බුලත්විටට හැපෙන ජීවිත

 ඡායාරූපය:

බුලත්විටට හැපෙන ජීවිත

සතිපොළේ, ගමේ කඩපිළේ සිට සුපිරි වෙළෙඳසැල දක්වාම බුලත්, පුවක් වෙළෙඳාම යහමින් සිදුවන්නකි. ගම්මැදිවල බුලත්, පුවක් මෙන්ම දුම්කොළ වවා දිවි සරිකරන පිරිසද එකකු දෙන්නකු නොවේ. කොහේ කොතැනක හෝ ඇති කඩමණ්ඩි යාබදව සේම විසල් ව්‍යාපාර ඇති නගර මධ්‍යයේ අතොරක් දෙනා යන එන මහ මඟ පසෙකට වී බුලත් විට වෙළෙඳාමේ නියැළෙන්නෝ බොහෝ වෙති. ඒ සමහරකුට ජීවිතයේ සැඳෑසමය දුකින් පිරි සටනකි.

කොතරම් බතින් සංග්‍රහ කළද බුලතින් සංග්‍රහ නොකළහොත් සමහරකුගේ සිත් සතුටු නොවන බව සිහලුන් අතර පැවසෙන ප්‍රවාදයකි. එහෙත් බත සරිකරගැනුම උදෙසා බුලත්විටට මැදිව දිවි ගෙවන මේ මිනිසුන්ගේ සිත් සතුටු නොවන්නේ නම්, එය කවර කරුණක් නිසා විය හැකිද? බුලත් විට සේම බුලත්, පුවක්, හුනු, දුම්කොළ විකුණා දවස සරි කරන හැම කෙනකු ළඟම කතාවක් ඇත. අනිත් බොහෝ කතාවල සේම ඒ කතාවේද දුක වැඩිය. සතුට අඩුය.

තලාව, මොරගොඩ පදිංචි කේ. පී. විජේරත්න මහතාද කලක සිට බුලත්විට වෙළෙඳාමේ නියැ‍ෙළන අයෙකි. සිනහ පිරි මුහුණින් ඔහු කීවේ දුක හිතෙන කතාවකි.

“අපි පුවක් ගෙඩියක් ගන්නේ රුපියල් හයකට. බුලත් කොළයක් රුපියල් තුනයි පනහක් වෙනවා. දුම්කොළ කට්ටයක් රුපියල් 300ක් විතර වෙනවා. පොඩි හුනු පැකට් එකක් රුපියල් පහළොවක් විතර වෙනවා. ඔය හැමදේමත් එක්ක තමයි අපි රුපියල් තිස් පහකට බුලත්විටක් දෙන්නේ.

හැමදේම ගණන් යන කාලේ ඒ ගානට බුලත්විටක් දෙන්නේ බොහොම අමාරුවෙන්. මේ අඩුම කුඩුම ගන්න දවසකට රුපියල් දාහක් විතර යනවා. ඔක්කොම වියදම ඇරලා බලනකොට රුපියල් හාරසීයක් විතර තමයි අතට ඉතුරුවෙන්නේ. බලනකොට ඇති දෙයක් නෑ. ඒත් මේක නවත්තලා අපේ වයසත් එක්ක දැන් වෙන දෙයක් පටන් ගන්ඩ කාලෙකුත් නෑ. ඇඟේ පතේ හයියකුත් නෑ. දැන් අපේ ජීවිතේ ගතවෙලා ඉවරයි. ඒත් නිකං ඉන්න හිතක් නෑ. එහෙම හිටියා කියලා කීයක්වත් හොයාගන්න විදිහක් නෑ. මං කැමති නෑ දරුවකුටවත් බරක් වෙන්න.”

ඉඳහිට හෝ බුලත්විටක් නොකන කෙනකු නැති තරම්ය. සමහරකු පවසන පරිදි අවමංගල්‍යයක ආදාහන කටයුතු සිදුකොට ආපසු හැරී බලන කල්හි ඉහළම වියහියදම් ගිය දෑ අතර බුලත්විටද නිරන්තරව ඇති බව නොරහසකි.

කවරදාක හෝ බුලත්විටක රහ නොබලා නැතිනම් පුරුද්දක් ලෙස බුලත් නොකන සමහරකුද මරණ ගෙදරකදී ඒ සඳහා යොමුවන්නේ නිතැතිනි. ඒ ලාංකේය ජන සමාජයේ හැටිය. ඒ හැම අතරවාරයේ කිසිවකු හෝ බුලත්විටක මිල වැඩි යැයි කියන්නටද බැරි නැත. බුලත්විට වෙළෙඳාමෙන් හොඳ හැටි පදම් වී ඇති කේ. ටී. ගුණසිරි මහතා පැවසුවේ බුලත්, පුවක් සමග ගෙවීයන ජීවිත සටන පිළිබඳවය.

“අවුරුදු තිස්පහක් විතර තිස්සේ මං මේ රස්සාව කරන්නේ. අපි දරුවෝ ලොකු මහත් කෙරුවෙත් මේ රස්සාව කරලා. දරුවෝ කසාද බැඳලා ඉන්නේ. කොච්චර අමාරු වුණත් දරුවන්ට කරදර කරන්න මං කැමති නෑ. පුරුද්දක් හැටියට විට කන කට්ටියක් ඉන්නවා. ඒ ගොල්ලෝ මේ අහළ පහළ ඔපීස්වල එහෙම වැඩ කරන අය. ඒ ගොල්ලෝ දවල් කෑම වෙලාවට එහෙම එනවා. ඒ අය නිසා අපිත් කීයක් හරි හොයාගෙන ජීවත් වෙනවා.

මොනවා වුණත් අපි වගේ රස්සා කරන අය විඳින දුක කාටවත්ම පේන්නෑ. තවමත් සමහරු බුලත් විටක් ඉල්ලන්නේ රුපියල් දහයට පහළොවට. කීදෙනෙක් ඉන්නවද මේ විදිහට පාරේ බැහැලා වෙළෙඳාම් කරන අය. කවුද ඒ අය ගැන අනුකම්පා කරන්නේ අපහාස කරනවා මිසක්. එක එක නීති ගෙනැල්ලා හිර කරන්ඩ හදනවා. ඒත් මේක තමයි ජීවිතේ. ඒ ගැන කම්පාවක් නෑ.”

කොහේ හෝ ගස් හෙවණක, කඩ පිළක, කුඩ හෙවණකට වී බුලත්විට වෙළෙඳාමේ නියැළෙන බොහෝ දෙනකු මේ ජීවිත සටනට පිවිස ඇත්තේ තරුණ අවධියේ සිටියදීය. නිමල් කරුණාතිලක මහතාද එවැන්නෙකි. 1978 වර්ෂයේ දිනකදී ඔහු අනුරාධපුර නගරයට පැමිණ ඇත්තේ ජීවනෝපාය සඳහා බුලත් විට වෙළෙඳාමේ යෙදීම සදහාය.

එදා සිට ගෙවීයන මේ මොහොත දක්වාම සිනහ කඳුළු පිරි ජීවිත ගමන බුලත්, පුවක්, හුනු, දුම්කොල අතර ගෙවා දැමූ ඔහු අදද ඉන් බැහැරව නැත්තේ දෛවය එලෙසම ලියැවී ඇති නිසාවෙනි. කලබැගෑනි සපිරි නගරයේ රුක් හෙවණකට වී බුලත්විටට අඩුම කුඩුම සුරුවමට සකසන නිමල් මහතාගේ දෙනෙත සැඳෑ සමයේ දුක්ඛ දෝමනස්ස හමුවේ බොඳවී ඇත. මේ ඔහුගේ කතාවය.

“මට දැන් අවුරුදු 75ක් වෙනවා. දැන් අවුරුදු 40ක් විතර කෙරුවේ බුලත්විට විකුණපු එක. දරුවෝ ලොකු මහත් කෙරුවේ මේ රස්සාවෙන්. 1978 අවුරුද්දේ තමයි බුලත්විට වෙළෙඳාම කරන්න පටන් ගත්තේ. එදා ඉඳලා අද වෙනකන්ම රස්සාව කරනවා. ඒ කාලේ රුපියල් දෙකකට තමයි අපි බුලත්විට වික්කේ. දැන් රුපියල් 35කට විකුණන්නේ. මට මතකයි අපි දෙතුන් දෙනෙක් තමයි ඒ කාලේ මුළු අනුරාධපුරේටම බුලත්විට විකුණන්න හිටියේ. දැන් නම් දහපහළොස් දෙනෙක් ඉන්නවා.

ඒ කාලේ ටවුන් එක මේ තරම් දියුණුවක් නෑ. හැබැයි මීට වඩා බුලත්විට විකුණුවා. අඩුම ගානේ දවසකට බුලත්විට සීයක් විතර වික්කා. දැන් දවසකට විට හතළිහක් පණහක් තමයි විකිණෙන්නේ. ඒකත් හැමදාම නෑ. සමහරදාට විට විස්සක්වත් විකිණෙන්නේ නැති දවස් තියෙනවා. එතකොට මේ වෙළෙඳාම මොකටද කියලා හිතෙනවා. ඒත් දැන් අපේ කාලේ ඉවරයි.”

ගිරිදා, නාගවල්ලි, ගැටතවාල, දලු බුලත්, කොවුල් බුලත්, මල් බුලත් යනාදී වශයෙන් බුලත් වර්ග රැසකි. හෙළ ඉතිහාසයට අනුව මහ වාසල බෙහෙත් ගෙයි මුහන්දිරම් නමින් පත්වී සිටි නිලධාරියා සතු රාජකාරි රාශියෙන් එකක් ලෙස දිනපතා රජ මාලිගයට බුලත් සැපයීම නියමව තිබූ බව සඳහන් වෙයි.

ලාංකේය ජන සමාජීය ඉතිහාසය කොතරම් ඈතට දිව යන්නේද එපමණටම පැරණි යටගියාවක් බුලත් හා සම්බන්ධව ඇත. සිංහලයාගේ ආර්ථික සමෘද්ධිය මූර්තිමත් කරන්නක් ලෙසත්, සාමයේ හා සහෝදරත්වයේ සංකේතයක් වශයෙනුත් බුලත් උසස් තැනක වැජඹෙන්නේ අද ඊයේ සිට නොවේ.

බුලත්, පුවක් සපිරි දැහැත් වට්ටියක් භික්ෂුන් වහන්සේ උදෙසා සිරිත් සම්ප්‍රදානුකූලව පිරිනැමීම අදද සිදුවන්නකි. බුලත් සමඟ බුලත්විට ද අවියෝජනීයව එකිනෙක ඈඳී ඇත්තේ එවක පටන්ය. වසර තිහක පමණ කාලයක සිට දුම්කොළ වෙළෙඳාමේ නියුතු රාජාංගණය ජනපදයේ ඊ. එම්. බී. ගාමිණී පැවසූයේ මෙවැනි අදහසකි.

“දන්න කියන දවසේ ඉඳලා කරන්නේ මේ රස්සාව. දරුවෝ ජීවත් කරවන්නේ මේ හොයාගන්න කීයෙන් හරි. දුම්කොළවලට ඒ කාලේ ඉඳන්ම තියෙන ඉල්ලුම තාමත් අඩුවෙලා නෑ. බුලත්විට කන මිනිස්සු සතියකට හමාරකට සැරයක් අපෙන් දුම්කොළ අරන් යනවා.

විට විකුණන කට්ටිය අපෙන් දුම්කොළ ගන්නවා. දැන් අපි මේ රස්සාවට හුරුවෙලා ඉන්නේ. මේක අතඇරලා වෙන ජීවත් වෙන්ඩ මාර්ගයක් නෑ. එකපාරක් දුම්කොළ එක්ක බුලත්විට විකුණන එක තහනම් කෙරුවා ගහෙන් ගෙඩි එනවා වගේ.

අවසානේ කොහොම හරි ඒ තහනම අයින් කෙරුවා. බැරි වෙලාවත් ඒ තහනම ඒ විදිහටම තිබ්බ නම් අපි වගේ පොඩි වෙළෙන්දෝ කී දාහක් නම් මහ පාරට වැටෙයිද?”

ජීවිත ගමනේ කටුක බව මේ හැම දෙනෙතකම ලියැවී තිබේ. කාෂ්ටක අව්වේ කඩිමුඩියේ ඔබමොබ යන අතොරක් සෙනඟ වෙත ඔවුහු බලාපොරොත්තුවේ දෑස් දල්වති. විටෙක ඒ අපේක්ෂා ඵලදරයි.

විටෙක නොපෙනෙන කඳුළක බොඳව යයි. අතීතය කොතරම් නම් සුන්දරද? අයකුට අවැසි තරම් එසේ පැවසිය හැක. ඒ මියගිය අතීතය යළි කවරදාක හෝ ජීවමාන නොවන බැවිනි.

මේ වියපත් මිනිසුන් බොහෝ දෙනකුගේ මනසේ කැකෑරෙන අතීතයේ මිහිරි අමිහිරි මතක සියල්ලක්ම මේ වන විට ඔවුන්ට මිහිරකි. වසර හතළිහක් මුළුල්ලේ පොළින් පොළට ගොස් බුලත්, පුවක් වෙළෙඳාමේ නිරත වූ තඹුත්තේගම ඒ. ආර්. ටිකිරිබණ්ඩා මහතාටද ඇත්තේ එවන් මතක ගොන්නකි.

“ඒ කාලේ පොළට එන හැම මනුස්සයෙක්ම වගේ බුලත්, පුවක්, හුනු, දුම්කොළ ටිකක් මිලදී ගත්තා. ඒකෙන් අපිත් ජීවත් වුණා. අපි කවුරුවත් මහලොකු දේවල් බලාපොරොත්තු වුණේ නෑ.

ඒ හින්දමද මන්දා ප්‍රශ්න තිබුණෙත් නෑ. ගහ මරා ගත්තෙත් නෑ. දැන් කොතන බැලුවත් ප්‍රශ්න. ඉස්සර අනිවාර්යයෙන්ම ගෙදරට එන මනුස්සයකුට කෑවත් නැතත් බුලත් හෙප්පුව දුන්නා බුලත් විටක් කන්න. දැන් ඒ සිරිත් මොකුත් නෑ. බුලත් විටක් කන්ඩ දෙන එකෙන් මිනිස්සු පෙන්නුවේ ඒ අයගේ මනුස්සකම.

දැන් ඉස්සර වගේ අපිටත් ලොකු වෙළෙඳාමක් නෑ. මොකද මිනිස්සු හැමදේම කරන්නේ තමන්ගේ තත්ත්වේ රැකගන්ඩ. ඉස්සර තිබ්බ සරලකම දැන් මිනිස්සුන්ගේ හදවත් ඇතුළේ නෑ. බුලත් විටක් හැපුවහම තමන්ගේ චරිතය හෑල්ලු වෙනවා කියලා සමහරු හිතනවා. මේක මහ පුදුම ලෝකයක්. බුලත් හපන එක හෑල්ලුයි. ටයි බැඳගෙන හොරකම් කරන එක නම්බුයි. පුදුම රටක් මේක.”

හපන දුම්කොළ හෙවත් දුම් රහිත දුම්කොළ සහ පුවක් අඩංගු බුලත්විට හා සෙසු නිෂ්පාදන නිසා ඇතිවන මුඛ පිළිකා හේතුවෙන් ලංකාවේ දිනකට පුද්ගලයන් හතරදෙනකු මියයන බවත්, පිරිමින්ට වැලඳෙන පිළිකා අතරින් ප්‍රමුඛ වන්නේ මුඛ පිළිකා බවත්, මුඛ පිළිකා වැලඳුණු අයගෙන් 85%ක් දෙනා බුලත් විට කන අය බවත් වෛද්‍ය විශේෂඥයෝ තහවුරු කරති.

දුම් රහිත දුම්කොළ හා සම්බන්ධ පිළිකා හේතුවෙන් වසරකට සිදුවන මරණ සංඛ්‍යාව දහසකට අධික බව මෙන්ම රෝගීන් වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 05ක පමණ වැය බරක් රජයට දැරීමට සිදුව තිබෙන බව සොයාගෙන තිබේ. කෙසේ වී නමුදු අනාදිමත් කාලයක පටන් මෙරට සාම්ප්‍රදායික ජන සමාජයේ මිනිස්කමේ සංකේතයක් ලෙසද සැලකූ බුලත්විට සඳහා ඇති පිළිගැනීම තවත් බොහෝ කාලයක් යනතුරු පවතීවියැයි විශ්වාසයක් පවතී.

 

තඹුත්තේගම විශේෂ [ඩබිලිව්. ප්‍රදීප්]

මාතෘකා