ගෙල සිර කළ ගිවිසුම් සහ තරු පෙන්වන තෙල්

 ඡායාරූපය:

ගෙල සිර කළ ගිවිසුම් සහ තරු පෙන්වන තෙල්

අමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ස්පින්ඩල්ටොප් නමින් හැඳින්වෙන කඳුගැටයක් උඩට ගිය අල් හමිල් ඒ කඳුගැටය කනින්නට විය. ඔහු මීටර් 300ක් යටට පොළ‍ොව විද්දේය. ඉන් ඔබ්බට විද ඵලක් නැතැයි සිතූ ඔහු අපේක්ෂාභංග සිතින් ආපසු හැරුණේය. හිටිගමන් මහ ගොර හඬක් නංවමින් ඉහළට පැන්න මීතේන් වායු ධාරාවක් අල් හමීල් විදූ සිදුරෙන් අහසට නැංගේය. ඒ එක්කම දිය ගොබයක් සේ වේගයෙන් ඉහළ නැඟි තෙල් කඳක් අඩි සිය ගාණක් උඩට විද පොළවට වැටුණි. එතෙක් ගල් අඟුරුවලට හිමිව තිබූ තැන ඛනිජ තෙල්වලට හිමි වූයේ එදා සිටය.  

ප්ලැන්ක්ටන් හෙවත් ප්ලවාංග වර්ගයට අයත් පයිටොප්ලැන්ක්ටන් නමැති ඒක සෛලික ශාක ශේෂයන්ගෙන් සංයුක්ත ඛනිජ තෙල් අවුරුදු මිලියන ගනණාවකට පෙර සාගර හා ගංගා මුවදොර සැරිසැරූ ප්‍රාථමික ජීවීන්ගේ ‍‍ඓන්ද්‍රිය ඵලයක් ලෙස බිහි වූවකි. වසර මිලියන ගණනාවක් තිස්සේ සෙන්ටිග්‍රේඩ් 100º-135º අතර උෂ්ණත්වයකින් පාෂාණ අතර පැසවී නිපදවෙන ඛනිජවලින් එම නිධි බිහි වෙයි. එවැනි ඛනිජ තෙල් නිධි බහුලව හමු වන්නේ මැදපෙරදිග ප්‍රදේශයෙනි. ඒ සමඟම මුළුමහත් ලෝකයම ඛනිජ තෙල්වලට හුරු වූහ. ජීවිත පැවැත්මෙහි අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ඛනිජ තෙල් ජන ජීවිතවලට සමීප විය. වසර 2000 වන විට බිලියන 6කට අධික ජනගහනයක් පාවිච්චි කළේ ඛනිජ තෙල්ය. එය අවුරුදු 100 කට පෙර ඔවුන්ගේ මුත්තනුවන් පාවිච්චි කළ බල ශක්තිය මෙන් සිවු ගුණයක බල ශක්තියක ප්‍රමාණයක් ය.  

පෙට්‍රල් ලීටර හතරක් නිපදවීමට ඈත යුගයේ ශාක ජීව ද්‍රව්‍යවලින් ටොන් 100 භාවිත කොට තිබිණි. එය සිතාගන්නට බැරි තරම් අරුම පුදුම දුර්ලභ තත්ත්වයකි. අපි ලෝකය ඉතා වේගයෙන් පරිභෝජනය කරමින් සිටිමු. එය අදහාගත නොහැකි තරම් වේගවත් පරිභෝජනයකි. හැටේ දශකය වන විට මිලියන ගණනක් වයස මහ පොළොවේ හරි අඩක් පරිභෝජනය කළ අපි, අසූව දශකය වන විට සමස්ත මහ පොළොවම පරිභෝජනය කළෙමු. 2050 වන විට පරිභෝජනය සඳහා නිපදවන්නට යමක් ඉතිරි නොවන අර්බුදයක ලෝකය ගිලී සිටී. ගෝලීය තුල්‍යතාවයේ 'නරක' බිඳ වැටීම කෙතරම්ද යත් ඉතිහාසයේ මෙතෙක් සටහන් වු උණුසුම්ම අවුරුදු 10න් නවයක්ම 1990න් පසුව වාර්තා විය. හබර්ට් තෙල් ශිඛරය (Hubbert Oil Peak) සංකල්පයට අනුව කවර හෝ පෙට්‍රෝලියම් නිධියක තෙල් නිෂ්පාදනය කාලයත් සමඟ උපරිම මුදුනතකට ළඟා වෙයි. ලෝක තෙල් නිෂ්පාදනයේ මුදුනත 2013 - 2020 අතර කාලය තුළ ළඟාව න බව සමහරුන් කීවද, තවත් පිරිසක් කියන්නේ මේ වන විටත් උපරිමය ඉක්මවා ගොස් ඇති බවය.   

ඛනිජ තෙල් අර්බුදය එතරම්ම සංකීර්ණය. එකී සංකීර්ණ තලයෙහි ලා මෙරට බලශක්ති අර්බුදය දෙස හැරී බැලීම වටී. පෙට්‍රල් සහ ඩීසල් මිල අඩුම රට ලෙස වාර්තා වන්නේ වෙනිසියුලාවයි. ඒ ලීටරයක මිල පිළිවෙලින් ඇමෙරිකන් ඩොලර් 0.02 සහ 0.01 ලෙසයි. එය රුපියල්වලින් ගිණු කල පෙට්‍රල් ලීටරය රුපියල් 2.22 ද, ඩීසල් ලීටරය රුපියල් 1.10 තරම් අඩු අගයක් ගනී. තෙල් මිල වැඩිම රටවල් ලෙස ගැනෙන්නේ හොංකොන් සහ ඊශ්‍රායලයයි. ඒ අනුව හොංකොන් දේශයේ පෙට්‍රල් ලීටරයක් ඇමෙරිකන් ඩොලර් 1.81 ගන්නා අතර එය රුපියල් වලින් 260.24ක් වෙයි. ඩීසල් ලීටරයක් වැඩිම මිලකින් අලෙවි වන ඊශ්‍රායලයේ ඩීසල් ලීටරයකට මිල නියම කර ඇත්තේ ඩොලර් 1.51 ලෙසයි, එය රුපියල්වලට හැරවූ විට රුපියල් 217.52ක් තරම් ඉහළ අගයක්ය.  

මේ දිනවල නිරන්තර අවධානය යොමුව පවත්නේ තෙල් මිල ඉහළ යාම ගැනය. ඉන්දියානු තෙල් සමාගම (අයි.ඕ.සී) ඩීසල් ලීටරයක මිල රුපියල් 5ක් සහ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් ඉහළ දැමීමට කටයුතු කර ඇත. ඉන්දියානු තෙල් සමාගම විසින් මෙම මිල ගණන් වැඩි කරනු ලැබුවේ පසුගිය 23 දා මධ්‍යම රාත්‍රියේ සිටය. නව මිල ගණන් අනුව අයි.ඕ.සී. තෙල් පිරවුමක ඩීසල් ලීටරයකින් රුපියල් 100ක් වන අතර පෙට්‍රල් ලීටරයක් රුපියල් 126ක් වේ. කෙසේ වෙතත් මෙම මිල වැඩි කිරීමට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වල වැඩිවීමක් මෙතෙක් කර නොමැත. එහෙත් හුදු සටන් පාඨවලින් ඔබ්බට මෙ ගැන විමර්ශනාක්ෂිය යොමු කරනුයේ අතළොස්සකි. රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව 2008 දෙසැම්බර් 17 අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ ඓතිහාසිකවය. එකී තීන්දුව ප්‍රකාරව එතෙක් රුපියල් 122ව තිබූ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100 දක්වා අඩු කරන්නට නිර්දේශ විණි. අනවශ්‍ය බදු පනවමින් ජන ජීවිත තුට්ටුවට ඇද දැමීම ගැන එවක රජයට චෝදනා කළ අධිකරණය මේ පීඩාවෙන් ජනතාව මුදනු වස් තීන්දුව ලබා දුන්නේය. එහෙත් 'රෙජිමය' ඒ නෑසූ කන්ව සිටියේය. අධිකරණ තීන්දුව තුට්ටුවකට මායිම් නොකළ එවක ආණ්ඩුව මහජන පීඩාව නොපැකිළව කරගෙන ගියේය. ලෝක වෙළඳපොළේ තෙල් මිල අධික ලෙස පහළ යද්දීත් එහි වාසිය ජනතාව වෙත ලබා දෙන්නට නම්‍යශීලී නොවූ 'රෙජිමය' ඒ වෙනුවට 2009 වසරේදී 'හෙජින් සූදුව' හඳුන්වා දුන්නේය. 2007 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෝක වෙළෙඳපොළෙන් බොර තෙල් මිලදී ගැනීම සඳහා විදේශීය බැංකු හතරක් හරහා අත්සන් කරන ලද හෙජින් ගිවිසුම නිසා සිදු වූ අතිවිශාල පාඩුව තවමත් අබිරහසක්ය. පාඩුව සම්බන්ධයෙන් නිල වශයෙන් සංඛ්‍යා ලේඛන කිසිදු ස්ථානයක සටහන්වී නැත. අනුමාන වශයෙන් ගත් කල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1668 කි. මේ මුදල තිබුණේ නම් රුපියල් 500/= බැගින් පුද්ගලයන් 3,33,60000 කට මහජන ආධාර ලෙස ලබාදිය හැකිව තිබුණි. එමතු නොව අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලබන සිසුන්ගේ දීමනාව වැඩි කරන්නටත්, පාසල්වලට ලැප්ටොප් පරිගණක 166800ක් ලබාදීමටත් ඒ මහා මුදල් කන්දරාවෙන් කළ හැකිව තිබිණි.   

හෙජින් ගිවිසුමේ ගෙවීම්වලට සම්බන්ධ පුද්ගලයන් සංඛ්‍යාව 50ක් පමණ වෙතැයි පැවසෙන අතර දළ වශයෙන් ගණන් බලද්දී එක් අයකු රුපියල් 33,3600000/=ක පමණ මුදලක් රට වෙනුවෙන් ගෙවිය යුතුය. බැඳුම්කරය ගැන කිඹුල් කඳුළු හෙළන දේශප්‍රේමීන් මේ මහා වංචාව ගැන 'හ්ම්' නැත. 2007, 2008 කාලවලදී ලෝක වෙළඳපොළේ තෙල් මිල සීග‍්‍රයෙන් ඉහළ යාමේ තත්ත්වයක් උද්ගත වීමත් සමඟම එම මිල ඉහළයාම, රටට වාසියක් කරගැනීම සඳහා ප‍්‍රධාන පෙළේ බැංකු හතරක් හා ඛනිජ තෙල් සංස්ථාව කිසියම් ගිවිසුමකට එළඹුණි. සිටි බැංකුව, ස්ටෑන්ඩර්ඞ් චාටඞ් බැංකුව, ඩොයිෂ් බැංකුව සහ කොමර්ෂල් බැංකුව ඒ බැංකු හතරය. ගිවිසුම අරුම පුදුම එකකි. ඇමෙරිකානු ඩොලර් 110ක් ඉක්මවා තෙල් බැරලයක් ඉහළ යන විට, එම මිලට තෙල් බැරල් ලක්‍ෂ 2ක් ගැනීම ගිවිසුම් ප්‍රකාරව විය යුතුය. ඒ අනුව තෙල් මිල ඇමෙරිකන් ඩොලර් 110 ට වඩා වැඩි වන විට මිල ස්ථාවරයේ වෙනසක් නොවේ. යම් ලෙසකින් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 110 ට වඩා අඩු වුවත්, සංස්ථාව තෙල් මිලදී ගත යුත්තේ 110 ටමය. ඒ අනුව තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 කට අඩු වුවද, සංස්ථාව තෙල් ලබාගත යුත්තේ 110 ක මිලකටමය. මේ අනුව සංස්ථාව ලැබූ පාඩුව ස්ටෑන්ඩට් චාර්ටඩ් බැංකුව ලන්ඩනයේ වාණිජ මහාධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමෙන් පසු ඇමෙරිකානු ඩොලර් දස ලක්‍ෂ 162 ක මුදලක් ගෙවීමට සංස්ථාවට නියම කෙරිණි.   

ගිවිසගත් බැංකු හා තෙල් ප්‍රමාණය මෙසේය.   

බැංකුවේ නම         - ගිවිසගත් බැරල් ප්‍රමාණය  
1. ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ්     - 300,000   
2. සිටි බෑන්ක්         - 400,000  
3. ඩොයිෂ් බැංකුව         - 100,000  
4. කොමර්ෂල් බැංකුව     -200,000  

මෙහි අපූරුම විගඩම වන්නේ නඩුව වෙනුවෙන් නඩු ගාස්තු හා ගමන් වියදම් වශයෙන් රුපියල් දස ලක්‍ෂ 488ක මුදලක් ගෙවීමට රජයට සිදු වී තිබීමය. මෙයින් මහ බැංකුව රුපියල් මිලියන 571 ක් නීති වියදම් ලෙස දැරීය. 2014 දෙසැම්බර් 31 දක්වා විදෙස් නීති සේවාව වෙනුවෙන් රුපියල් මිලියන 370ක් මහබැංකුව විසින් ගෙවනු ලැබීය. මෙම අවිචාරවත් ගිවිසුම අත්සන් කිරීම නිසා තෙල් මිලදී ගැනීමේදී සංස්ථාවට සිදු වූ මූල්‍යමය පාඩුව රුපියල් කෝටි 2500කට අධිකය. මහ බැංකු අධිපති ඇතුළු ඛනිජ තෙල් අමාත්‍යංශයේ සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් නිවැරදිව තම වගකීම් ඉටු නොකිරීම මෙහිදී සිදු වූ අවාසනාවන්තම තත්ත්වයය. එනයින් ගත් කල සංස්ථාවට ඉහිළිය නොහැකි පාඩුවක් විණි. මෙම ගිවිසුම දෙපාර්ශ්වයටම නිසි ආකාර තුලනය කිරීමකින් තොරව නිපැදවූ එකක් බව වෘත්තීය සමිති සහ මැදහත් ආර්ථික විශ්ලේෂකයන් එවක ආන්ඩුවට පෙන්වා දුන්නද ඒවා හිස් සුළඟට ගිය වදන් පමණක්ම විණි. තෙල් මිල වැඩි වූ විට සංස්ථාවට වාසිය ලැබෙන්නේ මාස 3ක කෙටි කාලයකට වන අතර මිල පහළ ගිය විට මාස 12ක් පුරා වැඩි මිලක් ගෙවීමට සංස්ථාවට සිදු වෙයි. මේ සරල තර්කයවත් එවක ආණ්ඩුව තේරුම් ගත්තේ නැත.‘‘අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරන්න ශක්‍රයාගේ පුතා වයිමාටවත් බැහැ’’ කීවේ එවක ඇමැති බන්දුල ගුණවර්ධනය. “රුපියල් 2500කින් සාමාන්‍ය පවුලකට කාලා බීලා මාසයක් හොඳට ජීවත් වෙන්න පුළුවන්’’ කියන කුප්‍රකට තර්කය ඉදිරිපත් කළේත් එදා වෙළෙඳ ඇමැතිවරයාව සිටි 'ආචාර්ය බන්දුල ගුණවර්ධනයෝමය. ලෝක වෙළෙඳපොළට අනුව තෙල් මිල අඩු වැඩි කරන්න ආණ්ඩුවක් මොකටද අඇසුවේ එවක විමල් වීරවංශය.   

යහපාලන ආණ්ඩුව බලයට පත් වන්නේ ඔය අතරය. 2015 ජනවාරි 21 රාත්‍රී නව ආණ්ඩුව තෙල් මිල පහළ දැම්මේ ලෝක වෙළඳපොළෙන් ඒ හැටි වාසියක් නොතිබියදීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150 සිට රුපියල් 117දක්වාත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 158 සිට රුපියල් 128 දක්වාත් පහළ දැමූ ආණ්ඩුව, සෙසු ඛනිජ තෙල් මිලද සෑහෙන පමණකින් අඩු කළේය. ඔටෝ ඩීසල් රුපියල් 111 සිට 95ට පහළ දමූ ආණ්ඩුව සුපර් ඩීසල් රුපියල් 138 සිට 110දක්වා පහළ දැමීය. ඒ වන විට භූමිතෙල් මිල රුපියල් 81ක් වූ අතර එය රුපියල් 65 දක්වා පහළ දැමීමට ආණ්ඩුව කටයුතු කළේය. ලීටරයක් රුපියල් 81ක් වූ භූමිතෙල් මිල සඳහා භූමිතෙල් මිල එවක ජනයාට දරන්නට බැරි විය. ධීවර කටයුතු පහළ දමන්නැයි ඉල්ලා හලාවත ධීවරයින් පාරට බැසේ මහින්දා ආණ්ඩු කාලයේය. එවර ආණ්ඩුව ඔවුනට ගිනි බින්ද අතර ටී පනස් හය උණ්ඩයක් කුඩා මොළය පසාරු වී ගොස් ධීවරයෙකු වූ ඇන්තනී ජීවිතක්ෂයට පත් විය. එහිදීම වෙඩි උණ්ඩයක් පාදයට එල්ලවීමෙන් ඔත්පල වූ ධීවරයෙක් පසුව ගෙල වැලලාගෙන මියගියේ දරුවන් නඩත්තු කරන්නට නොහැකි වූ නිසාය. ඒ ඉතිහාසය සුන්දර නැත. මේ වන විට 'යළි ඉපදී' සමහරුන් ඉදිරිපත් කරන තර්ක එදා 'හෙජින්' වෙලාවේ තිබ්බේ නැත. මෙම ගිවිසුම නිසා ලෝක වෙළෙඳ පොළේ ඛණිජ තෙල් මිල අඩු වූ විට මෙරට ජනතාවට අඩු මිලට අලෙවි කිරීමට රජය කටයුතු කළේත් නැත. හෙජින් ගිවිසුමෙන් සිදු වූ පාඩුව ආවරණය කිරීමට යයි ජනතාවට වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමට එවක රජය කටයුතු කළේ 'ආසියාවේ ආශ්චර්යය' මොනවට පෙන්වමින්ය. භූමිතෙල් මිල අඩු කරන්නැයි ඉල්ලූ ධීවරයින්ට ගිනි බිඳින විට ඒ තර්ක, ආදරය තිබ්බේ නැත. ලෝක වෙළඳපොළ අසීමිත ලෙස ඉන්ධන සහ තෙල් මිල ඉහළ දමන විට ඊට සාපේක්ෂව යම් පමණකින් මිල සංශෝධනය කිරීම නොකළ හැක්කක් නොවේ. දෙවසරකට වැඩි කාලයක් දැවැන්ත පාඩුවක් දරාගෙන වුවද ආණ්ඩුව තෙල් මිල ඉහළ නොදැම්මේය. එහෙත් මේ මොහොතේ එය දරාගත නොහැකි තැනට සිර වී තිබේ.

මාතෘකා