ComBank Q + QR APP එකෙන් ගනුදෙනු දැන් හරි ලේසියි

 ඡායාරූපය:

ComBank Q + QR APP එකෙන් ගනුදෙනු දැන් හරි ලේසියි

කොමර්ෂල් බැංකුවේ කාඩ් මධ්‍යස්ථානයේ ප්‍රධානි

තුසිත සුරවීර මහතා

බැංකුකරණය සහ තාක්ෂණවේදය වත්මන් ලෝකයේ කැපී පෙනෙන අංගයක් බවට පත්වී අවසන්ය. මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් LANKAQR යටතේ ගෙවීම් සඳහා හඳුන්වා දෙනු ලැබු ප්‍රථම ශීඝ්‍ර ප්‍රතිචාර (Quick Response) ගෙවීම් APP එකක් හඳුන්වා දෙනු ලැබිණ. ඒ ComBank Q + QR APP නමිනි. මෙම ප්‍රථම ශීඝ්‍ර ප්‍රතිචාර (QR) පාදක ගෙවීම් APP එක යනු කුමක්ද? ComBank Q + QR APP එකෙහි තිබෙන විශේෂත්වය කුමක්ද? එයින් ගනුදෙනුකරුවන්ට සැලසෙන පහසුකම් මොනවාද? යනාදී කරුණු පිළිබඳ කොමර්ෂල් බැංකුවේ කාඩ් මධ්‍යස්ථානයේ ප්‍රධානි තුසිත සුරවීර මහතා අප සමඟ මෙසේ අදහස් දැක්වීය.

ComBank Q + QR APP එක පිළිබඳ පාරිභෝගිකයන්ට සරල පැහැදිලි කිරීමක් කරනවා නම්?

මේ දිනවල ජනතාව අතර දුරකතන APP නැතහොත් මොබයිල් APP ඉතා ජනප්‍රියයි. ඒ මඟින් බොහෝ කටයුතු ඉතා කාර්යක්ෂම ලෙස පහසුවෙන් සිදුකර ගැනීමට බොහෝ දෙනකු හුරු වී තිබෙනවා. අප හඳුන්වා දෙන මෙම APP එකද එවැන්නක්. මෙම APP එක මඟින් ගෙවීම් ක්ෂණිකව සහ සුරක්ෂිතව සිදුකිරීමේ පහසුකම සැලසෙනවා. කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ්පත් හිමිකරුවන්ට ComBank Q + මඟින් මෙම පහසුකම ලබාගත හැකියි. තමන්ගේ ස්මාර්ට් දුරකථනයට මෙම APP එක ඩවුන්ලෝඩ් කරගෙන ඉතා පහසු සහ සුරක්ෂිත ආකාරයට තම ජංගම දුරකථනය හරහා භාණ්ඩ හා සේවා සඳහා ඉතා පහසුවෙන් ගෙවීම් කිරීමට ඉන් හැකියාව ලැබෙනවා. ComBank Q + හා සම්බන්ධ වී සිටින පුළුල් වෙළෙඳ ජාලයක් තිබෙන නිසා අපගේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට පහසුවෙන් සිය ගනුදෙනු සිදුකර ගත හැකියි.

මෙම APP එක භාවිත කිරීමේ ක්‍රියාදාමය සිදුවන්නේ කෙසේද?

මුලින් කීවාක් මෙන් අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ස්මාර්ට් දුරකථනවලට අදාළ Google Play Store හෝ App Store හරහා ComBank Q + QR APP එක ඩවුන්ලෝඩ් කරගත හැකියි. ඒ ආකාරයට මෙම APP එක වරක් ඩවුන්ලෝඩ් කරගත් පසු ගනුදෙනු කටයුතු සම්බන්ධයෙන් භාවිත කිරීමට ගනුදෙනුකරුවාට බැංකුව විසින් මුරපදයක් සහ රහස්‍ය අංකයක් ලබාදෙනවා. ඉන්පසු පහසුවෙන් ගෙවීම් සිදුකළ හැකියි. මෙම ඇප් එක භාවිත කරන්නන්ට ComBank ක්‍රෙඩිට්, ඩෙබිට් හා පෙර ගෙවුම් කාඩ්පත් උපරිම කාඩ්පත් 5කට යටත්ව ලැයිස්තු ගත කළ හැකි අතර ඉන්පසුව ප්‍රමුඛතා කාඩ්පතක් මඟින් ගෙවීම් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ComBank Q+QR APP එක භාවිත කරන්නන්ට ඔවුන්ගේ කාඩ්පත් කළමණාකරණය කිරීමට සහ තම ගනුදෙනු ලැයිස්තුවට ඕනෑම වේලාවක ප්‍රවේශ වීමට හැකිවීමද මෙම APP එකෙන් සැලසෙන තවත් පහසුවක්.

මෙම APP එක භාවිත කළ හැකි කාඩ්පත් මොනවාද?

කොමර්ෂල් බැංකුවෙන් නිකුත් කළ Visa සහ Mastercard කාඩ්පත් හිමියන්ට මෙම APP එක භාවිත කළ හැකි අතර එමඟින් mVISA හා Mastercard QR ගනුදෙනුද ඉටු කරගත හැකියි.

මෙම APP මඟින් ගෙවීම් සිදුකරන ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා නම්?

මෙහිදී කිව යුතු විශේෂම කරුණ මෙම APP එක තුළින් ගනුදෙනු ඉතා පහසුවෙන් සහ වේගවත්ව සිදුකර ගත හැකි බවයි. ලදුපත් අත්සන් කිරීමක් සහ මුදල් ගෙවීමට දිගු වේලාවක් තිස්සේ පෝලිම්වල රැඳී සිටීමේ කරදරයෙන් මිදී ගනුදෙනු සිදුකිරීමට මේ තුළින් අවස්ථාව ලැබෙනවා. ඒ වගේම කාඩ්පත් සොරකම් කිරීම හෝ නැතිවීමේ අවස්ථා අවම කර ගැනීමටද මේ මඟින් අවස්ථාව සැලසෙනවා. මෙය ඩිජිටල් කටයුත්තක් බැවින් පරිසරයටද හිතකරයි. පාරිභෝගිකයන්ට වගේම මෙහිදී වෙළෙඳ පාර්ශ්වයටත් විශාල පහසුවක් සැලසෙනවා.

මෙම ගෙවීම් ක්‍රමය මෙරට ගනුදෙනු ක්‍රියාදාමයට ධනාත්මක ලෙස බලපාන්නේ කෙසේද?

මුදලින් කරන ගෙවීම් විද්‍යුත් ගෙවීම් බවට හැරවීමේදී බැංකුවලට තිබෙන ප්‍රධාන අභියෝග අතරින් එකක් ලෙස ඒ වෙනුවෙන් දැරීමට සිදුවන ප්‍රාග්ධන වියදම් සැලකිය හැකියි. ඒ වගේම මධ්‍යම මට්ටමේ වෙළඳ හිමියන්ගෙන් බහුතරයකට තම ආයතනයන්හි POS උපක්‍රමීය උපකරණ සවිකර ගැනීමට සුදුසුකම් ලැබීම සඳහා බැංකු මඟින් ලබාදෙන නියම කළ පිරිවැටුම් ඉලක්කයන් කරා ළගාවීම අභියෝගයක් බවද අපට පෙනී ගොස් තිබෙනවා. QR සංකේත පදනම් වූ ගෙවීම් සඳහා මෙම APP එක හඳුන්වා දීම මඟින් එකී සියලුම ගැටලුවට විසඳුමක් ලැබෙනවා. ඒ වගේම ලාභදායි, ඉක්මන් හා වඩාත් ආරක්ෂිත ගෙවීම් සිදුකිරීමටද පහසුකම් සැලසෙනවා. මේ ඔස්සේ ඩිජිටල් ක්‍රමයට ගාස්තු ලබාගැනීමට වෙළඳ හිමියන්ට අවස්ථාව ලැබීම නිසා මේ මඟින් දේශීය ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයට අනිවාර්යයෙන්ම ධනාත්මක බලපෑමක් සිදුවනවා.

මෙම APP එක භාවිතයෙන් වෙළඳ හිමියන්ට ලැබෙන වරප්‍රසාද මොනවාද?

ගනුදෙනුකරුවන් විසින් වෙළඳ හිමියන්ගේ අදාළ QR සංකේත ස්කෑන් කරනු ලබන විට ගෙවීම් ලබා ගැනීමට හැකි පාරිභෝගික APP හා සමාන වෙනම APP මාර්ගයක් ඔවුන්ට ලබාදෙනවා. QR කේතය ස්කෑන් කොට ගෙවිය යුතු මුදල ගෙවීම සිදු කරන තැනැත්තා විසින් ඇතුළු කළ යුතුයි. එවිට පාරිභෝගිකයාගේ ජංගම දුරකථනය මඟින් අදාළ මුදල ඇතුළු කිරීමෙන් ක්ෂණිකව ගෙවීමටත් ඒ මොහොතේම එම ගෙවීම වෙළඳ හිමියාගේ ගිණුමට බැර වීමද සිදුවනු ලබනවා. වෙළඳ හිමියන්ට QR කේත ඔස්සේ තම ගනුදෙනුවල සැබෑ තත්ත්වය දැකබලා ගැනීමට ලැබීමද විශාල පහසුවක්. ඒ වගේම ස්මාර්ට් දුරකථන නැති අයට SMS හරහා ගනුදෙනුව පිළිබඳ කෙටි පණිවුඩ ලබාගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් පිළිබඳව වැඩි විස්තර පවසනවා නම්?

මේ වන විට අප ක්ලැසික්, ගෝල්ඩ් සහ ප්ලැටිනම් නිෂ්පාදන ආවරණය කරමින් Visa, Mastercard හා UnionPay ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනවා. ඒ වගේම අපේ සියලුම ක්‍රෙඩිට් කාඩ්පත් EMV (ඒකාබද්ධ කැබලිති) බලය සහිත වන අතර Visa හා Mastercard වර්ගයේ කාඩ්පත් (NFC) පහසුකම සහිතයි. අන්තර් ජාලයේ භාණ්ඩ හා සේවා මිළදී ගැනීමට භාවිත කරන අපගේ සියලුම කාඩ්පත්වලට (ත්‍රිමාණ) 3D ආරක්ෂාවද සහතික කර තිබෙනවා. ඒ සියල්ලෙහි අරමුණ ගනුදෙනුවල සුරක්ෂිත භාවය සහතික කිරීමයි.

අප බැංකුවේ ඩෙබිට් කාඩ්පත්ද Gold සහ Platinum නිෂ්පාදන ආවරණය කරමින් Visa, Mastercard හා UnionPay යන ත්‍රිත්වයෙන්ම නිකුත් කරන අතර පසුගිය වසරේදී අපි Mastercard Chip & PIN , POS හි ගනුදෙනු කරන විට රහස්‍ය අංකය එක්කිරීමේ අවශ්‍යතාවයද එක්කළා.

ඒ වගේම අප මෙරට දැවැන්ත ව්‍යාපාර ක්ෂේත්‍රයන් සමඟ එක්වී සම සන්නාම සහිත ඩෙබිට් කාඩ් නිකුත් කිරීමද සිදුකරනු ලබනවා. ඉන් පළමු වැන්න ලෙස ජොයින්ට් ඇපරල් අසෝසියේෂන් ෆෝරම් (JAAF) සංසදය සමඟ එක් වී ඇඟළුම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්ට එම ක්ෂේත්‍රයටම විශේෂිත වූ එක්තරා තෝරාගත් වෙළඳ හිමියන්ගෙන් වට්ටම් ලබාදෙන යෝජනා ක්‍රමයක් සමඟ ‘ රන්සළු’ නමින් ඩෙබිට් කාඩ්පතක් නිකුත් කළා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ගනුදෙනුකරුවන්ට වරණීය මිළ ගණන් පිරිනමමින් ‘ බිස්ක්ලබ් ’ යන නමින් අභ්‍යන්තර ඩෙබිට් කාඩ්පතක්ද නිකුත් කළා.

ඔබේ වෘත්තීය පළපුරුද්ද සහ අත්දැකීම් අනුව පාරිභෝගික ජනතාව මෙවැනි ඩිජිටල් ගෙවීම් සංකල්පයට දක්වන ප්‍රතිචාර කෙබඳුද?

ATM සහ CRM 846ක් සහිතව මෙරට පෞද්ගලික බැංකුවක් විසින් පවත්වාගෙන යනු ලබන තනි හා විශාලතම ATM ජාලය ක්‍රියාත්මක කරන්නේ අප බැංකුවයි. ඒ වගේම මෙරට විශාලතම ක්‍රියාකාරී ඩෙබිට් කාඩ්පත් නිකුත් කරන්නා වශයෙන් අපට සියයට 33ක වෙළඳපොළ කොටස්කාරීත්වයක් තිබෙනවා. සාමාන්‍ය වශයෙන් අපගේ ATM මඟින් දිනකට රුපියල් බිලියන 1.25 ක පමණ ගනුදෙනු සිදුවනවා. එය එක් දිනකට බැගින් ගණනය කළ විට වටිනාකම රුපියල් මිලියන 120ක් පමණ වන මුදලක්. මුදල් ගනුදෙනු විද්‍යුත් ගනුදෙනු බවට හැරවීම සඳහා අප බැංකුව සතුව විශිෂ්ට හැකියාවක් තිබෙන බව ඒ තුළින් සනාථ වනවා. ඒ අනුව අපගේ ගනුදෙනුකරුවන් අතර ඩිජිටල් ගෙවීම් සංකල්පයට සුබවාදී ප්‍රතිචාර දක්වන බව අපගේ විශ්වාසයයි.

[ශ්‍යාමලී නිශාන්ති]

මාතෘකා