අවුල් නොවෙන පවුල් ව්‍යාපාරයකට

 ඡායාරූපය:

අවුල් නොවෙන පවුල් ව්‍යාපාරයකට

ඕනෑම ව්‍යාපාරයකදී අභියෝග මුණගැසීම සාමාන්‍ය දෙයකි. කෙසේ වුවද ඔබ පවුලේ ව්‍යාපාරයක් කරගෙන යන අයෙක් නම්, ඔබට මුහුණදීමට සිදුවන අභියෝග ඔබටම ආවේණික වූ සුවිශේෂී ඒවා වියහැක. ඒවා නිසි පරිදි හඳුනාගෙන වහාම නිසි විසඳුම් ලබා නොදුනහොත් වෙළෙඳපොළ තුළදී ව්‍යාපාරයේ සාර්ථකත්වයට එය දරුණු බලපෑම් එල්ල කරනු ඇත. මෙහි දැක්වෙන්නේ සෑම පවුලේ ව්‍යාපාරයක්ම පාහේ මුහුණදෙන පොදු අභියෝග පහක් සහ ඒවා සාර්ථකව කළමනාකරණ ආකාරයයි.

පවුල් හබ

පවුල් හබ යනු ව්‍යාපාරයට මාරාන්තික ලෙස බලපෑ හැකි අවාසිදායක තත්ත්වයකි. පවුලේ සාමාජිකයින් අතර ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙන්ම පෞද්ගලික වශයෙන් විවිධ අභිලාෂ පැවැතිය හැක. විශේෂයෙන්ම පෞද්ගලික ප්‍රශ්න පවා ව්‍යාපාරයට අහිතකර ලෙස බලපෑමේ ඉඩක් පවතී. පවුල් හබයකට හේතුව කුමක් වුවත් එය වළක්වා ගැනීමට ඔබ අපොහොසත් වුවහොත් ව්‍යාපාරයේ පොදු අරමුණු ජයගැනීමට එය ඔබට බාධාවක් වනු නිසැකය. අනෙක් අතට ඔබේ ව්‍යාපාරය තුළ පවතින අභ්‍යන්තර ආරවුල් නිසා සේවකයින් රැකියාවෙන් අස්වීම වර්ධනය විය හැක. එමෙන්ම ආයතනය තුළ ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව සහිත සේවා පරිසරයක් ගොඩනැගෙනු ඇත.

ඥාති සංග්‍රහය

පවුලේ සාමාජිකයින් කළමනාකරණය කිරීම යනු ප්‍රවේසමෙන් කළ යුතු කාර්යයකි. එහෙත් එහිදී ඔබ සිහියේ තබාගත යුතු අනෙක් වැදගත්ම කරුණ වන්නේ ඔබේ ආයතනය තුළ සේවය කරන සේවකයින්ට ආයතන පරිසරය දුරස් කරවීමට, ආගන්තුක කරවීමට තුඩු දෙන ප්‍රධානම හේතුවක් වනුයේ ඥාති සංග්‍රහය වන බවයි. විශේෂයෙන්ම සේවකයින් බඳවාගැනීමේදී, උසස්වීම් ලබාදීමේදී, වැටුප් සහ දීමනා ගෙවීමේදී ඥාතීන්ට ඥාතීත්වයම පදනම් කරගනිමින් වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙන්නේ නම් එය ව්‍යාපාරය බිඳවැටීමට ප්‍රබල හේතුවකි. එවන් වටපිටාවකදී ඥාතී නොවන සේවකයින්ට ආයතනය තුළ සේවය කිරීමේ උද්‍යෝගය, කැමැත්ත හීන වී යාම සාමාන්‍ය තත්ත්වයකි. ව්‍යාපාරය තුළ හැඟීම්බර වීම

පවුලේ ව්‍යාපාරයක් තුළ බොහෝ දේ පෞද්ගලික දෑ වීම සාමාන්‍යය. එනිසා ව්‍යාපාරයෙන් ඔබේ හැඟීම් ඈත්කරලීමට පහසු නැත. එය වඩාත් තීව්‍ර වන්නේ ඍජුවම ඔබ යටතේ පවුලේ සාමාජිකයෙකු සේවය කරනා විටය. මක් නිසාද යත් තමන්ගේ සමීපතමයින්ගෙන් තමන් ආදරය කරන පුද්ගලයන්ගෙන් විවේචන අසන්නට ලැබීම මිනිසුන්ට දුෂ්කර කාර්යයකි.

එනිසා ව්‍යාපාරය තුළදී අනවශ්‍ය පෞද්ගලික හැඟීම් මතුවීමට ඉඩ නොතබන්න. එවැනි අවස්ථාවලදී සෙසු සේවකයන්ට, පාරිභෝගිකයන්ට ඔබේ දුර්වලතා කැපීපෙනෙන්නට ඉඩ තිබේ. එමෙන්ම වැදගත් ව්‍යාපාරික තීරණ ගැනීමේ හැකියාව ද ඔබෙන් ඈත් වනු ඇත. අනෙක් අතට ඔබ කිසිදු සංවේදී බවක් නොමැති ලෙස හැසිරුණහොත් ඔබ දරදඬු, දුරස් ව්‍යාපාර හිමිකරුවෙකු ලෙස පෙනී යන්නට පුළුවන. ව්‍යාපාරයේ සිටින පවුලේ සාමාජිකයන් සමඟ සංවේදී නොවන ආකාරයට හැසිරුණ විට පවා සිදුවන්නේ ගෙදරදොර ප්‍රශ්න හටගැනීමය. එනිසා හැඟීම් ප්‍රකාශනයේදී හා සංවේදී වීමේදී නිසි තුලනයක් තබා ගැනීමට අවධානය යොමු කිරීම අතිශය වැදගත් වේ.

පවුලේ නොවන සේවකයින් අහිමිවීම

පවුලේ සාමාජිකයන් නොවන සේවකයින් ඔබේ ව්‍යාපාරයෙන් අස් වී යාමට ප්‍රධාන හේතු දෙකක් බලපෑ හැක. පළමුවැන්න, ඔවුන්ට ඉදිරියට යෑමට ප්‍රමාණවත් අවස්ථා ආයතනය තුළ නොපැවතීමයි. දෙවැන්න පවුල් ගැටුම්ය. සෑම සේවකයෙකුටම පාහේ අවශ්‍ය වන්නේ ආයතනයේ දියුණුව සමඟ තම පෞද්ගලික දියුණුවද ළඟා කරගැනීමය. නමුත් අවාසනාවකට පවුලේ ව්‍යාපාර තුළ එවැනි ප්‍රමාණවත් අවස්ථාවන් සාමාන්‍ය සේවකයින්ට හමුවන්නේ කලාතුරකිනි. ආයතනයේ ඉහළ නිලතල සියල්ල පවුලේ සාමාජිකයින් අතර බෙදී ගොස් තිබීම ඊට හේතුවයි.

එනිසා ඉදිරියට යාමට, නායකත්වය ගැනීමට අවස්ථාවක් නොලැබෙන තැන දක්ෂයින් සහ ඉලක්ක අරමුණු සහිත සේවක පිරිස ඔබේ ආයතනයෙන් අස්වී වෙනත් තැනකට යාම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. එම සේවකයින් අස්ව යාමට බලපාන අනෙක් හේතුව වන්නේ පවුල් හබයක් මතුවුණු අවස්ථා වලදී තමන් ඊට මැදිවන බවට ඔවුන් තුළ පවතින හැඟීමයි.

ව්‍යාපාර හිමිකරුවෙකු ලෙස ඔබ තේරුම් ගත යුතු යථාර්ථය වන්නේ ව්‍යාපාරයේ දියුණුවට විවිධත්වයක් සහිත මානව සම්පතක් අවැසි බවය. අනවශ්‍ය හැඟීම්බර තත්ත්වයකින් තොරව කටයුතු කරන පවුලේ සාමාජිකයින් නොවන සේවකයින් ආයතනයට එක් කරන්නේ මනා සමබරතාවයකි. එනිසා පවුලේ ව්‍යාපාරයක සාර්ථකත්වයට පවුලේ සාමාජික නොවන සේවකයින්ගේ ධනාත්මක බලපෑම හඳුනාගත නොහැකිවීම ද විශාල අතපසුවීමකි.

දෙවැනි පරම්පරාවක් නොමැතිකම

ව්‍යාපාර හිමිකරුවෙකු කාලයත් සමඟ විශ්‍රාම ගන්නා, ව්‍යාපාරයෙන් ඈත්වන හෝ මිය යන මොහොතක් උදාවේ. එම අවස්ථාව වන විට ව්‍යාපාර බාර දෙන්නේ කා හටද යන්න පිළිබඳ නිසි සැලසුමක් නොපැවතීම ද ව්‍යාපාරය බිඳ වැටීමට හේතුවකි.

නැන්සි බෝමන් නම් ව්‍යාපාර ලේඛිකාව පෙන්වා දෙන්නේ පළමු පරම්පරාවෙන් පසු දෙවැනි පරම්පරාවට ගමන්ගන්නා පවුලේ ව්‍යාපාරවලින් සාර්ථකත්වයට පත්වන්නේ සියයට 33ක ප්‍රමාණයක් පමණක් වන බවය. දෙවැනි පරම්පරාවට එම ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් නොමැතිවීමත් මීට හේතුවිය හැක. එහෙත් බොහෝ විට මේ තත්ත්වය ඇතිවන්නේ නිසි සැලසුමක් නොතිබීම නිසාය. එනිසා පරම්පරාවෙන් පරම්පරාවට ව්‍යාපාරය ගෙනයාමට අදහස් කරන්නේනම් නිසි සැලසුමක් තිබීම අනිවාර්යය.

පවුලේ ව්‍යාපාරයක් තුළ නිවැරදිව කළමනාකරණය කරගැනීමට උපදෙස් 05ක්

01) විවෘත සහ පැහැදිලි සන්නිවේදනයක් පවත්වාගැනීම

ඕනෑම ව්‍යාපාරයකදී සන්නිවේදනයට ලැබෙන්නේ ප්‍රධාන තැනකි. විශේෂයෙන්ම පවුලේ ව්‍යාපාරයකදී එහි වැදගත්කම වඩා වැඩිය. පවුලේ සාමාජිකයෙකු සමඟ ව්‍යාපාරයක් පටන්ගැනීමේදී හෝ ඔබේ ව්‍යාපාරයට පවුලේ සාමාජිකයෙකු සේවයට ගැනීමේදී ඒ ඒ තැනැත්තාගේ කාර්යභාරය සහ වගකීම් සාකච්ඡා කරන්න. අපේක්ෂාවන් පැහැදිලිව නිර්ණය කරගන්න. එහිදී සියලු පාර්ශ්වයන්ගේ එකඟත්වය ඇති බව තහවුරු කරගෙන ඉදිරියට යන්නේ නම් ප්‍රශ්නයක් හටනොගනු ඇත.

02) හැඟීමට නොව බුද්ධියට මුල්තැන දෙන්න

පවුල සම්බන්ධ ඕනෑම අවස්ථාවකදී බුද්ධියට වඩා හැඟීම පෙරට ඒම ස්වභාවිකය. එහෙත් ව්‍යාපාරය තුළදී අපහසුවෙන් හෝ හැඟීම යටපත් කර බුද්ධියට ඉඩ දිය යුතුය. යම් තීරණාත්මක අවස්ථාවකදී ඔබ ඔබෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මෙහිදී පවුලේ සාමාජිකයෙකු නොවන සේවකයෙක් සිටියේ නම් ඔහුට හෝ ඇයට මාගේ ප්‍රතිචාරය කුමක් වේද යන්නයි. ඉන්පසුව ඒ අනුව ක්‍රියාත්මක වීමට පුළුවන. ඔබ ඊට හුරු විය යුතුය. එමෙන්ම එවැනි තීරණ ගැනීමට හේතුව ද පවුලේ සාමාජිකයන්ට පැහැදිලි කරදීම වැදගත් විය හැක.

03) පවුලට නොව දක්ෂතාවයට මුල්තැන දෙන්න

හොඳ ව්‍යාපාර හිමිකරුවෙකු සේවකයින්ට උසස්වීම් ලබාදෙන්නේ ඔවුන්ගේ කාර්ය සාධන ඇගැයීම තුළිනි. එය පවුලේ සාමාජිකයන්ටද එසේම විය යුතුය. යම් හෙයකින් ව්‍යාපාරයේ උප සභාපති ධූරය වැනි ඉහළ මට්ටමේ තනතුරක් ඊට සුදුසුකම් සපුරා නැති පවුලේ සාමාජිකයෙකුට ලබා දුනහොත් දක්නට ලැබෙන්නේ ඊට වඩා විනාශකාරී ප්‍රතිඵලයක් වන්නට පුළුවන. එනිසා සුදුසුකම් ඇත්තෙකු පවුල තුළ නැත්නම් පිටස්තරයෙකු ඒ සඳහා බඳවාගත හැක. ඥාති සංග්‍රහය යනු පවුලේ නොවන සේවකයින් ආයතනයෙන් ඈත් කරවන ප්‍රබල සාධකයක් බව නැවතත් සිහිපත් කළ යුතුය.

04) සාධාරණත්වය

පවුලේ ආරවුල් ගෙදර තබා පැමිණිය යුතුය. යම් ආරවුලක් සහිත පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු ව්‍යාපාර ආයතනයේ සිටී නම් ඔවුන්ට ආයතනයෙන් පිටත එම ආරවුල නිරාකරණය කරගැනීමට ඉඩ තබා ආයතනය ඉන් මුදවාගත යුතුය. එසේ නොමැතිව ආයතනය තුළදීත් ආරවුල දුරදිග ගෙනයන්නේ නම් සාමාන්‍ය බාහිර සේවකයන්ගේ ආරවුල් විසඳන ආකාරයටම ආයතය තුළ එය නිරාකරණය කරගත යුතුය. ඇතැම් අවස්ථාවලදී යම් විනය ක්‍රියාමාර්ග ගැනීමටත්, තාවකාලික සේවය අත්හිටුවීමටත් සිදුවිය හැක.

මෙහිදී සිහි තබාගත යුතු වැදගත්ම කරුණක් වන්නේ කිසිම හේතුවක් මත ඔබ එම ආරවුලේ පාර්ශ්වකරුවෙකු බවට පත් නොවීමයි. ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට යාමට නම් ඔබේ සාධාරණ හැසිරීම ද තීරණාත්මක වනු ඇත.

05) කාර්යාලයෙන් පිට ජීවිතයේදී පවුලට විශේෂ තැනක් දෙන්න

පවුලේ සාමාජිකයින් සමඟ ව්‍යාපාර කටයුතුවල පමණක්ම යෙදී සිටී නම් එයින් ව්‍යාපාරයට මෙන්ම පවුලේ සම්බන්ධතාවලටද ඇතිවන්නේ අයහපත් බලපෑමකි. එනිසා පවුලේ සාමාජිකයින් සමඟ රාත්‍රී භෝජනයක් සඳහා නිවාඩුවක් සඳහා එළියට යාමට කාලය වෙන් කරන්න. ව්‍යාපාරය මෙන්ම පවුල ද ඔබට වටිනා සම්පතකි. එම විවේකී කාලය තුළදී ව්‍යාපාර කටයුතු තහනම් මාතෘකාවක් කොටගනිමින් සාමාන්‍ය දේ ගැන කතාබස් කරන්න. එවිට පවුලේ සබඳතා ශක්තිමත් වන අතරම වක්‍ර ලෙස ඉන් ව්‍යාපාරයට එක්කෙරෙනුයේ ද ආශීර්වාදයකි.

[රජිත ජාගොඩආරච්චි]

මාතෘකා