පාඩුවට නොව ලාභයට වාහනය විකුණන හැටි | ඇස පාදන රැස


පාඩුවට නොව ලාභයට වාහනය විකුණන හැටි

 ඡායාරූපය:

පාඩුවට නොව ලාභයට වාහනය විකුණන හැටි

ඔබ වාහනයක් මිලදී ගැනීමේදී එය ජීවිත කාලය පුරාම භාවිත කිරීමට අදහස් කරගෙන සිටිනවාද? එසේත් නැත්නම් ටික කලක් භාවිත කර නව වාහනයක් මිලදී ගැනීමට අදහසක් පවතීද? කෙසේ වුවත් කලින් භාවිතා කළ වාහනය නැවත විකුණනවා නම් එම වාහනය මිලදී ගත් දිනයේ සිට භාවිතය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මෙම ලිපිය ඔබට වාහනයක් විකිණීමේදී අපහසුවක් නොවී එය විකුණාගැනීම සඳහා පහසුවක් වේවි.

වෙළඳපොළ

වාහනයක් මිලදී ගැනීමේදී ඔබ වැඩිපුරම සැලකිලිමත්වන්නේ එම වාහනයේ මිල පිළිබඳවය. එහෙත් එය විකිණීමේදී මෙය වෙනස්වන බව ඔබ දන්නවාද? වාහනයක් මිලදී ගැනීමේදී අවම මිලකට එය ගැනීමට උත්සහ කළද වාහනය විකිණීමේදී එය උපරිම මිලට විකිණීමට උත්සාහ කිරීම නිතැතින්ම සිදුවන්නකි. එබැවින් වෙළඳපොළ තෝරා ගැනීමේදී ඔබ ප්‍රවේශම් වුණේ නැතිනම් ඔබට නොදැනීම පාඩු සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි. ප්‍රධාන වශයෙන් වෙළඳපොළ වාහනය මත තීරණය වේ.

මෙතනදී වෙළඳපොළ යැයි අදහස් කරනු ලබන්නේ වාහනයේ වර්ගය අනුව ඉල්ලුමයි. වාහනයට අමතර කොටස් බහුල, සේවා ස්ථාන වැඩි, සුලභ වාහනයක් නම් ඔබේ වාහනයේ වෙළඳපොළ ඉහල මට්ටමේ එකකි. එහෙත් වාහනයේ අමතරකොටස් අඩු, වාහනය සේවා කරන්නට දන්නා අය අඩු නම් එහි මිල අඩුවීම සිදුවේ.

තරඟකාරී ලෙස මිල නියම කිරීම

වාහනයේ මිල නියම කරන විට අපේක්ෂා කරන මිලට වඩා ටිකක් වැඩි අගයක් එකතු කර, මිල නියම කිරීම සිදුකළ යුතුයි. එවිට මිලදී ගන්නට එක තැනැත්තා කේවල් කිරීමට පටන් ගන්නේ එම වැඩි මිලත් සමඟය. අපේක්ෂා කරන මට්ටමට වැඩියෙන් මිල නියම වීම සිදුවුවහොත් එහි ලාභය ලැබෙන්නේද ඔබටය.

සිත්ගන්නා ලෙස සේවා කිරීම

වාහනය විකිණීමට යොමුකිරීමට ප්‍රථමව වාහනයේ අඩුපාඩු සහ ගෙවී ඇති කොටස් අලුතින් දැමීම මගින් වැඩි මුදලක් ඉල්ලා සිටීමට ඔබට හැකිය. නිදසුනක් ලෙස ඔබේ වාහනයේ ටයර් හතර ගෙවී ඇතිනම් අලුතින් ටයර් දමා විකිණීමට තැබීම මගින් වැඩිමුදලක් සහ ආකර්ශනයක් ඔබේ වාහනය වෙතට නිතැතින්ම ලැබේවි. ඊට අමතරව ඔබ වාහනයේ පිටත පෙනුම පිළිබඳ සලකන්නෙක් නම්, අදාළ වාහනය සේවා කරන්නටම සුවිශේෂ පුද්ගලයින් ලවා කරවීම වැදගත්ය. ඊට අමතරව එම වාහනය මීට පෙර අනතුරුවලට ලක් වී තිබුණි නම් එම සියලු දෝෂ නිරාකරණය කර විකිණීම මගින් ඔබ පිළිබඳ විශ්වාසය එය මිලදී ගන්නා පුද්ගලයා හට පවතීවි.

විකිණීමට ඇති බව කීම

ඔබේ වාහනය විකිණීමට ඇති බව අනෙක් අයට දන්වා සිටීමට විවිධාකාර ක්‍රම අනුගමනය කළ හැකිය. මිතුරන් හා කතා කරමින් සිටියදී වාහන විකිණීම සම්බන්ධ දෙයක් කතා බහ මැද්දට ආවිට ඔබේ වාහනය විකිණීමට ඇති බව කිව හැකිය.

එෙමන්ම For Sale බෝඩ් එකක් සමඟ ඔබේ දුරකථන අංකය වාහනයේම ප්‍රදර්ශනය කිරීම ඔබේ වාහනය විකිණීමේදී ඉතා හොඳ උපක්‍රමයක් වේ. ඊට අමතරව දිනපතා පුවත්පතක ලුහුඬු දැන්වීමක් හෝ වාහන විකුණන්නට ඇති වෙබ් අඩවියක ඔබේ වාහනය ප්‍රදර්ශනය කිරීමෙන් ආකර්ෂණය තවත් වැඩි කරගැනීමට හැකිය.

අද කාලේ ෆේස් බුක් කියන්නේ ඔබේ විකිණීම සහ වෙළඳපොළ සෙවීම් වලදී ඉතා හොඳ මාකටින් ටූල් එකක්. හැකිනම් වාහන පිළිබඳ ඇති ෆේස්බුක් ගෘප් එකක ඔබේ වාහනයේ වඩාත් සුපැහැදිලි පින්තූර කිහිපයක් ගෙන ඒ සමඟ යොමුවක් දැමීමෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලබාගත හැකියි.

මිල පිළිබඳ නම්‍යශීලී වන්න

වාහනය ගැන විමසීම් කිරීමේදී ඔවුන් ගේ මිල ඔබේ අපේක්ෂිත මිලට වඩා අඩු නම් කලබල නොවන්න. කතා බහ සහ වාහනය ඔබේ මිලට විකුණන්නට හේතු වන කාරණා ඔවුන් හට පැහැදිලි කරදෙන්නට හැකි නම්, බොහෝ අවස්ථාවල ගනුදෙනුවේ ජය අත්වෙන්නේ ඔබටමය.

අලෙවියෙන් පසු සේවා හා තොරතුරු ගැන දැනුවත් කරන්න

වාහනය මිලදී ගැනීමට පැමිණෙන අයට ඔබේ වාහනය මේ තරම් ඉහළ තත්ත්වයෙන් නඩත්තු කිරීමට හේතුවන රහස් එකක් දෙකක් පවසා සිටීම හෝ ඔබ වාහන සේවා කරන්නේ කිනම් ස්ථානයකින්ද යන්න පැවසීම අමතර සුදුසුකමක් විය හැකියි. එයින් ඔබ වාහනය ගැන දක්වන සැලකිල්ල සහ වාහනයේ තත්වය ගැන ඉතා ඉහල තක්සේරුවක් ඔවුන් තුල ඇතිවන්නට බොහෝ විට ඉඩ කඩ පවතී.

නීත්‍යානුකූලව විකිණීම

කොතරම් වාහනය ගැන සතුටු වුවද ඔබේ ගනුදෙනුව නීත්‍යානුකූලව නිම කිරීමට වග බලාගැනීම කළ යුතුය. එය ඔබට මෙන්ම වාහනය මිලදී ගන්නට එන පාර්ශවයටද පහසුවක් වේ.

(මුල් අයිතිය aniwa.lk වෙබ් අඩවිය සතුය)

මාතෘකා