'ආයුබොවන් taxi App' අපේ පරමාර්ථය රියැදුරන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීමයි"

 ඡායාරූපය:

'ආයුබොවන් taxi App' අපේ පරමාර්ථය රියැදුරන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීමයි"

ලාංකේය මගී ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ මේ වන විට අන්තර්ජාලය හා සම්බන්ධ වෙමින් මගී ප්‍රවාහනය සලසන ඒ සඳහාම විශේෂ වූ taxi app රාශියක් පවතී. එය නව මානයකට යොමු කරමින් Online taxi කලාවේ පෙරළිකාර ගමනක් වෙනුවෙන් එකතු වී සිටින නවතම App එක ලෙස 'ආයුබොවන් taxi App' හැඳින්විය හැකිය. මීට වසර විස්සකට පෙර ගුවන්තොටුපළ මගී ප්‍රවාහනයෙන් ඇරඹි මෙම ආයතනය සිය සේවාව වඩාත් පුළුල් කරමින් විදෙස් සංචාරක සේවා සපයන ආයතනයක් වශයෙන්ද කටයුතු කරයි. මේ වනවිට ගුවන්තොටුපළේ ඇති 'ආයුබොවන්' සංචාරක කවුළුව හරහා ගුවන්තොටුපළ මගී ප්‍රවාහනයේ සුවිශේෂී සේවාවක් සපයන ඔවුන්ගේ නවතම ප්‍රවේශය වන 'ආයුබොවන් taxi App' පිළිබඳ එහි කළමණාකාර අධ්‍යක්ෂ මහින්ද දේශප්‍රිය මහතා අප සමඟ කතාබහට එක්වූයේ මෙලෙසිනි.

පළමුව "ආයුබොවන්" ආයතනය ගැන හැඳින්වීමක් කරනවා නම්?

2008 වසරේදී අපි ඉතාලියේ "මිහින් tours" නමින් ආයතනයක් ආරම්භ කළා. පසුව ලංකාවට ඇවිත් මේ ආයතනය ආරම්භ කරන්න හදන කොට "මිහින් ලංකා"ආයතනය ආරම්භ වී තිබුණා. එම තත්ත්වය තුළ අපට 'මිහින්' නමින් අපේ ආයතනය ආරම්භ කළ නොහැකි නිසා "ආයුබොවන් tours and travels" නමින් මෙම ආයතනය ආරම්භ කළා. එතැන් සිට අප ආයතනය ගුවන්තොටුපළ මගී ප්‍රවාහනය, ‍දෙස් විදෙස් සංචාරක සේවා, ගුවන් ටිකට්පත් ඇතුළු ඒ සම්බන්ධ පහසුකම් සහ සේවා සලසන ආයතනයක් ලෙස කටයුතු කරමින් සිටිනවා. 'ආයුබොවන් taxi App' කියන්නේ අප ආයතනය තැබූ නවතම පියවර ලෙස හඳුන්වන්න පුළුවන්.

'ආයුබොවන් taxi App' කියන්න ඔබේ ආයතනය තැබූ නවතම පියවරක්. ඒ ගැන පැහැදිලි කරනවා නම්?

1999 වසරේදී මම taxi රියැදුරෙක් හැටියට ගුවන් තොටුපළේ සේවය කළා. ඒ ආභාසයත් සමඟයි මම සංචාරක කර්මාන්තය හා සම්බන්ධ වුණේ. මට ලොකු ආසාවක් තිබුණා කවදා හරි දවසක ගුවන්තොටුළේ travel counter එකක් ගන්නවා කියා. ඒ සඳහා ටෙන්ඩර්පත් කැඳවූ අවස්ථාවක මමත් ඒ සඳහා ඉල්ලුම් කළා. පසුව මට එය ලැබුණා. මේ App එක හැදුවේ විශේෂයෙන්ම ගුවන්තොටුපළ ආශ්‍රිත මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන්මයි. ගුවන්තොටුපළේ travel counterවලට විදේශීය Appවලින් ලොකු බලපෑමක් තිබෙනවා. මේ තරගකාරීත්වයට මුහුණ දෙන්න සෑහෙන කාලයක සිට අපි විසඳුම් සෙව්වා. ඒ සඳහා විසඳුමක් ලෙස තමයි මේ App එක පටන්ගත්තේ. 2018 වසරේ අවසන් කාලේදී මේක ආරම්භ කරන්න සූදානම් වුණේ. 2019 වසරේ මාර්තු මාසයේදී මේ App එක අන්තර්ජාලයට නිකුත් කරන්න අපිට හැකිවුණා. එය ආරම්භ කළ කාලයේ වගේ නොවෙයි දැන් මෙම ක්ෂේත්‍රයේ තරගකාරීත්වය ඕනෑවටත් වඩා වැඩියි. නමුත් දැනටත් අපේ ප්‍රධාන ඉලක්කය ගුවන්තොටුපළ ආශ්‍රිත මගී ප්‍රවාහන කටයුතුවලට මෙම App එක හරහා විශේෂත්වයක් ලබාදීමයි.

ඒ වෙනුවෙන් මෙම App එකට අන්තර්ගත කර ඇති විශේෂතා මොනවාද?

මේ App එකේ වෙනම කොටසක් තියෙනවා Airport Shuttle කියලා. එය වෙන කිසිම App එකක නැති පහසුකමක්. අපේ Airport Shuttleවල හැම වාහනයක්ම ගුවන් තොටුපළේ ලියාපදිංචි වුණු ඒවායි. ඒ වගේම හැම වාහනයකම රුපියල් 500,000 මගී ආවරණයක් තියෙනවා. ඊට අමතරව ගුවන්තොටුපළේ සාමාන්‍යයෙන් අවම අවශ්‍යතා තිබෙනවා. ඒ කියන්නේ පොඩි වාහන යොදවන්න බැහැ. නිෂ්පාදන කාලය වසර අටක් ඇතුළත තිබිය යුතුයි. ගොඩක් Appවල නැති ප්‍රතිලාභ අපේ App එකේ විශේෂයෙන් තියෙනවා. ප්‍රධාන වශයෙන් ගුවන් තොටුපළ තමයි අපේ ඉලක්කය. ගුවන්තොටුපළට පමණක් නෙමෙයි සාමාන්‍ය මගී ප්‍රවාහනයටත් මෙය යොදාගැනීමේ අදහසින් තමයි අපි ත්‍රිරෝද රථ ආදී ඕනෑම වාහනයක් මේ සඳහා ඇතුළත් කිරීමට තීරණය කළේ.

සාමාන්‍ය මගී ප්‍රවාහන ජනතාව වෙනුවෙන් මෙම App එකේ පවතින විශේෂ පහසුකම් මොනවාද?

මූලික වශයෙන් අඩු මුදලට ඕනෑම ගමනක් යන්න ත්‍රිරෝද රථවල සිට Alto මෝටර් රථ දක්වා කැමති වර්ගයක වාහනයක් තෝරාගන්න පුළුවන්. ඒ කියන්නේ Nano, Alto වගේ වාහන අතරින් මගියාට ලාබදායීස budget එක තිබෙන වාහන වර්ගය තෝරාගන්න පුළුවන්. අනිත් එක තමයි city කියන category එක. දැනට භාවිත වන ජනප්‍රියම wagon R මෝටර් රථ වගේම ජපන් හයිබ්‍රිඩ් මෝටර් රථ විතරයි මෙම city category එකේ තියෙන්නේ. Sedan මෝටර් රථ වෙනම තියෙනවා. දැනට අපි ලැයිස්තු ගත කරගෙන යනවා අවම නිෂ්පාදිත දිනයේ සිට වසර 10ක් ඇතුළත වාහන තියාගන්න. එවිට මගීන්ට හොඳ සේවයක් ලබාදීමට හැකිවෙනවා. ත්‍රිරෝද රථයේ සිට සුව පහසු බස් රථ දක්වා ඕනෑම වාහන වර්ගයක් අපගේ මෙම ඇප් එක හරහා සම්බන්ධ කරගත හැකියි. එසේම ඉදිරියේදී භාණ්ඩ ප්‍රවාහන සඳහා අවශ්‍ය අනෙකුත් වාහන සේවාවන්ද හඳුන්වාදීමේ සූදානමක් පවතිනවා.

මේ වනවිට වෙළෙඳපොළේ taxi apps විශාල සංඛ්‍යාවක් පවතිනවා. ඔබ ආයතනය මෙම තරගකාරීත්වයට මුහුණ දෙන්නේ කොහොමද?

ලංකාවේ taxi app සියයක් තියෙනවා නම් ඒ සියය තුළම පවතින්නේ එක ළඟ මිල අනුපාත. මේ app එක නිර්මාණය කරන විට මම හිතපු දෙයක් තමයි මම මුලින්ම පටන් ගත්ත තැනට උදවු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ ඇප් එකෙන් වැඩිම ප්‍රතිලාභ දෙන්නේ රියැදුරන්ටයි. දැනට ලංකාවේ තියෙන අඩුම සේවා ගාස්තුව ගන්නේ අපි. කිසිම අනිවාර්ය ගෙවීමක් නැහැ. අපි 'ආයුබොවන් taxi App' එකෙන් පාරිභෝගිකයාට හානියක් නොවන ආකාරයට රියැදුරන්ට වැඩිම ප්‍රතිලාභ ලබාදී තිබෙනවා. විවිධ ආයතන විවිධ දේවල් මඟින් රියැදුරන්ව ආකර්ෂණය කරගන්න විවිධ උත්සාහයන් දරනවා. නමුත් කොහොම ගණනය කළත් ප්‍රතිශතය අපේ ප්‍රමාණයට වඩා වැඩියි. අපි මේක වෙනස් කරන්නේ නැහැ. අපි සීමිත රියැදුරන් ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ ඔවුන්ට වැඩිම ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින්. මම හිතන්නේ වෙ‍ළෙඳපොළේ තරගකාරීත්වය තියෙන එක හොඳයි. නමුත් දැන් තරගකාරීත්වය වැඩිවෙලා තියෙන්නේ. ඉල්ලුමට වඩා සැපයුම වැඩිවෙලා තියෙනවා. එතකොට ගැටලුවක් නිර්මාණය වෙනවා. නමුත් අපිට වෙළෙඳපළේ තැන ගන්න ලොකු කලබලයක් නැහැ. යම්කිසි ප්‍රමාණයකට ගිහින් ඉතුරු වෙන තැනක් තිබෙනවා. ඒ වන තුරු අපි ඉන්නවා.

වෙළෙඳපොළ අභියෝග සහ ඒවාට ඔබ ආයතන මුහුණ දෙන ආකාරය පිළිබඳ සඳහන් කරනවා නම්?

මම හිතන්නේ තරගකාරීත්වය තුළ අභියෝග නැතුව නොවෙයි. තරගකාරීත්වය තුළදී හොඳ දේවල් වගේම නරක දේවල්ද තිබෙනවා. මම දකින විදිහට තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ ගැටලුව අභියෝගයට වඩා ප්‍රමිතිය ගැන කවුරුත් හිතන්නේ නැතිවීමයි. දැන් මෙවැනි taxi apps වැඩි නිසා රියැදුරන්ටත් ඉල්ලුම වැඩියි. පාරිභෝගිකයන්ටත් ඉල්ලුම වැඩියි. මීට වසරකට පෙර වැඩියෙන්ම මුදල් ඉපැයුවේ taxi ආයතන. දැන් ඒ තත්ත්වය ටිකක් වෙනස් වී තිබෙනවා. නමුත් සමහර ගොඩනැඟුණු ආයතන තමන්ගේ තැන ආරක්ෂා කරගෙන ඉන්නවා. අලුතෙන් එන taxi ආයතන එනවා හා සමානව ඉක්මණින් යනවා. සමහර ආයතන ලොකු ප්‍රචාරණ ව්‍යාපෘති කරනවා සතියක් දෙකක්. නමුත් ඊටපස්සේ App එක download වෙන්නෙත් නැති අවස්ථා තියෙනවා. ඒ වගේම අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව එක්තරා ආයතනයක් හේතුවෙන් ටැක්සිවලට ලොකු රැල්ලක් ආවා. සමහරු ජාති,ආගම් අනුව තම තමන්ගේ ආයතන නම් කරන්න පටන්ගත්තා. එතනදී ඕනෑවටත් වඩා taxi app පටන්ගන්න හැදුවා. පටන් ගන්න හරිම ලේසියි. නමුත් නඩත්තු කරගෙන යෑම තමයි තරමක් අමාරු. ඇප් එකක් නඩත්තු කරන්න ආයතනයකට විශාල මුදලක් වැය වෙනවා. එයත් අභියෝගයක්.

'ආයුබොවන් taxi App' මඟින් රියැදුරන්ට ලබාදෙන විශේෂ පහසුකම් මොනවාද?

රියැදුරන්ට mobile devices ලබාදීමට අප කටයුතු කරනවා. ඒ වගේම අපි රියැදුරන්ට රක්ෂණ ආවරණයක් ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. මේ සේවාව යම් කිසි මට්ටමකට පැමිණි පසු එයින් ලැබෙන ප්‍රතිලාභයෙන් යම් කිසි ප්‍රතිශතයක් අප සමඟ දීර්ඝකාලීනව රැඳී සිටින රියැදුරන්ට ලබාදීමටත් අපි කටයුතු කරනවා.

මේ වනවිට "ආයුබොවන් taxi " සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

තවම අපි විශාල වශයෙන් ප්‍රවර්ධන කටයුතු කරන්නේ නැහැ. හේතුව තවම අපිට අවශ්‍ය ප්‍රමාණයට වාහන ලියාපදිංචි වෙලා නැහැ. ඒ වගේම අපි තවම මෙය නිල වශයෙන් හඳුන්වාදීමක් කරලා නැහැ. අපිට ඉලක්කයක් තියෙනවා නිශ්චිත වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි වුණාම තමයි අපි ප්‍රවර්ධන කටයුතු සිදු කරන්නේ කියලා. මෙය තවම පවතින්නේ වාහන ලියාපදිංචි මට්ටමේ. අනිත් අය දුවනවා වගේ අපි කලබලේට මේ ගමන යන්නේ නැහැ. අපේ ප්‍රධාන අවශ්‍යතාව ගුවන් තොටුපළේ ප්‍රවාහන කටයුතු. දැනට අපි එය සිදුකරනවා. මුලින්ම අපි නගර මූලික කරගෙනයි මෙම සේවාව පටන් ගන්නේ. ඒ අනුව මුලින්ම මීගමුවෙන් ආරම්භ කර සති දෙකක් ඇතුළත මීගමුව ආවරණය කරනවා. ඉන්පසුව වත්තල, ජාඇල වගේ නගරවලට ගිහින් අවසානයට කොළඹ ආවරණය කරනවා.

වෙනත් ආයතන වගේ විශාල මුදලක් වෙන් කරමින් අපි විශාල ප්‍රවර්ධන කටයුතු කරන්නේ නැත්තේ අපි දන්නවා එහෙම වුණොත් මේ පවතින තරගකාරීත්වයත් සමඟ ගැටලු පැන නඟින බව. එහෙම ප්‍රවර්ධන කටයුතු කරලා පසුව බිඳවැටුණු ආයතන අපි දකිනවා. ඒ නිසා රියැදුරන්ට "ආයුබොවන් taxi" ආයතනය ගැන නිවැරදි පණිවිඩය ගියාට පසුව ඔවුන් අපි සමඟ දිගටම රැඳී සිටින බව අපි දන්නවා. නමුත් ඒ තත්ත්වය ඇතිවෙන්න ටික කාලයක් ගතවනවා. දැන් තියෙන තරගකාරීත්වයත් එක්ක ඉදිරියෙන්ම ඉන්න taxi app තියෙන රියැදුරන්ටත් හයර් නැති මට්ටමක් තියෙන්නේ. ඒ වගේම එක ආයතනයකින්වත් රියැදුරාට අවශ්‍ය පරිමාව දෙන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. නමුත් එකම මගීන් ප්‍රමාණයක් ඉන්නේ. මගීන් බොහොම කුඩා සංඛ්‍යාවක වැඩිවීමක් තමයි තියෙන්නේ. ඒ වගේම තිබුණු වෙළඳපොළත් දැන් ආයතන කීපයකට බෙදී ගොස් තිබෙනවා. මේ taxi app එක ලංකාවේ පිටපළාත්වල තාම ජනප්‍රිය නැහැ. කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලත් ඊට අමතරව මහනුවර, කුරුණෑගල, ගාල්ල වගේ ප්‍රදේශවලත් සුළු වශයෙන් තිබෙනවා.

ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය සහ ආයතනයේ අනාගත අපේක්ෂාවන් කෙබඳුද?

කාර්ය මණ්ඩලයෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා. අපි හෙමින් ගමනක් යමින් සිටින්නේ. අපිට රේස් එකක් දිවීමට අවශ්‍ය නැහැ. හෙමින් වුවත් අදාළ ඉලක්ක කරා ළඟාවීමයි අපේ අපේක්ෂාව.

දෙසැම්බර් මාසය වන විට වාහන ලියාපදිංචිය අපි ඉලක්ක ගත කරගෙන සිටින තත්ත්වයට පැමිණෙයි කියලා අපි අපේක්ෂා කරනවා. අපේ ඉලක්කය ඒ වන විට රියැදුරන් 10,000ක ප්‍රමාණයක් අපේ ඇප් එක සමඟ ලියාපදිංචි වනු ඇති බවයි. එවිට තමයි අපිට නියම විදිහට රියැදුරන්ට මෙම සේවාව තුළින් ප්‍රතිලාභ ලබාදිය හැක්කේ. ඒ වගේම මගීන්ටත් මෙයින් ප්‍රතිලාභ ලබාදෙනවා. ‍මගීන්ට විශ්වාසයෙන් ආරක්ෂාකාරී ලෙස තම ගමන්බිමින් යෑමට 'ආයුබොවන් taxi App' හරහා හැකියාව තිබෙනවා. ඒ වගේම මෙම සේවාව පිළිබඳ විශේෂයෙන් කිව යුත්තේ සියයට සියයක්ම ශ්‍රී ලාංකික ආයතනයක් ලෙස අපි අපගේ ශ්‍රී ලාංකික ජනතාවට ඉතා වටිනා ඵලදායී සේවයක් ලබාදීමට සූදානමින් සිටින බවයි.

[නිර්මාණී බණ්ඩාරනායක]

ඡායා [සුදත් නිශාන්ත]

මාතෘකා