මුදල් රහිත ගනුදෙනුවල විප්ලවීය වෙනස

 ඡායාරූපය:

මුදල් රහිත ගනුදෙනුවල විප්ලවීය වෙනස

DFCC බැංකුවේ නවතම තාක්ෂණික මූල්‍ය මෙවලම වන DFCC වර්චුවල් වොලට් පහසුකම DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් නොවන්නන් හටද සේවාවන් ලබා ගත හැකි ආකාරයට පුළුල් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ වාසය කරන වයස අවුරුදු 18ට වඩා වැඩි ලියාපදිංචි දේශීය දුරකතන අංකයක් හිමි ඕනෑම අයෙකු හට DFCC බැංකු ශාඛා හා සේවා මධ්‍යස්ථාන 138ක් ඔස්සේ එක් වරක් ලියාපදිංචි වීමෙන් මෙම නිදහස් සේවාව ලබාගැනීමේ හැකියාව හිමිව පවතී. වරක් ලියාපදිංචි වී Apple App Store හෝ Google Play Store ඔස්සේ මෘදුකාංගය බාගත(ඩවුන්ලෝඩ්) කරගැනීමෙන් අනතුරුව තෝරාගත් වෙළෙඳ ආයතන වෙත මුදල් ගෙවීමේ හැකියාව මෙන්ම DFCC Virtual Wallet පහසුකම් හිමි පුද්ගලයන් හරහා මුදල් ගෙන්වා ගැනීමේ පහසුකමද හිමිවේ. වෙළඳ ආයතන හෝ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට, උපයෝගිතා බිල්පත් ගෙවීමට, ඕනෑම තැනක, ඕනෑම මොහොතක සිට මුදල් ගෙන්වා ගැනීමේ හා යැවීමේ හැකියාව මෙම මෘදුකාංගය හිමිකර දෙයි.

ලංකාවේ ජංගම දුරකතන භාවිත කරන 20,000ක් පමණ පිරිසක් දැනට DFCC වර්චුවල් වොලට් භාවිත කරනු ලබයි. එමෙන්ම 1300කට අධික වෙළෙඳසැල්වලින් විශේෂ දීමනා සමඟ ගනුදෙනු කිරීමටද ගනුදෙනුකරුවන්ට හැකිය. ඕනෑම වෙලාවක රුපියල් 10,000 දක්වා සියලුම මුදල් ගනුදෙනු සිදුකිරීමට හැකි අතර, සියලුම ගනුදෙනු සඳහා SMS පණිවිඩයක්ද එසැණින් ගනුදෙනුකරුවන්ට ලැබෙයි. එහි තවත් සුවිශේෂ වාසියක් වන්නේ ගනුදෙනුවට අදාළ මුදල් ප්‍රමාණය පමණක් වර්චුවල් වොලට් එක තුළට යවා ගිණුමේ ඉතිරි මුදල් සඳහා ඉහළ පොළියක් හිමිකර ගත හැකිවීමයි.

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ලක්ෂ්මන් සිල්වා මහතා මේ පිළිබඳ දක්වනුයේ මෙවැනි අදහසකි.

" DFCC Virtual Wallet මෘදුකාංගයට හිමිවූ වේගවත් පිළිගැනීම තුළ එම සේවාව තුළ ඇති පහසුකම් තවත් ඉහළ නැංවීමට අප තීරණය කළා. භාවිත කරන්නන්ගේ ආකර්ෂණය වඩාත් දිනාගනිමින්, ඉහළ ගනුදෙනු වටිනාකමක් අත්පත් කරගනිමින් ගනුදෙනුකරුවන්ට වැඩි පහසුකම් ප්‍රමාණයක් ලබාදීමට අපට හැකිවුණා"

"මෙම මෘදුකාංගය භාවිත කරන්නන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කොළඹින් පිට අයවීම වඩාත් සුවිශේෂී කාරණයක්. ඇත්තටම, ග්‍රාමීය ප්‍රදේශවල වර්ධනය ඉතා දිරිගන්වන සුළුයි. භාවිතය ඉතා පහසු නිසාවෙන්ම මෙම මෘදුකාංගය මුදල් ගෙවීමේ කටයුතුවලදී විප්ලවීය වෙනසක් සනිටුහන් කරමින් අසම සම සේවාවක් භාවිත කරන්නන්ට ලබාදී තිබෙනවා."

"කිසිදු ගෙවීමකින් තොරව පහසුවෙන් ගනුදෙනු කිරීමේ හැකියාව මෙන්ම වෙළෙඳපළේ ඇති ඉහළම සේවාවන් භුක්ති විඳීමේ හැකියාව මෙම සේවාව භාවිත කරන්නන් හට ලැබී තිබෙනවා. දැනටමත් DFCC Virtual Wallet සීමා මායිම් රහිත හැකියාවක් ලබාදී තිබෙනවා වගේම ලැබෙන තවත් අමතර වටිනාකම් රැසක් ලබාදීමට අප කැපවී සිටිනවා. ආර්ථික හේතුන් හත මෙම පහසුකම ලබාගැනීමට ප්‍රවේශ විය නොහැකි ස්මාර්ට් ජංගම දුරකතන භාවිත නොකරන්නන්හට පවා මෙම මෘදුකාංගය භුක්ති විඳීමේ හැකියාව ඉදිරියේදී ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම ඉදිරි කාලය DFCC Virtual Wallet භාවිත කරන්නන් හට නිසැකවම ආකර්ශණීය එකක් වේවි. ඩිජිටල් බැංකු සේවාවන් සඳහා වඩාත් නිදහස් ප්‍රවේශයක් DFCC Virtual Wallet හරහා සිදුව තිබෙනවා ".

DFCC Virtual Wallet යනු මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ එළිදක්වා ඇති එම මාදිලියේ පළමු මෘදුකාංගයයි. එය තනි පුද්ගල භාවිත කරන්නන්ට හා ව්‍යාපාරිකයන්ට සම්ප්‍රදායික ලෙස මුදල් ළඟ තබාගැනීමේ පුරුද්දෙන් ඈත්වීමට අවශ්‍ය අනුබලය සපයනු ලබයි. හුදෙක් මුදල් භාවිත කරමින් ගනුදෙනු කිරීමට හුරුව සිටි, බැංකුව සමඟ සම්බන්ධව සිටි ව්‍යාපාරිකයන්ගෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් DFCC Virtual Wallet පහසුකම හරහා විද්‍යුත් ගනුදෙනු කිරීමේ ක්‍රියාවලියකට මේ වන විට අනුගතව සිටිති. භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවීම් කරද්දී ක්ෂණිකව එය සිදුකළ හැකිවීම තුළ තම අරමුදල් තෝරාගත් ගිණුමක් වෙනුවෙන් මාරු කිරීමේ පහසුකම වෙළෙඳුන්ට මෙහිදී ලබාදී ඇත. කිසිදු ආරම්භක ගාස්තුවකින් තොරව වෙළෙඳපළේ පවතින අවම ගාස්තුව යටතේ මෙම පහසුකම් ලබාදී තිබීම තවත් විශේෂත්වයකි. මේ වන විට මහා පරිමාණ සුපිරි වෙළෙඳසැල්, ක්ෂණික ආහාර ජාල, සිල්ලර රෙදිපිළි වෙළඳ ජාල, අන්තර්ජාල ගනුදෙනු, සැලුන් හා සුපිරි සිනමා ශාලා කරා පැතිර ඇති අතර, නුදුරු අනාගතයේදී තවත් ආකර්ශණීය ස්ථාන රැසකට මෙය හඳුන්වාදීමත් සමඟ DFCC Virtual Wallet වඩාත් පහසු ගෙවීම් ක්‍රමවේදය DFCC වොලට් වෙත ලබාදී ඇති නිසා ඕනෑම මොහොතක තොරතුරු ලබාගැනීමට සහ සංවාදයේ යෙදීමට භාවිත කරන්නට හැකිය.

DFCC බැංකුව වත්මන් නව ප්‍රවණතාවයන්ට අනුගත වෙමින් කාර්යක්ෂම ඩිජිටල්කරණ ප්‍රවේශයක්ද සහිතව ශාඛාවන් ව්‍යාප්ත කිරීමේ ක්‍රමෝපාය පුළුල් කරමින් සිටී. DFCC Virtual Wallet (ශ්‍රී ලංකාවේ බැංකුකරණ ක්ෂේත්‍රය තුළ හඳුන්වා දෙන ලද ප්‍රථම ඩිජිටල් මුදල් පසුම්බිය), Lanka Money Transfer(වෙබ් ජාලය පදනම් කරගත් නවීනතම ප්‍රේෂණ ක්‍රමයකි), MTeller (බැංකු සේවාවන් ගනුදෙනුකරුවාගේ නිවස සමීපයටම රැගෙන එන බැංකුකරණ මෘදුකාංගය) වැනි ගනුදෙනුකරුවන්ට පහසුව සලසන තාක්ෂණයේ සහාය ලද නිපැයුම් හා සේවාවන් පදනම් කර ගනිමින් DFCC බැංකුව බැංකුකරණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. වඩාත් මෑතදී බැංකුව ඕනෑම පරිමාණයක ව්‍යාපාරයකට ප්‍රයෝජනයට ගත හැකි නවීනතම ගෙවීම් හා මුදල් කළමනාකරණ විසඳුමක් වන DFCC iConnect දියත් කළේය.

වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CIMA) සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) මෑතකදී DFCC බැංකුව ශ්‍රී ලංකාවේ 'වඩාත් ප්‍රශංසනීය සමාගම්' 10න් එකක් ලෙස සම්මානයට පාත්‍ර කළේය. Fitch Ratings Lanka Limited ආයතනය DFCC බැංකුව AA-(lka) වශයෙන් ශ්‍රේණිගත කර ඇත.

මාතෘකා