විශ්මලන්තයක් මැවූ ඩිස්නි

 ඡායාරූපය:

විශ්මලන්තයක් මැවූ ඩිස්නි

'එකෝමත්  එක රටක' කියන වචන ටික ලෝකයේ මොන කෙලවරක ඉන්න කෙනෙකුගේ වුණත් හිත නතර  කරන්නට සමත් වෙනවා. සාමාන්‍යෙයන් මිනිස් හිතක නිල අල්ලන්න පුලුවන් වචන ටිකක්  විදිහට 'එකෝමත් එක රටක'කියන වාක්‍ය පේලිය හඳුන්වන්න පුලුවන්.

ලෝකය  දිනන මිනිස්සු නිරන්තරයෙන් අලුත් ‘කලාප’ සොයනවා.එහෙම කලාපයක් සොයන්න  වෙහෙසක් නොගන්න මිනිස්සු,සාමාන්‍ය මිනිස්සු විදිහට ජීවිතය ගෙවනවා. අති  විශිෂ්ඨයෙක් වෙන්න පුලුවන්,තමන්ගේ කියන 'කලාපයක්'සොයාගෙන එය තමන්ට ඕන  හැටියට නඩත්තු කරන්නෙක්ට විතරයි. 'එකෝමත් එක රටක' කියන වචන ටික ජීවිතය  සහමුලින් වෙනස් කරන මාවතක් විදිහට පෙරළා ගත්ත අමුතු චරිතයක් ඉන්නවා.

විහිළු  සහගත උඩු රැවුලක් තියෙන කෙසඟ සිරුරක් සහිත මේ අමුතු චරිතය 'සිහිනයක්'තමන්ට  ඕන හැටියට පාට කරගන්නේ කොහොමද කියන එකට අතිශය සාධාරණ උදාහරණයක්. ඒ වෝල්ටර්  එලියස් ඩිස්නි හෙවත් වෝල්ට් ඩිස්නි. ඩිස්නි කියන නම ලෝකය ඇතුලේ මොනතරම්  ආනන්දනීය විදිහට ස්ථපිත වෙලාද කීවොත් එය උන්මාදනීය රස කැවිල්ලක් තරම් වෙලා.  මිකී මවුස්ගෙන් පටන් ගෙන ඇනිමේෂන් චිත්‍රපට 121ක් දක්වා අරුම පුදුම රස  සාගරයක් මැවූ වෝල්ට් ඩිස්නි යුගයක නොමැකෙන පුරාවෘත්තයක් වෙලා ඉවරයි. කොන්ත්‍රාත්කරුවෙක් වූ එලියස් ඩිස්නිට දාව ගුරුවරියක වූ ෆ්ලෝරා කෝල්ගේ  දරුවකු ලෙස 1901 දෙසැම්බර් පස්වෙනිදා චිකාගෝ නුවරදි උපත ලබන වෝල්ටර් එලියස්  ඩිස්නි හෙවත් වෝල්ට් ඩිස්නි උපතින් අරගෙන ආවේ 'චිත්‍ර ඇඳීමේ කලාව. ජීවිතයේ  උපයාගැනීම් හා උපයාගෙන ජීවත් වීම් කුඩා කල සිටම අත් විඳි ඩිස්නි තම  සොහොයුරා වූ රෝයි සමඟ පුවත්පත් විකිණීම පටන් ගත්තා.

දුෂ්කර අඩියෙන් පටන්  ගැනීම මහ පොළවේ මුල් අල්ලා ගැනීමේ හොඳම කලාව බව ඩිස්නි වටහාගෙන සිටියා.  උපාධිය සම්පූර්ණ කළ පසු ඩිස්නි වයස දාසයේදී රතු කුරුස සංවිධානයට බැඳී ගිලන්  රථ රියදුරකු ෙලස සේවය කළා. ඒ ගෙදර ආර්ථිකයට හයියක් වෙන්න හිතාගෙන. ඔහු පැද  වූ ගිලන් රථය ඔහුම ඇඳි කාටුන් රූපවලින් පිරී පැවතුණා.හැමදාම ඔහු ස්වයං ව්‍යාපාරයක් ඇරැඹීමේ සිහිනයෙන් පෙළුනා. ඩිස්නිගේ කුළුඳුල් ස්වයං ව්‍යාපාරය  ලාෆ් – ඕ – ග්රේම්ස් නම් වුණා. එය බංකොලොත් ව්‍යාපාරයක් වුණා.

ඒ අතරතුරේ ඔහු වෙළඳ  චිත්‍රපට සමාගමක සේවයට බැඳෙනවා.ඒක ඔහු ගන්න අවධානමක්. අවධානම ගැනීම ජීවිතයක  මොනතරම් තීරණාත්මක ද කියන කාරණය ඩිස්නිගේ මේ පැති මාරුවෙන් පැහැදිලි  වෙනවා. සොහොයුරාත් එක්ක පත්තර විකුණා ඒ හැටි වෙහෙසක් නොගෙන ආදායමක් ලැබීමේ  මාවතින් බැහැරව ඔහු 'රුචිකත්වය'වෙනුවෙන් තීන්දුවක් ගන්නවා. ඔහුගේ කාර්යය  උනේ චිත්‍රපට ශාලාවලට සෙනග අද්දවාගැනීමට සමත් වෙළඳ දැන්වීම් සකස්  කිරීම. ඇඩ්වර්ටයිසිං කියන්නේ කලාවක්. අද වෙනකොට එය අසමසම කර්මාන්තයක්.

දේශපාලන  කාටූන් වැනි නිර්මාණත් කරන ඩිස්නි අලුත් යමක් කිරීමට සෑහෙන උනන්දුවක්  ගන්නවා. ඒ දවස්වල ඩිස්නි ගෙවුවේ අසීමිත පීඩාකාරී දුෂ්කර කාල සමයක්. 1925 දි  වෝල්ට් ඩිස්නි ලිලියන් බවුන්ඩ්ස් සමඟ විවාහවෙන අතර වරක් බිරිඳ සමඟ නිව්යෝක්  සිට ලොස් ඇන්ජලිස් දක්වා දුම්රිය ගමනක යෙදෙනවා. ඒ අතර තමයි ඔහුගේ අග්‍ර  කෘතිය නිර්මාණය කරන්නෙ. කාටූන් චිත්‍රපට ලෝකයේත්, වෙළඳ ප්‍රචාරණ  ලෝකයේත් අමරණීය චරිතයක් වූ මිකී මවුස් චරිතය බිහිෙවලා තිෙයන්ෙන්.  

ඒක අපූරු කතාවක්  

නිවසේ  කොටසක වූ කුඩා මඩුවක චිත්‍ර අඳින වැඩේ කළ ඩිස්නි එක්තරා කරදරකාරී  තත්ත්වයකට මුහුණ දී සිටියා. ඒ මීයෙකුගෙන් සිදු වූ පීඩාව. චිත්‍ර අඳින්නට  ගන්නා සෑම විටෙකම මීයා දිව විත් ඔහුගේ චිත්‍රය විනාශ කළා. සමහර අවස්ථාවල මීයා  තීන්ත භාජන කැන්වස් පුරා පෙරළා දමා තිබුණා. අන්තිමට වියරු මීයාගේ හැඩරුව  ඩිස්නි විසින් චිත්‍රයට නැඟුවා. තරහ වැඩිකමට ඩිස්නි මේ මීයාට 'මෝටිමෝර්  මවුස්' කියල නම දැම්මා. නමුත් බිරිඳ වෙනත් නමක් මේ චිත්‍රයට යෝජනා කරනවා. ඒ  'මිකී මවුස්'කියන නම. ඒත් මේ චිත්‍රය ඇමෙරිකාවට ලොකු දෙයක් වුණේ නෑ.

අමාරුවෙන්  උපයා ගන්ත ඩොලර් 1700ක් වියදම් කරපු ඩිස්නි Piano Crazy නමින් මිකී මවුස්  දාපු මුල්ම නිහඬ චිත්‍රපටය නිර්මාණය කරනවා.ඒත් මේ අමුතු මීයාගේ චිත්‍රපටය  තිරගත කරන්න කෙනෙක් හොයාගන්න ඩිස්නිට බැරි වෙනවා. ඒත් ඩිස්නි ආපසු හැරෙන්නේ  නෑ. ඉන්පසුව ඔහු මිකී මවුස් යොදාගෙන Steamboat Willie නමින් කතානාද  ඇනිමේෂන් චිත්‍රපටයක් නිර්මාණය කරනවා. 1928 නොවෙම්බර් 18 දින නිව්යෝක්හි  කොලනි සිනමාශාලාවේදී ඔහු එය ප්‍රදර්ශනය කරනවා.එදා තමයි ඩිස්නි ලෝකය  උඩුයටිකුරු කරන්නේ. ඇමරිකාවේ පමණක් නොව මුළු ලොවේම කාටූන්කරණයේ පුරෝගාමියා  වීමට වෝල්ට් ඩිස්නි සමත් වෙන්නේ Steamboat Willie චිත්‍රපටයත් එක්කයි. මාස  දෙකක් ඇතුලත මිලියන ගණනක් චිත්‍රපටය නරඹනවා. අති සාර්ථක Steamboat Willie  චිත්‍රපටයට පස්සේ ඩිස්නි සිලී සිම්ෆනීස්, ත්‍රී ලිට්ල් පිග්ස් වැනි කාටුන්  චිත්‍රපට නිර්මාණය කරනවා. 1937 දී ඩිස්නි සාර්ථකත්වයේ අග්‍රඵලය නෙලා  ගන්නවා. ඒ ඔස්කා සම්මානයෙන්ද පුදනු ලැබූ Snow White and the Seven Dwarfs  නිර්මාණය කරමින්. මිකී මවුස්, ඩොනල්ඩ් ඩක්, මිනි මවුස්, ගූෆි, චිප් ඇන්ඞ්  ෙඩ්ල්, ඩම්බෝ, බැම්බි වැනි චරිත ඔහු ලෝකයට හඳුන්වා දෙනවා. ඒ වගේම ජීවිතයේ  'මුල් සොයන' සමයේ තමන්ට 'හයිය' දුන් සොයුරා සමඟ එක්ව ඔහු වෝල්ට් ඩිස්නි සමාගම  පිහිටුවනවා. සින්ඩරැල්ලා, මූලන්, ටාර්සන්, බියුටි ඇන්ඩ් ද බීස්ට්  මෝආනා සහ ජංගල් බුක් ආදී චිත්‍රපට ඔවුන් ලෝකයට තිලිණ කරන්නේ වෝල්ට්  ඩිස්නි සමාගම හරහා. ඉන් නොනවතින ඩිස්නි මාවල් ස්ටුඩියෝස් චිත්‍රාගාරයේ  අයිතිය තමන් සතු කර ගන්නවා. 'මාවල්' චිත්‍ර කතා සමාගමේ ස්පයිඩර් මෑන්,  හල්ක්, අයන් මෑන්, තෝර් ආදී චරිත බිහි කළ ජනප්‍රියතම චිත්‍ර කතා සමාගම  වෙනවා.

මේ අතර තමන්ට වාසනාව ගෙන දුන් මිකී මවුස් චරිතය කේන්ද්‍ර  කරගනිමින් ඔහු කැලිෆෝනියාවේදී ඩිස්නි අයිලන්ඩ් නමින් හඳුන්වන විනෝද  උද්‍යානයක් පිහිටුවනු ලබනවා. අනතුරුව ජපානයේ - චිබාහි, උරයාසු පළාතේ ටෝකියෝ  නුවරට නුදුරින් පිහිටි ටෝකියෝ ඩිස්නිලන්තය හෙක්ටයාර් 47 ක් පුරා විසිරී  පැතිරුණු තේමා උද්‍යානයත් මිලදී ගන්නවා. වර්ල්ඩ් බසාර්, ඇඩ්වෙන්චර් ලෑන්ඩ්,  වෙස්ටර්න් ලෑන්ඩ්, ෆැන්ටසි ලෑන්ඩ්, ටුමෝරෝ ලෑන්ඩ්, කිරවෙනටර්  කවුන්ටි, සහ මිකීස් ටූන් ටවුන් යනුවෙන් ටෝකියෝ ඩිස්නිලන්තය විවිධ තේමා 7කට වෙන් කර තිබෙනවා.

පික්සාර් යනු එමරිවිල්, කැලිෆෝනියා, එක්සත් ජනපදය  හි පදනම් වූ ඇමරිකානු පරිගණක සජීවීකරණ චිත්‍රාගාරයක් වන අතර 2006 දී එහි වැඩි කොටස්  හිමිකරුවෙකු වූ ස්ටීව් ජොබ්ස්ගෙන් වෝල්ඩිස්නි සමාගම 2006 දී මිලට ගත්තා.

අද  ඩිස්නි නම වටා ව්‍යාපාර සිය ගණන් සිදු වනවා. මිලියන ගණන් ගනුදෙනුවනවා.  ඩිස්නිලන්තය ගැන අහල නැති කෙනෙක් ලෝකේ නැති තරමටම එය විශිෂ්ඨ නිර්මානයක්  වෙලා තියෙනවා. මෙතරම් නිර්මාණාත්මක දේ කරන්න හැකි වුන වෝල්ට් ඩිස්නි ඔහු වැඩ  කළ පුවත් පතකින් ඉවත් කළා. ඔහුට නිර්මාණශීලි හැකියාවක් නැහැ  කියලා. ඊට පසු ඔහු  පටන්ගත් ව්‍යාපාර කීපයක් ද බිඳ වැටුනා. මේ කැහැටු මිනිසා දකින්නේ දවල්  සිහින පමණයි කියා බොහෝ දෙනා චෝදනා කළා.

නමුත්, පසුව  ලෝකයේ විශිෂ්ඨතම නිර්මාණ රාශියක සහ ආයතන කීපයකම අයිතිකරුවා බවට ඔහු පත්  වුනා. සිනමා අධ්‍යක්ෂවරයක්, තිර රචකයෙක්, හඬ කවන්නෙක්, සජීවීකරණ  නිර්මාණකරුවෙක් වගේම දාර්ශනිකයෙක් ලෙස ඩිස්නි ලෝකය හෙල්ලුවා. ඇකඩමි සම්මාන  උළෙලේ පනස් නව වරක් සම්මානයට නිර්දේශ වූ ඔහු, ඔස්කාර් ගෞරව සම්මාන හතරකට ද,  ඔස්කාර් සම්මාන විසි දෙකකට ද හිමිකම් කිව්වා. වැඩිම ඇකඩමි සම්මාන ගණනකට  හිමිකම් කී සහ නිර්දේශ වුණු පුද්ගලයා වී සිටින්නේ ඔහුයි. මේ සියල්ල අතරේ  වෝල්ට් ඩිස්නි අන්තර් ජාතික සංකේතයක් වෙලා ඉවරයි.

මාතෘකා