ඉවතලන ප්ලාස්ටික්වලින් විදුලි උපාංග හදන ටැනෝයි ඉලෙක්ට්‍රිකල්

 ඡායාරූපය:

ඉවතලන ප්ලාස්ටික්වලින් විදුලි උපාංග හදන ටැනෝයි ඉලෙක්ට්‍රිකල්

ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය විශාල පරිසර ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන අතර ඉවතලන ප්ලාස්ටික් බැහැර කිරීම බොහෝ දෙනකුට තිබෙන බරපතළ ප්‍රශ්නයකි. ප්ලාස්ටික් පිලිස්සීම යනු රෝග රැසක් ඇතිකිරීමටද හේතුවන්නකි. ඉවතලන ප්ලාස්ටික් පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම අතිශයින් වැදගත් වන්නේ ඒ නිසාය. එහෙත් මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ඉදිරිපත් වන්නේ ඉතා සුළු පිරිසකි. ඒ අතර ඉවතලන ප්ලාස්ටික් එකතු කොට ප්‍රතිචක්‍රීයකරණය කර විදුලි උපාංග නිෂ්පාදනය කිරීමට සමත් නිර්මාණ ශිල්පියකු මාබිම ප්‍රදේශයෙන් අපට හමුවිය. ඔහු මාබිම, හෙයියන්තුඩුවේ අංක 266/2 දරන ස්ථානයේ පිහිටි 'ටැනෝයි ඉලෙක්ට්‍රිකල්' ආයතනයේ (Tannoy Electical Industies) අධිපති පදිංචි ගුනේන්ද්‍ර එන්. සෙනරත් මහතාය.

එවැනි කර්මාන්තයක් ඇරඹීමට මුල්වූ කරුණු පිළිබඳ ඔහු පැවසුවේ මෙසේය.

"ඉවතලන ප්ලාස්ටික්, යෝගට් කෝප්ප, පොලිතින් ආදී දේවල් තැනින් තැන දමා වතුර එකතු වී තිබීම විශාල ප්‍රශ්නයක් බවට පත්වී තිබුණ කාලයකදී ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන් ආරම්භ කළා. එම වැඩසටහන් තුළින් කර්මාත්ත ආරම්භ කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම හා උපදෙස් ලබාදුන්නා. මමත් එම වැඩසටහනකට සහභාගි වී අදාළ තාක්ෂණික දැනුම හා උපදෙස් ලබාගෙන මගේම කියා ව්‍යාපාරයක් පටන්ගන්න අදිටන් කරගත්තා."

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස්පෙළ හදාරා එවකට ඩිමෝ ආයතනයේ තාක්ෂණික නිලධාරියකු ලෙස සේවය කරමින් සිටි ගුනේන්ද්‍ර එන්. සෙනරත් ජාතික අධුනිකත්ව මණ්ඩලයෙන් විදුලි උපාංගකරණය පිළිබඳ වසර තුනක පාඨමාලාවක්ද හදාරා තිබිණ. තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවූ ඔහුට ගම්පහ කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලද තාක්ෂණය භාවිත කොට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන ආරම්භ කිරීම අසීරු නොවීය. ඒ අනුව 2000 වසරේදී ඉවතලන ප්ලාස්ටික් එකතු කොට ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ආරම්භ කළ සෙනරත් මහතා ඒ යටතේ මුලින්ම ආරම්භ කර ඇත්තේ උත්සව සමයට අවශ්‍ය ඔටොමැටික් ප්ලෑෂ් ලයිට් නිෂ්පාදනයි.

"එම ප්ලෑෂ් ලයිට් එක සවිකළ විට ඕනෑම බල්බ් වැලක් ඔටෝ මැටික් වෙනවා. උත්සව සමයේ එයට හොඳ වෙ‍ෙළඳපළක් තිබුණා. නමුත් ඒවා අලෙවි වන්නේ වෙසක් කාලයට පමණයි. එම නිසා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන තුළින් මම විදුලි උපකරණ නිෂ්පාදනය කිරීමට පටන් ගත්තා. "

ඒ අනුව ඔහු 2001 වසරේදී තම ව්‍යාපාරය ආරම්භ කරන්නේ එක් සේවකයකු සමඟය.

"අපේ ව්‍යාපාරය ගැන දැනගත්තට පස්සේ බොහෝ දෙනෙක් කැඩුණු ටි.වී. සහ ප්ලාස්ටික් ගෙනත් අපට බාරදුන්නා. අපි ඒවා කිලෝ ගාණට මිලදී ගත්තා. ඒ වගේම බොහෝ දෙනෙක් ප්ලාස්ටික් එකතුකරලා ලොරි මඟින් අපිට ගෙනත් දෙන්නත් පුරුදු වුණා. ඉවතලන ප්ලාස්ටික් කිලෝවක් සඳහා අපි රුපියල් 40 සිට 100 දක්වා මිලක් ගෙව්වා. ඊටපසු අපි ප්‍රතිචක්‍රීයකරණය කළ ප්ලාස්ටික්වලින් විදුලි උපාංග නිෂ්පාදනය ආරම්භ කළා. එදා එක් යන්ත්‍රයකින් පටන් ගත් ව්‍යාපාරය මේ වනවිට යන්ත්‍ර දොළහක් දක්වා දියුණු වී තිබෙනවා. එදා එක් සේවකයකුගෙන් පටන් ගත් ව්‍යාපාරයේ මේ වනවිට සේවකයෝ පනස් දෙනකු පමණ සේවය කරනවා. මුලින්ම අපි නිෂ්පාදන කළේ ගෘහස්ථ වයරින් කිරීම සඳහා අවශ්‍ය උපාංගයි. පසුව ස්විච් පෙට්ටි, හෝල්ඩර්, සිවිලින් රෝල්ස්, ප්ලග් ටොප් ආදි භාණ්ඩ දක්වා නිෂ්පාදන කටයුතු පුළුල් කළා. එම භාණ්ඩ වෙ‍ෙළඳපොළේ තරගකාරී මිලකට අලෙවි කිරීමේ හැකියාව අපිට තිබෙනවා."

සෙනරත් මහතා ඔහුගේ ව්‍යාපර‍ෙය් ලබා තිබෙන සාර්ථකත්වය සිහිකළේ නිහතමානීවය. තම නිෂ්පාදන වෙළෙඳපොළ තරගයට මුහුණ දුන් ආකාරය පිළිබඳව ඔහු පැවසුවේ මෙසේය.

"ගෘහ උපකරණ නිෂ්පාදනයේදී අපි වෙසක් සැරසිලි සඳහා වෙ‍ෙළඳපොළ හදාගෙන තිබීම නිසා අලෙවි කිරීමේදී අසීරුතාවකට පත්වුයේ නැහැ. මුලින්ම ගම ආශ්‍රිතව වෙ‍ෙළඳසැල්වලට භාණ්ඩ නිකුත් කොට පසුව 2002 පමණ වන විට කොළඹ තොග වෙළඳපොළට අවතීර්ණ වීමට අපට හැකිවුණා. එමනිසා භාණ්ඩ අලෙවියේදී විශාල ගැටලුවක් මතුවූයේ නැහැ. නිෂ්පාදනවල අලෙවිය වැඩිවීමත් සමඟ අප නිෂ්පාදනවල ප්‍රමිතියේ තවත් ඉහළ නැංවුවා. අප ආයතනය පරිසර හිතකාමී ව්‍යපාරයක් ලෙස හැඳින්විය හැකි අතර මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් ඇතිවයි අපි කටයුතු කරන්නේ."

එමෙන්ම තවත් විශාල පිරිසකට ආර්ථික සවියක් වන්නටද සිය ආයතනය තුළින් සෙනරත් මහතාට හැකිවී තිබේ. මේ ඒ පිළිබඳ ඔහු දැක්වූ අදහස්ය.

" මේ වනවිට අප ආයතනය තුළින් ස්වයං රැකියාලාභීන් 50කට වැඩි ප්‍රමාණයක් බිහිවී තිබෙනවා. ඒ වගේම ආයතනය අවට පවුල් විස්සකට වැඩි සංඛ්‍යාවක් අපගේ නිෂ්පාදන භාණ්ඩ එකලස් කිරීම සිය ජීවිකාව කර‍ගෙන යනවා. ඒ එක් පවුලක් මසකට රුපියල් පහළොස් දහසක පමණ අමතර ආදායමක් උපයනවා. ව්‍යාපාරය පටන් ගෙන මේ වන විට අවුරුදු විස්සකට ආසන්නයි. එක් සේවකයකුගෙන් ආරම්භ කර සේවකයන් විශාල පිරිසක් සමඟ අප කරගෙන යන ව්‍යාපාරය තුළින් පරිසරයට විශාල සෙතක් සිදුවී තිබෙනවා. ඒ වගේම මේ වන විට ටැනෝයි විදුලි උපාංග අපි දිවයින පුරා බෙදා හරින අතර ඉල්ලුමට අවශ්‍ය සැපයුමක් සැලසීමට හැකිවීම ගැන සතුටු වනවා.

 

ඒ වගේම අපේ නිෂ්පාදන පිළිබඳව මහජනතාවගෙන් පැමිණිලි ලැබෙනවා අඩුයි. ඊට හේතුව අපේ නිෂ්පාදනවල ඉල්ලුම කොතෙක් වැඩිවුණත් අපි ඒවායේ ගුණාත්මක භාවයේ කිසිම වෙනසක් සිදු නොකිරීමයි."

සෙනරත් මහතා නිබඳවම උත්සාහ දරන්නේ පරිසර හිතකාමී ඉහළම ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබාදීමමයි. එම අරමුණ නිසාම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දීපව්‍යාප්තව පවත්වනු ලබන සුළු හා මධ්‍ය කර්මාන්ත අංශයේ හොඳම කර්මාන්ත කරුවා තේරීමේ තරගයේදී ජනාධිපති සම්මානය (2006- 2007) හිමිකර ගැනීමට මෙන්ම ඉලොක්ට්‍රොනික හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා සහ පළාත් මට්ටමින් ප්‍රථමයා වීමට ටැනෝයි ඉලෙක්ට්‍රිකල් ඉන්ඩස්ට්‍රීස් ආයතනයට හැකිවී තිබේ. 2006 -2007 වසරේදී සමස්ත ලංකා විදුලි උපකරණ ක්ෂේත්‍රයේ දෙවැනි ස්ථානයද දිනාගත් ටැනෝයි ඉලෙක්ට්‍රිකල් ආයතනය 2018 වසරේ ISO 9001 තත්ත්ව සහතිකයෙන්ද පිදුම් ලැබීය.

"ඒ සඳහා අප ආයතනයට මඟපෙන්වූ ගම්පහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන් තිලකරන්න මහතාටත් ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී සමින්ද රණතුංග මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත විය යුතුයි. එම ආයතනය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම හා උපදෙස් නිතරම ලබාදීම නිසා අපට අපගේ නිෂ්පාදනවල ප්‍රමිතිය ඉතා ඉහළ තත්ත්වයකට ගෙනඒමට හැකිවුණා.

මේ සියලු කටයුතු සාර්ථක කරගැනීම මගේ බිරිඳ කුමාරි ඇතුළු පවුලේ සැමගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය ඉතා අගය කරනවා. ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඉතා අසීරු දෙයක්. ඒ සඳහා දැඩි උත්සාහයෙන් කටයුතු කළ යුතුයි. වෙනත් රටවල මෙවැනි කර්මාන්ත වටා රාජ්‍ය ආයතන වඩාත් සමීප වෙනවා. නමුත් එවැනි වැඩසටහන් ලංකාවේ නොමැති වීම අඩුපාඩුවක් හැටියට මම දකිනවා."

සෙනරත් මහතා පවසන අයුරින් පරිසර හිතකාමී ආයතන ප්‍රචලිත කිරීමට නම් අදාළ බලධාරීන්ගෙන් සහ ආයතනවලින් නිසි අනුග්‍රහයක් ලැබිය යුතුය. ඉවතලන ප්ලාස්ටික්වලින් නිෂ්පාදන කරන විදුලි උපාංග මිලදී ගැනීමෙන් ඔබටද මෙම කාර්ය සඳහා දායක විය හැකිය. මිලදී ගන්නා සියලු විදුලි උපාංග සඳහා වගකීම් සහතිකයක් ලබාදෙන අතර ඔබට කිසියම් විදුලි උපාංගයක් මිලදී ගැනීමට හෝ ප්ලාස්ටික් කැබලි ලබාදීමට අවශ්‍ය නම් 0777307206 දුරකථන අංකයෙන් ටැනෝයි ඉලෙක්ට්‍රිකල් ආයතනයේ අධිපති ගුනේන්ද්‍ර එන්.සෙනරත් මහතා ඇමතිය හැකිය.

සටහන [නිමල් රාජපක්ෂ]

ඡායා [ශාන් රඹුක්වැල්ල]

මාතෘකා