහා පවුලෙන් ලැබුණු අනුබලය කුමනාකාරද?

මගේ පියා ව්‍යාපාරිකයෙක්. මව ගණිත ගුරුවරියක්. මම ඉපදුණේ කොළඹ. අක්කලා තුන්දෙනෙක් සහ අයියා කෙනෙක්ගෙන් යුතු පවුලේ බාලයා වුණේ මම. ඔවුන්ගෙන් තිදෙනෙක් ඉංජිනේරුවෝ වුණා. එක් කෙනෙක් ගෘහ නිර්මාණ ශිල්පිනියක්. කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු අවසන් කළාට පසුව මමත් ටික කලක් ඉංජිනේරු විද්‍යාව හැදෑරුවා. නමුත් එය මගේ සිත් ගත්තේ නැහැ. මම විතරයි ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමුවුණේ. නමුත් මට පවුලෙන් විශේෂයෙන් මගේ සහෝදරයන්ගෙන් ලොකු ශක්තියක් ලැබුණා. අපි පවුලම ගණිතයට සහ භෞතික විද්‍යාවට 'ටොප් මාක්ස්' ගත්තේ. මම හිතන්නේ ඒක ජානවලින් එන දෙයක්. ඒ වගේම කලාවටත් ලැදියි. නිතරම අලුත් දෙයක් කරන්නත් එයින් සමාජයට, මිනිසුන්ට දෙයක් දීමටත් අවශ්‍ය වූ නිසයි මම ව්‍යපාර ක්ෂේත්‍රය තෝරාගත්තේ.

ඒ අවධියේ මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය පැවතියේ කුමන තත්ත්වයකද?

මම ව්‍යාපාරය පටන්ගත්තේ 1976දී. ඒ එක්කම වගේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථික ක්‍රමය ලංකාවට ආවා. ඒ වගේ කාලයක් දැන් ආයෙත් ඇවිත් කියලා මට හිතෙනවා. මේක අලුතින් ව්‍යාපාර පටන් ගන්න හොඳම කාලයක්. මම හැමවෙලාවෙම අභි‍යෝග බාරගන්න කෙනෙක්. ඒ නිසා ඒ කාලය කියලා මට වරදක් වුණේ නැහැ.

ඒ තුළ ඔබ ලබාගත් ජයග්‍රහණ මොනවාද?

ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ක්ෂේත්‍රයෙන් ලෝකයේ හොඳම තාක්ෂණය, ගුණාත්මක උපකරණ තිබෙන්නේ ජර්මනියේ. ආසියාෙවන් සිංගප්පූරුවේ සහ ජපානයේ. නමුත් ශ්‍රවණාබාධිතයන්ට ඇසීම ලබාදෙන කර්ණශංඛ බද්ධයෙන් ආසියාවේ පළමු තැනට පත්වීමට අපට හැකිවුණා. එය විශාල ජයග්‍රහණයක්. එය ලෝකයේ තිබෙන අසීරුම ශල්‍යකර්මයක් ලෙසයි සැලකෙන්නේ. ඒ සඳහා ඉහළ තාක්ෂණික උපකරණ අවශ්‍ය වගේම විශාල මුදලක් දැරීමට සිදුවෙනවා. බොහෝ රටවල රෝහල්වල මෙවැනි ශල්‍යකර්මයකින් සිදුකරන්නේ තමන්ට උපයාගැනීමක්. නමුත් මම ඇතැම් විට වෙනත් රෝහල්වල ප්‍රතික්ෙෂ්ප කළ කර්ණශංඛ බද්ධ කිරීම් පවා සිදුකිරීමේ අභියෝග බාරගෙන තිබෙනවා. ඇතැම්විට යුරෝපීය රෝහල්වලටත් වඩා හොඳින් ඒ දේවල් සිදුකළ අවස්ථා තිබෙනවා. කර්ණශංඛ බද්ධය සිදුකරන්නේ සම්පූර්ණයෙන් ඇසීම නැති පුද්ගලයන්ටයි. නමුත් එම ශල්‍යකර්මය හාස්කමක් නොවෙයි. අද ඖෂධ, සෞඛ්‍ය සේවා කියන්නේ හාස්කම් නෙවෙයි. ඒ සියල්ල සිදුවන්නේ තාක්ෂණය තුළින්. උදාහරණයක් විදිහට කියනවා නම් මේ වෙද්දි ඇස් කන්නාඩි කියන්නේ පෙනීම ලබාදෙන දෙයක් පමණක් නෙවෙයි. විලාසිතාවක්. ඒ සඳහා තාක්ෂණය බොහෝදුරට ඉවහල් වී තිබෙනවා.

ඇතැමුන් නව නිපැයුම් සොයාගැනීමට මැළිකමක් දක්වනවා. ඒ ගැන ඔබේ අදහස?

මිනිස්සුන්ට නිතරම අවශ්‍ය අලුත් දේවල් බවයි මගේ විශ්වාසය. ඒ සඳහා ඥානය තිබෙන මිනිස්සු අපේ රටේ සිටිනවා. ඒ නිසා එය පහසුවෙන් කළ හැකියි. ඒ වගේම අලුත් දෙයක් තුළ තරගයක් නැහැ. ඒ නිසා ඒ තුළින් සාර්ථකත්වයට පත්වීම පහසුයි. කෙටියෙන් කියනවා නම් මුළු ලෝකයේම බොහෝදෙනා මුදල් හොයන්න එකම දේවල් කරන විට මම නිතරම මුළු ලෝකයම කරන දේට වඩා අලුත් දෙයක් කරනවා. ඒ වගේම බොහෝ දෙනාගෙන් වෙනස් වන ව්‍යාපාර දැක්මක් මට තිබෙන්නේ. මට අවශ්‍ය උපයන දෙයින් රටට ජනතාවට සේවයක් කිරීමටයි .

ඒ ගැන වැඩිදුරටත් පැහැදිලි කරනවා නම්?

මගේ ව්‍යාපාරය තුළින් මම කරන සමහර දේවල්වලින් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය මුදලින් තක්සේරු කරන්න අමාරුයි. අපේ රටේ ජනතාවගෙන් සියයට 2කට ඇහෙන්නේ නෑ. දරුවෙක් උපදිද්දි ඔහුට ඇහෙන්නේ නැත්නම් ඒක ඒ පවුලට වගේම රටේ ආර්ථිකයටත් බරක්. නමුත් ඔහුගේ ඒ ආබාධය සුව කළාම ඔහුත් මේ රටේ ආර්ථිකයට දායක වනවා. මේ වන විට අපි කර්ණශංඛ බද්ධ කිරීම් 700කට වඩා සිදුකර තිබෙනවා. ව්‍යාපාරය තුළින් උපයන දේවල් මම වැය කරන්නේ එවැනි සේවාවන් සඳහායි. ආණ්ඩුවලට බැන බැන ඉන්න එක මගේ ප්‍රතිපත්තිය නෙවෙයි. අපිට පුළුවන් විදිහට රටේ ආර්ථිකය හදන්න දායක වෙන්න ඕන. ආසියාවේ පළමු වතාවට අපි ශ්‍රවණාධාරයක් හඳුන්වා දුන්නා. නමුත් ලංකාවේ මිනිස්සු මේවා ගැන දන්නෙත් නැහැ. ඒවා අගය කරන්නෙත් නැහැ. මේක ලාභ පෙන්විය නොහැකි සමාජ සේවය සමඟ යන ව්‍යාපාරයක්.

මේ වන විට ඔබේ ආයතනය ශ්‍රව්‍ය සහ දෘශ්‍ය උපකරණ සහ සේවා සැපයීමෙන් ඔබ්බට ගමන් කර තිබෙනවා නේද?

ඔව්. කොළඹ හෝර්ටන් පෙදෙසේ අපේ අලුත්ම ශාඛාව hearing balance wealth centre එකක් විදිහටයි භාවිත කරන්නේ. මේ වන විට අපේ රටේ ශ්‍රවණාබාධ වැඩි වී තිබෙනවා. අපි දන්නෙම නැතිව අපිට ඇසීමේ ප්‍රශ්නයක් තිබෙන්න පුළුවන්. මොකද අද තිබෙන ඇතැම් රෝග සහ ජීවන රටාව අනුව හැම කෙනෙක්ම වගේ ඇසීමේ සහ පෙනීමේ තත්ත්වය පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්. 'මෙඩිකල් ටුවරිසම්' කියන සංකල්පය අපේ රටට ගෙන ඒමටත් එහි පියවරක් විදිහට ලබන ජුනි මාසයේදී ඒ පිළිබඳ ලෝක සමුළුවක් ලංකාවේ පැවැත්වීමටත් මම බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් විදේශීය සංචාරකයන්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකිය. ඒ වගේම ව්‍යාපාරයේ ගුණාත්මක භාවය, තාක්ෂණය සහ උපකරණ මම ඉහළින්ම නඩත්තු කරනවා. ඕනෑම අයෙක්ගේ ඇහේ සම්පූර්ණ අභ්‍යන්තරය පරීක්ෂා කර රෝගාබාධ හඳුනාගත හැකි නවීන උපකරණ අපේ ආයතන සතුයි. මේ වෙද්දි අපි මෙරට බොහෝ රෝහල් සඳහා වෛද්‍ය උපකරණ ගෙන්වනවා. ඒවායේ තත්ත්වය, ගුණාත්මක භාවය අපි ඉතා හොඳින් නඩත්තු කරනවා. මෑතකදී අපි ඔරෙන්ජ් සමාගම හා එක්වී අන්ධ අයට පුවත්පතක්, පොතක් කියවිය හැකි ඇස් කන්නාඩියක් හා සමාන උපකරණයක් හඳුන්වා දුන්නා. එය ශබ්ද පවා හඳුනාගත හැකි උසස් තාක්ෂණයෙන් යුතු උපකරණයක්.

සාර්ථකත්වය කරා ආ ගමනේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?

අභියෝග සහ ප්‍රශ්න මට නිතරම හමුවුණා. නමුත් මම ඒ සියල්ලම මුහුණ දුන්නා. මම හිතන්නේ මෙවැනි සේවාවන් දියුණු කරගැනීම සඳහා මේවා ජනතාවට අවශ්‍ය සේවාවන් ලෙස සලකා රජය සහ බැංකුවලින් සහන ලබාදිය යුතුයි. ශ්‍රව්‍ය දෘශ්‍ය සේවා සහ උපකරණ ක්ෂේත්‍රය කියන්නේ ලෝක වෙළෙඳපොළක් අවශ්‍ය ව්‍යාපාරයක්. ඒ සඳහා ප්‍රමාණවත් තරම් රෝහල්, සායන, වෛද්‍යවරු අවශ්‍යයි. ඒ ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන විශාල අඩුවක්. මේ ක්ෂේත්‍රයේ මිනිස්සු නොදන්න සැඟවුණු දේවල් ගොඩක් තිබෙනවා. සායනික අංශය ගැන අපි වැඩි අවධානයක් යොමුකරනවා. ඒ වගේම නව තාක්ෂණය, උපකරණ සහ මෘදුකාංග මේ ක්ෂේත්‍රයට අවශ්‍යයි.

පාරිභෝගිකයන්ට ඔබගේ ආයතනය තුළින් සැලසෙන සේවාවේ විශිෂ්ටත්වය කුමක්ද?

අපේ ආයතනය තුළින් නිෂ්පාදනයක් මිලදී ගන්නා පාරිභෝගිකයාව එතැනින් පසු අතහැර දැමීමක් සිදුවන්නේ නැහැ. ඔහුගේ දුබලතාවට සම්පූර්ණ විසඳුමක් ලබාදීමයි අපේ අපේක්ෂාව. ඒ වගේම ලොව සුප්‍රකට ඉහළම ගුණාත්මක ශ්‍රව්‍ය, දෘශ්‍ය උපකරණ භාවිත කිරීම තමයි අපේ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ පළමු රහස. උදාහරණයක් විදිහට කියනවා නම් ඇස් කාචයක් ගත්තොත් එහි ගුණාත්මක භාවය ඉතා ඉහළ විය යුතුයි. කර්ණශංඛ බද්ධයට භාවිත කරන්නේ ජීවිත කාලයම ක්‍රියාකළ යුතු උපකරණයක්. ඒවායේ ගුණාත්මක භාවය ඉතා ඉහළින්ම පවත්වාගෙන යෑමට නිතරම කටයුතු කරනවා. ඒ තුළ අපි පාරිභෝගික විශ්වාසය දිනාගෙන තිබෙනවා.

ශාඛා 30ක්, 175ක කාර්ය මණ්ඩලයක් විධිමත්ම පාලනය කිරීම සඳහා ඔබ අනුගමනය කරන ක්‍රමවේද මොනවාද?

ඒ සියල්ල මම ජාලගත සැලසුමකට අනුවයි පාලනය කරන්නේ. ඒ සඳහා තාක්ෂණය, මෘදුකාංග, කැමරා භාවිත කරනවා. බොහෝ අය ෆේස්බුක්,ගූගල් පාවිච්චි කරන්නේ ප්‍රාථමික මට්ටමින්. නමුත් ඒ තුළින් ගතහැකි ප්‍රයෝජන රැසක් තිබෙනවා. ඒ තාක්ෂණය මම භාවිත කළේ අද ඊයේ නොවෙයි. මීට වසර 20කට පමණ පෙරයි. අද අපි උගන්වන්නේ, ඉගෙන ගන්නේ වට්ස්අප්, ස්කයිප් ආදිය තුළින්. මම හිතන්නේ තාක්ෂණය නිසි භාවිතය තුළින් බොහෝ දේ නිසි පරිදි කරගත හැකියි.

ඔබේ ඉදිරි ව්‍යාපාර සැලසුම් මොනවාද?

ගුවන් යානා හැර අනෙක් අවශ්‍ය සියල්ලම සම්පූර්ණ කොට අනුමැතිය පවා ලබාගත් ගුවන් සේවාවක් මා සතුයි. එය ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජන ලැබෙන තුරු සහ ඒ සඳහා රට තුළ වෙළෙඳපොළක් සකස් වන තුරු මම බලා සිටිනවා. ඒ වගේම නිමි ඇඳුම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන්ද මගේ අවධානය යොමුවී තිබෙනවා.

ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීමට අදහස් කරන නවකයන්ට දිය හැකි උපදෙස් මොනවාද?

ව්‍යාපාර ගැන මට ලොකු කලබලයක් තිබුණා. ඒ නිසා මම වඩා ඉක්මන් පාරවල් සොයාගත්තා. එය මට සාර්ථකත්වය ගෙනාවා. ඒ නිසා වෘත්තීයවේදීන්ට මම කියන්න කැමතියි උපාධිය ගන්නකම් නොසිට කුමක් හෝ දෙයක් කර අත්දැකීම් ලබාගන්න කියලා. නමුත් අනවශ්‍ය දේවල්වලට ආයෝජනය කිරීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම බිස්නස්වලදි වැදගත් වන්නේ උත්සාහ කිරීම සහ අල්ලාගෙන සිටීමයි. ඕනෑම ව්‍යාපාරයක් සාමාන්‍ය තත්ත්වයට එන්න වසර 3ක්වත් ගතවනවා. එය ස්ථාවර වෙන්න වසර 5ක්වත් ගතවනවා. ඒ නිසා අතහරින්නේ නැතිව අල්ලගෙන ඉන්න. ඒ වගේම පාරිභෝගිකයා රවටා ව්‍යාපාර දියුණු කරන්න බැහැ. එය පිරිසුදුව අවංකව කළ යුතුයි. පාරිභෝගික සේවය ඉහළ මට්ටමක තිබීමත් ව්‍යාපාරයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍යයි. ඒ වගේම මම නම් හිතන්නෙ නැහැ කාලය නරක දෙයක් කියලා. මේ තමයි හොඳම කාලය. මම නිතරම හිතන්නේ එහෙමයි.

සාකච්ඡා සටහන - [එම්. අල්මේදා]

ඡායා - [ගයාන් පුෂ්පික]

 

මාතෘකා