ජීවිතය සරල කරන Mobile App

 ඡායාරූපය:

ජීවිතය සරල කරන Mobile App

වත්මන් සමාජයේ බොහෝදෙනෙකු ගත කරන්නේ කාර්යබහුල අවිවේකී ජීවිතයකි. ඒ නිසාම බොහෝදෙනකු දෛනික කාර්යයන් පහසු සහ ඉක්මන් කරගැනීම සඳහා වඩා පහසු සහ ඉක්මන් ක්‍රමවේද සොයති. නවීන තාක්ෂණයත් සමඟ ඒ සඳහා මිනිසා විසින් සොයාගත් පහසු ක්‍රමවේදය වන්නේ ඩිජිටල්කරණයයි. වත්මන් ලෝකයේ ඩිජිටල්කරණයට නතු නොවූ යමක් සොයාගැනීමද දුෂ්කර කාර්යයකි.

ඩිජිටල්කරණයේදී ස්මාර්ට් ජංගම දුරකතනවලට (Smart Phone) විශේෂ ස්ථානයක් හිමිව තිබේ. එයට හේතුව ස්මාර්ට් දුරකතන භාවිතය බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති නිසාය. එම නිසාම සිය දෛනික කාර්යයන් පහසු සහ වේගවත් කරගැනීම ස්මාර්ට් දුරකතනය තුළින් සිදුකර ගැනීමේ ක්‍රමවේදය හෙවත් Mobile App මීට වසර කිහිපයකට පෙර ලොව පුරා ප්‍රචලිත විය. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේද Mobile App රාශියක් ජනතාව අතර ප්‍රචලිතව තිබේ.

ජංගම යෙදවුම් යන වචනය ඇතැම් කෙනෙකුට ආගන්තුක විය හැකි වුවත් Mobile App කියූ විට නම් බොහෝදෙනෙක් හොඳින් හඳුනයි. සරලව කිවහොත් 'මොබයිල් ඇප්' නැතහොත් ජංගම යෙදවුම් යනු ජංගම දුරකතනයක්, ටැබ්ලටයක් හෝ ඔරලෝසුවක් වැනි ජංගම උපාංගයක් මත ඩිජිටල් ආකාරයට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පරිගණක වැඩසටහනකි.

Mobile App ලොව පුරා කොතරම් දුරට ප්‍රචලිතව ඇත්දැයි පවසනවා නම්, 2020 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 189ක් පමණ ජංගම දුරකතන යෙදවුම් සඳහා ආයෝජනය කර ඇතැයි ගණන් බලා තිබේ. මෙම Mobile App පිළිබඳ ඉතිහාසය විමසීමේදී හෙළිවන්නේ මුල් කාලයේ ඒවා යොදාගෙන ඇත්තේ ඵලදායිතාව සහ තොරතුරු ලබාගැනීමේ මෙවලම් ලෙස කැලැන්ඩර්, ඊමේල් සහ කාලගුණ තොරතුරු වැනි සේවා සඳහා බවයි. පරිශීලකයන්ගේ ඉල්ලුම සහ සංවර්ධක මෙවලම් නිසා Mobile App වෙළෙඳපොල ලොව පුරා ක්‍රම ක්‍රමයෙන් ප්‍රචලිත වී ඇති අතර ක්‍රම ක්‍රමයෙන් එය සමාජජාලකරණය, ඡායාරූප, වීඩියෝ සහ ක්‍රීඩා ආදී අංශ සඳහා මෙන්ම සංචාර, ගමන් සේවා සහ නිමි ඇඳුම් සහ ආයිත්තම් ආදී විවිධාකාර භාවිතය සඳහා පුළුල් වී තිබේ. ඒ අනුව මේ වන විට වෙබ් අඩවිවලටත් වඩා වේගයෙන් Mobile App ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වී තිබේ.

ඒ අතරින් ඇතැම් Mobile App ස්මාර්ට් දුරකතන ඔස්සේ නොමිලේ Download කරගෙන ලියාපදිංචි වීම තුළින් විවිධ සේවාවන් ලබාගත හැකි අතර, ඇතැම් Mobile App ක්‍රෙඩිට් කාඩ් හෝ ඩිබෙට් කාඩ්පත් ඔස්සේ ගෙවීම් කරමින් Download කරගත යුතුය. මේ වන විට ලොව පුරා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුළින් යෙදවුම් මෘදුකාංග 250,000කටත් අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙතැයි වාර්තා වේ.

Mobile App තුළින් එදිනෙදා ජීවිතයට ලැබී ඇති පහසුව සහ කාර්යක්ෂමභාවය ඉහළම තත්ත්වයක පවතින අතර, මේ වන විට Mobile App ප්‍රවිශ්ට වී නැති අංශයක් නොමැති තරම්ය. අවන්හල් ,සංචාරක, සාප්පු සවාරි, සෞඛ්‍යය, අධ්‍යාපනය, බැංකුකරණය සහ ගුවන් ගමන් ආදී අංශ සඳහා ඔන්ලයින් ඇප්ස් භාවිතය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අතර මෙරටට පමණක් බලපාන Mobile App පවා ස්ථාපිත කර ඇති අතර, පොදු අරමුණු වෙනුවෙන් ස්ථාපිත කළ Mobile App ද ඒ අතර වේ. ඩෙංගු මර්දනය වෙනුවෙන් සකස් කරන ලද Mobile App එක ඒ අතර ප්‍රධාන වේ.

Mobile App තුළින් පාරිභෝගිකයාගේ දෛනික කටයුතු වඩාත් පහසු සහ කාර්යක්ෂම වී ඇතිවාක් මෙන්ම සේවාදායකයන්ට ඒ තුළින් පාරිභෝගිකයන්ට කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැලසීම පහසු වී තිබේ. එමෙන්ම සිය නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳ ඉක්මනින් වැඩිම පිරිසක් වෙත ප්‍රචලිත කිරීමේ හැකියාවද Mobile App තුළින් ව්‍යාපාරික ප්‍රජාවට ලැබී ඇති විශාල වාසියකි. ඊට අමතරව සිය සේවාවන් කෙරෙහි පාරිභෝගික ප්‍රතිචාර එසැණින් ලබාගැනීමේ (රිවිව්ස්) හැකියාවද Mobile App සතු වන බැවින් සිය සේවාවන්වල වල පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙමින් පාරිභෝගික ආකර්ෂණය වඩාත් හිතකර අයුරින් දිනාගැනීමටද වෙළෙඳ සමාගම්වලට අවස්ථාව සැලසී තිබීමද Mobile App සතු තවත් සුවිශේෂ වාසියකි.

 

මාතෘකා