ඔබ 'පැන්සලක්' විය යුතුය

 ඡායාරූපය:

ඔබ 'පැන්සලක්' විය යුතුය

පැන්සල කියලා කියන්නේ අපි හැමෝම පාවිච්චි කරලා තියෙන සමහර වෙලාවට තාම පාවිච්චි කරන උපකරණයක්. මේ පැන්සල සම්භන්ධ සමහර කරුණු අපේ ජීවිතයට හා එහි සාර්ථකත්වයට වැදගත් පාඩම් කියා දෙනවා.  

පළමු පාඩම

පැන්සලෙහි වටිනාම කොටස තිබෙන්නේ එහි අභ්‍යන්තරයේ. එම කොටස එලියට නොගන්නා තෙක් පැන්සලෙන් ප්‍රයෝජනයක් නැහැ.

පැන්සලක බැලු බැල්මට ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා එකක් මිනිරන් කූර අනෙක ලියෙන් තැනුණු කවරය. මේලී ආවරණය ඉතාම අලංකාර රුප වලින් පැහැයන්ගෙන් නිම කරලා තිබුනත් පැන්සලේ වටිනා කොටස වෙන්නේ මේ අභ්‍යන්තරයේ තියෙන මිනිරන් කූර. මේ මිනිරන් කූර නැතිනම් ඒක තව දුරටත් පැන්සලක් බවට පත් වෙන්නේ නැහැ. පැන්සලෙන් නියම ප්‍රයෝජනය ගන්නට ඒ කියන්නේ පැන්සලෙන් අකුරු ලියන්නට නම් මේ අභ්‍යන්තරයේ තිබෙන මිනිරන් කොටස එලියට ගන්නට අවශ්‍ය වෙනවා.

අපේ ජීවිතයේත් මේ පැන්සලේ වගේ වටිනාම කොටස තිබෙන්නේ අභ්‍යන්තරයේ. අපේ දේපල මුදල් සමාජ තත්වය වගේ මේ දේවල් පැන්සලේ බාහිරින් තිබෙන ලී කවරය වගේ අපිව ලස්සන කරනවා බාහිර පුද්ගලයන්ගේ ආකර්ෂණයට අපිව පත් කරනවා. නමුත් අපේ අභ්‍යන්තරයේ තියෙන ගුණ ධර්ම, මනුස්සකම, ධෛර්යය ආත්ම විශ්වාසය වගේ දේවල් තමයි අපි කවුද කියන එක තීරණය කරන්නේ පැන්සල පැන්සලක් වෙන්න මිනිරන් කුර අවශ්‍යයි වගේම අපි නියම මනුෂ්‍යන් වෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා. අපිට බැරිනම් අපේ අභ්‍යන්තරයේ තිබෙන ආත්ම විශ්වාසය ධෛර්යය සහ මානුෂිය ගුණධර්ම එලියට ගන්න, සමාජයට දෙන්න, අපෙන් සමාජයටවත් අපිටවත් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නෑ.

දෙවන පාඩම

පැන්සලෙහි නියම ප්‍රයෝජනය ලැබීමට නම් පැන්සල තුල් කිරීම නම් වේදනාකාරී ක්‍රියාවලියට මුහුණ දීය යුතුමය.

පැන්සල විටින් විට තුල් කළේ නැතිනම් එයින් නියම ප්‍රයෝජනය ලබන්න බැරිව යනවා. එක වතාවක් පැන්සලේ තුල මොට වුණාට පස්සේ නැවත තුල් නොකළොත් පැන්සල එතනින් එහාට භාවිතා කරන්න ලැබෙන්නේ නෑ. හැබැයි මේ තුල් කිරීමේ ක්‍රියාවලියේදී පැන්සල ක්ෂය වෙනවා, පැන්සල තුවාල වෙනවා. නමුත් එය පැන්සලේ පැවැත්මට අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් වෙනවා.

ඔබටත් අනිවාර්යෙන්ම ඔබේ ජීවිතයේදී මේ වගේ මුවහත් වීමේ වේදනාකාරී ක්‍රියාවලියකට යටත් වෙන්න සිද්ධ වෙන අවස්ථාවන් උදා වේවි. ඔබේ ඉලක්කය ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් නිදි වරාගෙන වැඩ කරන්න, පැය ගණන් පුහුණුවීම්වල නිරත වෙන්න එහෙමත් නැතිනම් ඔබ කැමති ආහාර පානවලින් ඈත් වෙන්න, සමහර විට මිතුරන් සමග විනෝද වෙන කාලය හෝ රූපවාහිනිය ෆේස් බුක් වෙනුවෙන් ගත කරන කාලය කපා හරින්න ඔබට සිදු වෙන්න පුළුවන්. මෙහෙම මහන්සි වෙන්න වේදනා විඳින්න සිද්ධ වෙනකොට ඔබ සමහර විට මට නම් තවත් බැහැ කියලා ඔබේ උත්සාහය ඔබේ හීනය ඇත හැරලා දමන්න ඉඩ තියෙනවා. නමුත් මතක තියාගන්න ඔබට ඔබේ ජීවිතය වෙනුවෙන් මේ වේදනාකාරී ක්‍රියාවලිය හරහා යන්නම සිද්ධ වෙනවා. නැතිනම් සිද්ධ වෙන්නේ තුල් නොකරපු පැන්සලක් වගේ කිසිම වැඩකට නැති කෙනෙක් බවට පත් වෙන්නට. ඔබට ජිවිතයේ යම් වෙනසක් දියුණුවක් දකින්නට අවශ්‍ය නම් ඔබට පැන්සල තුල් කරනවා වගේ ඔබට ඔබේ ජීවිතයත් භාධක මැද වෙහෙසකර ගමනක් ගෙනියන්නම සිද්ධ වෙනවා.

තුන්වන පාඩම

පැන්සලෙන් ලිවීමේදී වැරදීම ගැන බිය විය යුතු නැත.

පැන්සලෙන් යමක් ලියන විට අපට වැරදීමක් සිදු වුණොත් පැන්සලේ පිටුපස තිබෙන මකන කැබැල්ලෙන් වරද මකා දමලා නැවත නිවැරදි ලෙස ලියන්න අපට අවස්ථාව තිබෙනවා.
වරක් ඇමරිකාවේ රෝහලක වයෝවෘද්ධ මරණාසන්න පුද්ගලයන් සියදෙනෙකු සම්බන්ධ කරගෙන පර්යේෂණයක් කළා. ඔවුන්ගෙන් විමසුවා ඔවුන් ජිවිතයේ වඩාත්ම කනගාටු වෙන හේතුව. ඔවුන්ගෙන් 90% ආසන්න ප්‍රමාණයක් තමන් ජිවිතයේ වඩාත්ම කනගාටුවට පත්වෙන හේතුව විදිහට කිව්වේ ඔවුන් කළ දේවල් නෙමෙයි. ඔවුන්ට කරගන්න බැරි වුණ දේවල්.

බොහෝ දෙනාගේ ජිවිතයේ සාර්ථකත්වයට යන මාර්ගය අවහිර කරගෙන ඉන්න ලොකුම බාධකය තමයි අසාර්ථක වීමට තිබෙන බිය. මම අසාර්ථක වෙයි, මිනිස්සු මට හිනාවෙයි, යාළුවො නෑදෑයෝ මාව විහිලුවකට ගනියි මේ වගේ නොයෙක් හේතු නිසා අපි අසාර්ථක වෙන්න බයයි. මේ බය නිසා තමයි බොහෝ දෙනා එක වරක්වත් උත්සහයක් නොකර තමන්ගේ සිහින අතහැර දමන්නේ. සමහරු ජිවිත කාලයම තමන්ගේ සිහින කරා යන ගම පස්සට දම දම ඉඳලා අවසානයේ අනේ මට මේක කරගන්න බැරි වුණානේ කියන කනගාටුවත් සමග ජීවිතය අවසන් කරන්නේ.

නමුත් අපේ ජීවිතයේත් පැන්සලෙත් ලොකු වෙනසක් නෑ. පැන්සලට වගේම අපිටත් හැකියාවක් තියෙනවා වරදක් වුණොත් එය නිවැරදි කරගෙන නැවත උත්සහ කරන්න. පැන්සලෙන් ලියද්දි වරදක් වුනොත් ඒ ලියන දේ එතනින් විනාශ වෙලා යන්නේ නෑ. ඒ වරද මකලා නැවත ඉදිරියට ලියාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි, අපේ සිහින වලට අපේ සාර්ථකත්වයට යන ගමනේදීත් අපිට වැරදුණොත් අපි අසාර්ථක වුනොත් අපිට ඒ වරද නිවැරදි කරගෙන නැවත අපේ ගමන යන්න පුළුවන්. මතක තියාගන්න “සාර්ථකත්වය හා අසාර්ථකත්වය එකිනෙකට විරුද්ධ පද දෙකක් වෙන්නේ සිංහල පාඩමේදී විතරයි. ජිවිතේ අනික් හැම වෙලාවේම අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයට යන ගමනේම කොටසක්” තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුල නිපදවීමට ගොස් දහස් වතාවක් අසාර්ථක වුණා. කර්නල් සන්ඩර්ස් ලෝකප්‍රසිද්ධ kFC ආයතනය ආරම්භයට පෙර එක්දහස් නම වතාවක් අසාර්ථක වුණා. ඔවුන් ඒ සෑම වතාවකම අසාර්ථකත්වය මකා දමලා අලුතින් තමන්ගේ කතාව ලියන්න පටන් ගත්තා. ඒ නිසා ඔබත් ඔබේ හීන වලට යන ගමන ආරම්භ කරන්න පැය පැකිලේවී, ඇද වැටේවි, නමුත් පැන්සලක් වගේ වරද නිවැරදි කරගෙන ඉදිරියටම යන්න ඔබට ජයග්‍රහණය ලැබෙනවා සත්තයි.

හතරවන පාඩම

බාහිරින් අනවශ්‍ය බරක් යෙදීම නිසා පැන්සලේ තුලට හානි විය හැක.

පන්සලෙන් ලියනවිට පමණට වඩා අත තද කරලා ලියන්න උත්සහ කළොත් පැන්සලේ තුල කඩෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. අපේ ජීවිතයේදීත් පමණට වඩා බාහිරින් යෙදෙන පීඩනයන් අපි බාර ගැනීම නිසා අපේ ගමනට බාධා ඇති වෙන්න වගේම අපි කරදරේ වැටෙන්නත් පුළුවන්. එදිනෙදා ජීවිතයේදී බොහෝ දෙනා අපෙන් උදව් උපකාර ඉල්ලනවා. සමහර වෙලාවට අපේ හිත හොඳ කමට අපි මේ හැමෝටම උදව් කරන්න යනවා. නමුත් අපි සිහියේ තියාගන්න ඕන කාරණයක් තමයි අපි සතු කාලය අප සතු සම්පත් ආදිය සිමා සහිත බව.ඒ නිසා කෙනෙක්ට උපකාර කරන්න, කෙනෙක් වෙනුවට ඔහුගේ කාර්ය ඉටුකර දෙන්න බාරගන්න කලින් ඔබ මේ සීමිත සම්පත් හා විශේෂයෙන් කාලය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න.

සමහර අවස්ථා වලදී ඔබ ඔක්කොම වැඩ බාරගෙන අවසානයේදී එකක් වත් හරියට කරගන්න බැරි වෙලා, ඔබ උපකාර කරන්න ගිය අයගෙන්ම දෝෂාරෝපණයට පත් වෙලා ඇති. ඔබේ ජිවිතයේ වටිනාම අවස්ථාවක් ඔබට මඟ හැරිලා ඇති. ඒ නිසා ඔබ බාහිරින් එන පීඩනය නියම ආකාරයෙන් හසුරවා නොගත්තොත් එහෙමත් නැතිනම් අවශ්‍ය තැනදී නැහැ බැහැ කියන්න පුරුදු නොවු‍ෙණාත් ඔබේ ඉදිරි ගමනත් පැන්සලේ තුල වගේම කැඩිලා බිඳිලා යන්න පුළුවන්.

පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු  

[ධනුෂ්ක අබේරත්න]

 

මාතෘකා