තිස්හය වසරක් වන්නි වනපෙතේම සිප් නැණ බෙදන : ‘දුයිෂෙන්’

 ඡායාරූපය:

තිස්හය වසරක් වන්නි වනපෙතේම සිප් නැණ බෙදන : ‘දුයිෂෙන්’

ගුරුවරයාගේ භූමිකාව වෙනත් වෘත්තිකයකුට වඩා ඉතා සංකීර්ණය. කතා කරන ස්වරූපයේ සිට හැසිරෙන ආකාරය ඇතුළු පෞද්ගලික ජීවිතයේ සියලු දේ පවා සමාජයට ආදර්ශයක් වන අයුරින් සකස් කර ගැනීමට ගුරුවරයකුට නිතැතින් සිදුවේ.

ගුරුවරයා යනු කිසි විටෙකත් කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවන්නෙකි. තමාගෙන් ඉගෙනගත් සිසුවෙක් සමාජයේ ඉදිරි‍‍පෙළෙහි සිටීම හෝ සමාජයට ඵලදායී යහපත් පුරවැසියකු වී සිටිනවා දැකීම තරම් සතුටක් ගුරුවරයකුට තවත් නැති තරම්ය. ඔවුහු එයින් නිහතමානී සතුටක් ලබති.

නාගරික පාසල්වල සේවය කරන ගුරුවරුන් පිළිබඳව අප නිතර දෙවේලේ කතාබහ කළද ගම්බද පාසල්වල එසේ නොමැතිනම් දුෂ්කර පාසල්වල සේවය කරන ගුරුවරුන් කරන සේවය ඇගයීමකට ලක් කෙරෙන්නේ ඉතාමත් අල්ප වශයෙනි. දුෂ්කර පාසල්වල සේවය කරන බහුතරයක් ගුරුවරුන් දුෂ්කර පළාත්වලට ගොස් නේවාසිකාගාරවල රැඳී සිටිමින් තම දිවිය දුප්පත් දරුවන් වෙනුවෙන් කැප කරන්නේ ඔවුන් ලබන වැටුප ගැනද එතරම් සැලකිල්ලට නොගනිමිනි.

එවන් ගුරු පියෙක් අපට නිකවැරටිය අධ්‍යාපන කලාපයේ තුඹුල්ල මහ විද්‍යාලයෙන් හමුවිය. එම විදුහලේ වත්මන් විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන ඔහු නමින් එච්. ජේ. ජයසිංහ මහතාය. මේ, අප සමඟ බෙදාගත් ඔහුගේ ජීවන සැරියේ මතක සටහන්ය.

මේ වන විට ඔබේ ගුරු වෘත්තියට වසර කීයක් ගතවනවාද?

මේ වෙද්දි මගේ ගුරු වෘත්තියට වසර තිස් හයයි මාස අටක් සම්පූර්ණ වී තිබෙනවා..

ගුරු වෘත්තියට පිවිසීමට කුඩාකල සිට ඔබේ සිතේ බලාපොරොත්තුවක් තිබුණාද?

කුඩා කාලයේ සිටම මගේ අනාගත බලාපොරොත්තුව වුණේ වෛද්‍යවරයෙක් වීමටයි. ඒ නිසාම මම අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටියේ විද්‍යාව විෂය ධාරාවෙන්. නමුත් මට විශ්වවිද්‍යාලයට පිවිසීමට ලකුණු දෙකක් මදි වුණා. 1981 වසරේදී ගුරු විභාගයක් තිබුණා. මම ඒ විභාගයෙන් සමත් වෙලා 1982 වසරේදී ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස පත්වීම ලබා ගත්තා.

ගුරුවරයෙක් විදියට ඉගැන්වීම් කටයුතු ආරම්භ කළේ කුමන වර්ෂයේදීද?

මම ගුරුවරයෙක් විදියට මුල්ම පත්වීම ලබන්නේ 1982 වසරේදී.

ඒ මුල්ම පත්වීම ලැබෙන්නේ කුමන පාසලටද?

නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පිහිටා තිබෙන කිරින්ද විද්‍යාලයට තමයි මගේ මුල්ම පත්වීම ලැබුණේ. මට ඉංග්‍රීසි විෂය බාර ගුරුවරයෙක් විදියට තමයි ඒ පත්වීම ලැබෙන්නේ. ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් විදියට වසරක පමණ කාලයක් මම ඒ පාසලේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළා.

ඒ පාසලට ගිය මුල් අවධියේ මුහුණදුන් අත්දැකීම් මොන වගේද?

කිරින්ද විද්‍යාලය කියන්නේ අතිශය දුෂ්කර පරිසරයක පිහිටි දුප්පත් ළමුන් අධ්‍යාපනය ලබන ගම්බද පාසලක්. ඒ ළමයි ඉතාම අහිංසකයි. ඉතින් ඒ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම සඳහා මම ගුරුවරයෙක් විදියට විශාල කැපකිරීමක් කළා.

පාසල් වේලාවෙන් පසුව අඩු සාධන මට්ටමක් සහිත දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාව වර්ධනය කිරීම සඳහා අමතර පන්ති රාශියක් මම පැවැත්වුවා. ඒ පාසලේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නඟා සිටුවීමට මම මගේ කාලය, මුදල්, ශ්‍රමය පිළිබඳව එතරම් තැකීමක් නොකර වැඩ කළා. මුල්ම පත්වීම නිසා මම ඉතා ආසාවෙන් රැකියාවේ නියැළුණා.

ඉන්පසු ඉගැන්වූ පාසල් පිළිබඳ මතකය අවදි කළොත්?

මම මුලින්ම 1982 වසරේ සිට 1983 වසර දක්වා කාලයක් නිකවැරටිය කිරින්ද විද්‍යාලයේත්, 1983 සිට 1984 දක්වා වසරක පමණ කාලයක් නිකවැරටිය ගුරු විද්‍යාලයේ පුහුණුව ලැබීමෙන් පසුව 1984 වසරේදී මාස දෙකක පමණ කාලයක් යළිත් නිකවැරටිය කිරින්ද විද්‍යාලයේත්, 1985 පෙබරවාරි මාසයේ සිට 1995 වසර දක්වා මිල්ලගොඩ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඉංග්‍රීසි බාර ගුරුවරයා ලෙසත්, 1995 වසරේ සිට 1997 වසර දක්වා එම පාසලේම නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙසත් සේවය කළා. ඉන්පසුව 1997 වසරේ සිට 2001 වසරේ පෙබරවාරි මාසය දක්වා නිකවැරටිය පුබ්බිරිය විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසත් 2001 මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිකවැරටිය තුඹුල්ල විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා ලෙසත් සේවය කරනවා. මේ වසරේ දෙසැම්බර් මාසයේදී මම විශ්‍රාම ගැනීමට නියමිතයි.

ඔබ විදුහල්පතිවරයා ලෙස පත්වන විට වර්තමානයේ විදුහල්පති ධුරය දරන පාසල තිබුණ තත්ත්වය මොනවගේද?

නිකවැරටිය නගරයේ සිට කිලෝමීටර් නවයක් ඇතුළට වෙන්නයි අපේ තුඹුල්ල විද්‍යාලය පිහිටා තිබෙන්නේ. 2001 වසරේදී මම තුඹුල්ල විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පත්වන විට පාසලේ දරුවන් දෙසිය හතළිහක් පමණ ඉගෙනුම ලබමින් සිටියා. ගුරුවරුන් විසි එක්දෙනෙකු සේවය කරමින් සිටියා. නමුත් මේ වෙද්දි මගේ පාසලේ දරුවන් හාරසීයකට අධික පිරිසක් අධ්‍යාපනය ලබනවා. ගුරුවරුන් තිහක් සේවය කරනවා. 2001 වසරේදී පාසලේ එකොළහ ශ්‍රේණිය දක්වා පමණයි පන්ති පැවැත්වුණේ. නමුත් මේ වෙද්දි මගේ පාසලේ උසස් පෙළ දක්වා දරුවන් අධ්‍යාපනය හදාරනවා. පෙර තිබුණ තත්ත්වය සමඟ සසඳා බලද්දි මේ වෙද්දි පාසලේ විශාල සංවර්ධනයක් සිදු වෙලා තිබෙනවා. පාසල මේ තත්ත්වයට සංවර්ධනය කිරීම සඳහා මා ඇතුළු ගුරු මණ්ඩලයත්, පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ මවුපියනුත් ගොඩක් කැපකිරීම් කළා. එකා මෙන් සහයෝගයෙන්, එකමුතුව වෙහෙස මහන්සි වුණා. විදුහල්පතිවරයා ලෙස මම ඒ පිළිබඳව නිහතමානීව සතුටු වෙනවා.

ඔබගේ විදුහල්පති ජීවිතයට මේ වෙද්දි වසර කීයද?

මගේ විදුහල්පති දිවියට මේ වෙද්දි වසර විසි එකක් සපිරෙනවා.

විදුහල්පතිවරයා වශයෙන් පාසල වෙනුවෙන් ඔබ කළ කැප කිරීම් ගැන සිහිපත් කරනවා නම්?

මගේ පාසලේ අධ්‍යාපනය හදාරන දරුවන්ගේ සියයට අසූවක් පමණ දුප්පත් පවුල්වල සහ නගරයේ තිබෙන පාසල්වල අධ්‍යාපනය හැදෑරීම සඳහා වත්කමක් නැති දරුවන්. ඉතින් ඒ නිසා මම හැකි සෑමවිටම දරුවන්ට අධ්‍යාපනයේ වටිනාකම අවබෝධ කර දෙනවා. දරුවන්ගේ කාලය කළමනාකරණය කර ගැනීමට මවුපියන්ගේ සහයෝගය ඉතා අවශ්‍යයි. ඒ නිසා නිවස තුළත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට මවුපියන් දැනුවත් කරනවා. මේ වෙද්දි මගේ පාසල ‘ළඟම පාසල හොඳම පාසල’ යන සංකල්පය යටතේ දෙවැනි මට්ටමේ පවතිනවා. ඊට අමතරව දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සහ බාහිර ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා බොහෝ වැඩසටහන් ගුරුවරුන්ගේ මැදිහත්වීම මත දියත් කරනවා. මේ වෙද්දි මේ පාසල සතුව විද්‍යාගාරයක්, සෞන්දර්ය ඒකකයක්, ප්‍රාථමික ඒකකයක් සහ නවීන තාක්ෂණාගාරයක් තිබෙනවා. මවුපියන්ගේ දායකත්වයෙන් පාසල් වත්ත තුළ අලංකාර බුදු මැදුරක් ගොඩ නැඟීමටත් මට හැකියාව ලැබුණා. මගේ පාසලේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තත්ත්වය සියයට අසූවකට වඩා වැඩි මට්ටමේ පවතිනවා. එයත් විශාල ජයග්‍රහණයක්.

අධ්‍යාපන අමාත්‍යංශය, කලාප අධ්‍යාපන කාර්යාලය වැනි ආයතන මඟින් ඔබේ පාසලට ලැබෙන සහයෝගය මොන වගේද?

අධ්‍යාපන අමාත්‍යාංශය සහ කලාප අධ්‍යාපන කාර්යාලය වගේ රජයේ ආයතන මඟින් මගේ පාසලට නොඅඩුව සහයෝගය ලබා දෙනවා. මෑත කාලීනව මගේ පාසලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයක් ලැබුණා. ඒ ආයතන මඟින් අවශ්‍ය වේලාවට මානව සම්පත් සහ භෞතික සම්පත් පාසලට ලබාදෙනවා. පාසලේ අධ්‍යාපන කටයුතු පිළිබඳව නිරන්තරයෙන් සොයා බලා ඊට අවශ්‍ය උපදෙස් සෑමවිටම ලබාදෙනවා.

වර්තමානයේ බොහෝ ගුරුවරුන් තෝරාගන්නේ නගරබද සුපිරි පාසල්, ජනප්‍රිය පාසල්. නමුත් ඔබ දුෂ්කර පාසල් පමණක්ම තෝරාගන්න හේතුව කුමක්ද?

මාත් දුප්පත් පවුලක හැදී වැඩුණ බොහොම අමාරුවෙන් නිදහස් අධ්‍යාපනයෙන් මේ තත්ත්වයට පත් වූ අයෙක්. ඒ නිසා මම කැමතියි දුෂ්කර පාසල්වල ඉන්න දුප්පත් දරුවන්ට උගන්වන්න. එයාලට හොඳ ගුරුවරයෙක් වෙන්න. නගරයේ තිබෙන සුපිරි පන්නයේ පාසල්වලට යාම සඳහා වත්කමක් නැති නිසානේ මේ දරුවන් ගමේ තිබෙන දුෂ්කර, පුංචි පාසලේ ඉගෙනුම ලබන්නේ. ඒ වගේ දරුවන්ට උගන්වන්න ගුරුවරුන් බොහෝමයක් කැමති නැහැ. එහෙම ගුරුවරු වර්තමාන සමාජය තුළ දකින්නට ලැබෙන්නේ නැති තරම්. ඒ නිසයි මම දුෂ්කර පාසල් පමණක් තෝරාගන්නේ. එයින් මම දැඩි ආත්ම තෘප්තියක් ලබනවා.

විදුහල්පතිවරයා ලෙස ගුරුවරු, මවුපියන් සහ දරුවන් අතර පවතින අන්තර් සම්බන්ධතාව මනාව කළමනාකරණය කරගන්නේ කොහොමද?

දරුවන්, ගුරුවරුන් සහ දෙමවුපියන් සමඟ එක්ව මාසයකට වතාවක් පන්තිකව රැස්වීමක් පවත්වනවා. අඩු සාධන මට්ටමක් සහිත දරුවන්ට උනන්දු කරවනවා. උපදෙස් දෙනවා. ඒ වගේ දරුවන්ගේ ගෙවල්වලට නිතර ගොස් ඔවුන් නිසි ලෙස අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවාද කියා අපි සොයා බලනවා. දෙමවුපින්ටත් ඒ සඳහා අවශ්‍ය උපදෙස් අපි ලබාදෙනවා.

මෙම පාසල් පරිසරය තුළ ඔබ අභියෝගවලට මුහුණ දී තිබෙනවාද?

අභියෝග නැතිවත් නෙවෙයි. බරපතළ මට්ටමේ අභියෝග නොවුණත් අවස්ථානුකූලව ඒ ගැටලුවලට මුහුණ දීලා මේ පවතින ආකාරයට පාසල පවත්වාගෙන යෑමට හැකිවී තිබෙනවා.

විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට ගොස් ළමුන්ගේ ආකල්ප වර්ධනය කිරීම සඳහා ඔබ සිතන ආකාරයට කුමක් කළ යුතුද?

මගේ වසර තිස්හයක ගුරු ජීවිතය දිහා බැලුවම පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු කාලයත් පසුවෙලා කියා මට සිතෙනවා. දැනුමෙන් පමණක් පෝෂණය කිරීමෙන් දරුවන් යහපත් පුරවැසියන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා ඔවුන්ගේ ආකල්ප සහ ගුණධර්ම යන දෙකම පාසලේදී ඉගැන්විය යුතුයි. දරුවෙක් සමාජයට ඵලදායී යහපත් පුරවැසියෙක් කිරීමේ හැකියාව පාසල සතුව පවතිනවා. නමුත් ඒ සඳහා ප්‍රතිව්‍යුහකරණයක් කළ යුතුයි. ඒ වගේම ගම්බද පාසල් මීට වඩා සංවර්ධනය කළ යුතුයි කියා මම සිතනවා. දරුවන්ට ප්‍රායෝගික අධ්‍යාපනය ලබා දිය යුතුයි. දරුවන් රුචිකත්වයක් දක්වන ආකාරයට අධ්‍යාපන ක්‍රමය නැවත ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එසේ කිරීමෙන් සමාජයට ඵලදායී පුරවැසියන් බිහිකිරීමේ හැකියාව පවතිනවා.

අමතර පන්ති මඟින් දරුවන් මානසිකව සහ දෙමව්පියන් මූල්‍යමය අතින් පීඩාවට පත් කරනවා. මේ දෙපාර්ශ්වයම පීඩාවන්ගෙන් මුදවා ගැනීම සඳහා ඔබ සිතන ආකාරයට කුමක් කළ යුතුද?

වර්තමානයේදී දැනුම හඹා යන ප්‍රවණතාව වැඩියි. අමතර පන්තියට ගියා කියලා දරුවෝ ලොකු දැනුමක් ගන්නෙ නැහැ. නගරයේ තිබෙන පන්තිවලට ගිහින් තමයි අද දරුවෝ විශාල වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්නේ. අපේ රටේ පවතින්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක්නේ. පවතින අධ්‍යාපන රටාව තුළ නිදහස් අධ්‍යාපනයට ලැබිය යුතු නිසි තැන සියයට සියයක් ලැබෙනවා කියා මම හිතන්නේ නැහැ. මීට වඩා දරුවන්ගේ විෂය නිර්දේශය සැහැල්ලු විය යුතුයි. වර්තමානයේ පවතින විෂය නිර්දේශ දරුවන්ට දරාගැනීමේ හැකියාවක් නැහැ. ඔවුන් එයින් විශාල ලෙස මානසික පීඩනයකට ලක්වෙනවා. සරල ආකාරයට, දරුවන්ට සතුටෙන් ඉගෙනගැනීමට හැකියාව ඇති අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි. අද සමාජයේ බොහෝ වෙලාවට කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ගොඩනැගිලි, විද්‍යාගාර ඉදිකිරීම පමණයි. ගොඩනැඟිලි ඉදිකිරීම වෙනුවට දරුවන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලියේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය මොහොතක අපේ අධ්‍යාපන ක්‍රමය පවතින බවයි මගේ අදහස.

වසර තිස් හයක වෘත්තීය ජීවිතය පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවාද?

මට මගේ ජීවිතේ ගැන ආපස්සට හැරිලා බලද්දි ගොඩක් සතුටු වෙන්න පුළුවන්.මම වෘත්තීය ජීවිතය ආරම්භ කළ දවසේ සිට අද වෙනතුරු දරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම කැපවීම් කළ කෙනෙක්. ඇත්තෙන්ම වෘත්තීය ජීවිතය තුළ මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා.

[නිමාෂා සඳරුවනි]

මාතෘකා