බිස්නස් එකේ ප්‍රශ්න විසඳන සරල සූත්‍රයක්

 ඡායාරූපය:

බිස්නස් එකේ ප්‍රශ්න විසඳන සරල සූත්‍රයක්

ව්‍යවසායකයකු ලෙසින් ඔබට ආයතනයේ භෞතික සහ මානව සම්පත් කළමනාකරණයේ තද වගකීමක් දරන්නට සිදුවෙයි. ආයතනයක වැදගත්ම සම්පතක් වුණත් මානව සම්පත සමඟ ගනුදෙනුව එතරම් පහසු කටයුත්තක් නොවේ. මෙම කාර්යය තුළ ව්‍යවසායකයකු ලෙසින් ඔබගේ තීන්දු තීරණ ඉතා බුද්ධිමත් ලෙසින් ගළපා ගැනීම ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම ගැටලු නිරාකරණයේ දී ඉතා නිර්මාණශීලී පුද්ගලයෙක් වීම අත්‍යවශ්‍ය කරුණකි. ගැටලු විසඳීමේ දී ව්‍යවසායකයකු විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේද කිහිපයක් පර්යේෂකයන් විසින් හඳුනා ගෙන ඇත. ඔවුන්ගේ පෙන්වා දීමට අනුව එම ත්‍රිවිධාකාර අදියර මෙසේය.

එකක් විසඳන තෙක් අනෙක් ගැටලුවට මැදිහත් නොවීම

ඔබ ඉදිරියේ තිබෙන ගැටලු එකින් එක මාරු කරමින් විරාමයක් සහිතව සාකච්ඡාවට ගැනීම

තමන්ගේ අභිමතය අනුව ගැටලුව විසඳීම

ගැටලු විසඳීම සඳහා එක් එක් අය අනුගමනය කරනු ලබන ක්‍රමවේද ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙසේය. එදිනෙදා ජීවිතයේ සරල සිදුවීමක් ගැන සිතන්න. ඔබට පලතුරු සහ එළවළු තොගයක් බාර දී එය කොටස්වලට වෙන් කිරීමට උපදෙස් ලැබෙනු ඇත. එහි දී ඔබ අනුගමනය කරනු ලබන ක්‍රමවේද කිහිපයක් ඇත.

මුලින්ම එළවළු සහ පලතුරු වෙන් කිරීම, එයින් පසුව එළවළු වර්ග වෙන් කොට එයින් පසුව පලතුරු වර්ග වෙන් කිරීම, එකම වරක දී එළවළු සහ පලතුරු මෙන්ම වර්ග වශයෙන් සියල්ල වෙන් කර ගැනීම, පිළිවෙළක් නොමැතිව මේ සියල්ල ගබඩා කිරීම එවැනි මූලික ක්‍රමවේද වේ.

ව්‍යවසායකයකු ගැටලු විසඳීම සඳහාද මෙම ක්‍රමවේද අනුගමනය කරන අතර, එයින් වඩාත් නිර්මාණශීලී අවසානයක් ලබාගත හැකි පිළිවෙළ ගැන පර්යේෂකයන් විසින් වැඩි අවධානයක් යොමු කර ඇත.

තමන්ගේ අභිමතය අනුව ගැටලුව විසඳීමේ ක්‍රමවේදය ඉතා අසාර්ථක ක්‍රමවේදයක් බැව් හඳුනා ගෙන ඇත.

එකක් විසඳන තෙක් අනෙක් ගැටලුවට මැදිහත් නොවීමේ ක්‍රමවේදය බැලූ බැල්මටම වඩාත් සාර්ථක යැයි සිතනු ඇත. ඊට හේතු වන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ දී පවා අපි කියන දොඩම් ගොඩම බදා ගත් පුද්ගලයාට මෙම අවස්ථාව සමාන වීමය. දොඩම් ගොඩක් එකවර බදා ගත් විට ප්‍රතිඵල නොලැබෙන්නා සේ ගැටලු සියල්ල එකවර සාකච්ඡාවට ගත් විට එය අසාර්ථක බව පර්යේෂකයන් විසින් දැන් හඳුනාගෙන තිබේ. ඔවුන් පෙන්වා දෙන අන්දමට එය අසාර්ථක ප්‍රයත්නයකි. වෙනස් විය යුතු තැන වෙනස් වීමට අවස්ථාවක් නොලැබෙන අතර ගැටලුව වෙනුවෙන් ලැබෙන තීන්දුව එතරම් ප්‍රායෝගික නැති බව පර්යේෂකයන්ගේ අදහසයි.

ඔබ ඉදිරියේ තිබෙන ගැටලු එකින් එක මාරුවෙමින් විරාමයක් සහිතව සාකච්ඡාවට ගැනීමේ ක්‍රමවේදය ව්‍යවසායකයන්ගේ ගැටලු විසඳීම සඳහා සාකච්ඡා කිරීමේ දී ඉතා ප්‍රායෝගික බවත්, ගැටලු සාකච්ඡා කිරීමේ දී විවිධ අදහස් ඉස්මතු වෙන අතර, සාර්ථක විසඳුම් ලබාදෙන බවත් හඳුනා ගෙන ඇත.

සියලු ගැටලු එකවර විරාමයක් සහිතව සාකච්ඡාවට ගැනීම සාර්ථකද?

මෙම ක්‍රමය පිළිබඳ ව්‍යවසායකයන්ගේ තක්සේරුව අධ්‍යයනය කිරීම සඳහා ඔවුන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් ගැන අදහස් විමසීමක් සිදුකර ඇත. එහි දී බොහෝ දෙනා අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම ක්‍රමය යටතේ ගැටලු විසඳීමේ දී විවිධ ගැටලු විරාමයක් තබමින් සාකච්ඡා කිරීම නිසා සත්‍යයට ඉඩක් ලැබෙන අතර, විරාමයක් නොතබා හෝ එක් අයකුගේ අභිමතය අනුව ගැටලු විසඳීමේ දී ඇති සීමිත වපසරියක් මත සාර්ථක විසඳුම් නොලැබෙන බවයි. සාකච්ඡා වාර කිහිපයක් නිසා ගැටලුව දෙස විවිධ පැතිකඩවලින් බැලීමට ඉඩක් ලැබෙන අතර, මේ තත්ත්වය නිසා අවසානයේ දී ඉතා නිර්මාණශීලී විසඳුමක් ලැබෙන අතර එයට වඩාත් හේතු වන්නේ විරාමය නිසා ඇතිවන නැවුම් බවය.

ස්ටීවන් ස්මිත් සහ ඔහුගේ කණ්ඩායම විසින් හඳුනාගත්තේ විරාමයක් තබමින් එකින් එක ගැටලු සාකච්ඡා කිරීමෙන් ඉතා නැවුම් විසඳුම් ලබාගැනීම පහසු බවයි.

මේ පිළිබඳ සරල උදාහරණයක් ගන්න. ඔබ ආයතනයේ විවිධ අංශවල සේවකයන්ට ඇති ගැටලු සාකච්ඡා කිරීමේ දී ඔබ මේ සියලුදෙනා එකවර රැස්වීමකට සම්බන්ධ කර නොගෙන එක් එක් අංශ වෙන් වෙන්ව ගෙන සාකච්ඡා කළහොත් ඒ වෙනුවෙන් විශාල කාලයක් වැයවන අතර අවසානයේ දී එක් එක් අංශයේ ප්‍රශ්න හුදෙකලා වනු ඇත. එහෙත් ඔබ මේ සියලු අංශ එකට තබාගෙන එක් එක් අංශය වෙනුවෙන් යම් විරාමයක් දෙමින් අවස්ථාවක් ලබාදෙන විට කිසිදු ලෙසකින් ගැටලු හුදෙකලා වන්නේ නැත. එක් ගැටලුවක් වෙනුවෙන් විසඳුම වෙනත් අංශයකින් ලැබෙනු ඇත.

අද පවතින කාර්ය බහුල ජීවිතයේ දී සෑම පුද්ගලයකුගේම මනසට විවේකයක් අවශ්‍ය වේ. නිර්මාණශීලීත්වය උපත ලබන්නේ එවිටය. එක් ගැටලුවක් ලිහාගත නොහැකි විට එය ලිහන්නට දරන වෑයම තුළ තව දුරටත් අවුල් ජාලයක් බවට පත්වනු ඇත. මේ නිසා එකම ගැටලුව වෙත රැඳී සිටීම ඉතා වෙහෙසකර බැවින් අවසාන තීන්දුව වුවත් එතරම් සාර්ථක නොවන තැනට පත්වීම පිළිබඳ පුදුමයට පත්විය යුතු නැත.

ව්‍යවසායකයෙක් ලෙස ගැටලු නිරාකරණයේ දී ඔබ හෙම්බත් විය යුතු නැත. එය ඉතා නිර්මාණශීලී ලෙසින් සිදු කිරීමට ඔබට හැකියාව ඇත්නම් සැබැවින්ම ඔබ සාර්ථක ව්‍යවසායකයෙකි.

[පුන්‍යා චාන්දනී ද සිල්වා]

මාතෘකා