ව්‍යාපාර වර්ධනයේ අපේ සහායකයා DFCC සහය

 ඡායාරූපය:

ව්‍යාපාර වර්ධනයේ අපේ සහායකයා DFCC සහය

නව ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙකුට වගේම දැනට කරගෙන යන ව්‍යාපාරයක් තව දුරටත් වැඩි දියුණු කරන්න සැලසුම් කරන කෙනෙකුට තිබෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ 'ප්‍රාග්ධනය' යි. සරළවම කිව්වොත් අරමුදල්. ව්‍යාපාරයක් ගොඩ නැගීමේදී අරමුදල් සොයාගෙන බොහෝ දෙනා පිළිගත් බැංකු සහ මූල්‍ය ආයතනවලට ගොඩ වැදෙද්දී, තවත් සමහරු පෞද්ගලික අතමාරුවක්, උකසක් කරා යොමු වෙනවා. මේ කුමන ආකාරයෙන් අරමුදල් සොයා ගත්තත්, ඊළඟට ඇති වෙන ගැටලුව ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධව දැනුම මදිකම. ගිණුම්කරණය, විධිමත් අලෙවි ක්‍රම, මානව සම්පත් කළමනාකරණය වැනි ක්ෂේත්‍ර ගැන දැනුවත්කම මඳ බව ව්‍යාපාරයක් වර්ධනයේදී නොයෙක් අවධිවල අභියෝග බවට පත්වෙන්න පුළුවන්.

මේ සියලු අභියෝග ජයගන්න අවශ්‍ය අරමුදල් වගේම උපදේශන සේවා ලබාදෙන්න DFCC බැංකුව නිර්මාණය කරලා තියන 'DFCC සහය' සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහාවන මූල්‍ය ප්‍රතිපාදන වැඩසටහන ගැන, ඒ හරහා තමන්ගේ ව්‍යාපාර සාර්ථක කර ගැනීමේ සතුට විඳින ව්‍යවසායකයන් කිහිප දෙනෙකුගෙන් අපට දැන ගැනීමට ලැබුණා.

* මොකක්ද මේ 'DFCC සහය?'

ඒ බව දැන ගන්න 'රැස' සමඟ සංවාදයට එක් කරගත්තේ DFCC බැංකුවේ ශාඛා කටයුතු සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය භාර ජ්‍යෙෂ්ඨ උප සභාපති භාතිය අලහකෝන් මහතාය.

* මුලින්ම අපි කතා කරමු 'DFCC සහය' දක්වා ආපු ගමනේ බැංකුවේ ඉතිහාසය ගැන...

1955 වසරේදී පාර්ලිමේන්තු පනතක් මඟින් DFCC බැංකුව ආරම්භ කෙරුණේ ලංකාවේ පළමුවැනි සංවර්ධන බැංකුව විදිහට. ඒ කාලයේ ඉඳලම DFCC බැංකුව සතුව ඉතාම දක්ෂ සහ විවිධ ක්ෂේත්‍රවල උගත් කාර්ය මණ්ඩලයක් හිටියා. ඒ අය අතරේ ඉංජිනේරු, විද්‍යා, කෘෂි, ගණකාධිකරණ වගේ ක්ෂේත්‍රවල පුළුල් දැනුමැති පිරිසක් බැංකුව සමඟ එක්ව වැඩ කළා. මේ සියලු දෙනා අරමුදල් සැපයීමට වඩා වැඩි යමක් ලබා දීමට අවශ්‍ය දැනුමින් සන්නද්ධව හිටියා. ඒ නිසාම තමා එදා බැංකුවේ තේමාව විදිහට 'මුදලට වඩා වැඩි යමක්' කියන පාඨය යොදා ගත්තේ.

මේ අතරේ DFCC බැංකුව පිළිගත් වාණිජ්‍යය බැංකුවක් විදිහට ස්ථාපිත වෙනවා. මේ අනුව සංවර්ධන බැංකුවක් විදිහට කටයුතු කරන අතරේම බැංකුව වාණිජ්‍යය බැංකු කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කරනවා.

නමුත් සංවර්ධන බැංකු ක්ෂේත්‍රයේ දීර්ඝ කාලීන අත්දැකීම් සහිත විශේෂඥ සේවක පිරිසගේ සේවය ලබාගෙන අපට මඟ හැරුණු සුළු සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන්ව අරමුණු කරගෙන, ඔවුන්ට සහය වීමේ අරමුණින් 'DFCC සහය' ණය වැඩසටහන ආරම්භ කළ යුතුයි කියලා බැංකුව තීරණය කරනවා.

* ක්ෂුද්‍ර. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකන්යන්ට මූල්‍ය පහසුකම් ලබාදීමේ කාර්යයේ නියුතු තරඟකාරී ආයතන ගණනාවක් තියෙනවා. කොහොමද මේ වැඩසටහන එම ආයතන වලින් වෙනස් වෙන්නේ?

පළමුවෙනි සුදුසුකම තමා, DFCC බැංකුව මේ ක්ෂේත්‍රය ගැන පුළුල් දැනුමක් සහිත සේවක පිරිසකින් සමන්විත වීම. ඒ ඔස්සේ අපේ පාරිභෝගිකයන්ට විශේෂිත වූ සේවාවක් සැපයීමේ හැකියාව අපිට තියෙනවා. ඒ වගේම නව ව්‍යවසායකයන් හඳුනාගැනීමට අපට තියෙන දැඩි උනන්දුවත් විශේෂ සුදුසුකමක්.

තරඟකාරී මූල්‍ය ආයතන විසින් අයකරන පොලී ප්‍රතිශතයට සාපේක්ෂව ඉතා අවම අගයක් තමා අපි අය කරන්නේ.

මේ සියල්ලටම වඩා වැදගත් කාරණය තමා, හුදු අරමුදල් සපයන්නෙක්ගේ භූමිකාවට එහා ගිහින් ළබැඳි මිතුරෙක් විදිහට ව්‍යාපාරකරණයට අවශ්‍ය සහය, උපදේශනය නිරන්තරයෙන් ලබා දෙමින් බැංකුව ව්‍යවසායකයා සමඟ රැඳීම. මේ හරහා මෙතෙක් කල් විධිමත්ව මූල්‍ය ආයතන සමඟ සම්බන්ධ නොවුන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල පිරිසක් නිවැරදිව ගිණුම් තබන විධිමත් ව්‍යාපාරිකයන් බවට පත් කිරීමට අපට හැකියාව ලැබිලා තියනවා.

* නව ව්‍යවසායකයන් දැනුමෙන් සන්නද්ධ කිරීමට ඔබ ආයතනය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් මොනවාද?

මේ වනවිට, ශ්‍රී ලංකා මහ බැංකුවත් සමඟ සම්බන්ධව 'DFCC සහය' වැඩසටහන යටතේ 'සහය හමුව' යනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් අපි අපගේ ශාඛා හරහා ක්‍රියාත්මක කරනවා. මේ වනවිට දෙදහසකට වැඩි පිරිසක් සඳහා 'සහය හමු' පවත්වා තියෙනවා.

ව්‍යාපාර පටන් ගැනීමට හැකියාව ලැබුණට, ව්‍යවසායකයන්ගේ දැනුමේ අඩුපාඩු හේතුවෙන් ව්‍යාපාර පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇති බව අපි තේරුම් ගත්තා. ඒ අයට පොඩි තල්ලුවක් දුන්නොත් මීට වඩා සාර්ථක වීමේ හැකියාව ඇති බව අපට පෙනී ගියා.

දැනට 'DFCC සහය' ණය යෝජනා ක්‍රමය ඔස්සේ ණය පහසුකම් ලබා ගත් අයට වගේම ඒ අය විසින් යෝජනා කරන වෙනත් ව්‍යවසායකයන්ටත් මේ වැඩසටහනට එක් වීමේ අවස්ථාව අපි ලබා දීලා තියනවා.

*නව ව්‍යාපාරයක් අරඹන ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ඇප තැබීමේ ගැටලුවට විසඳුම් ඔබ සතුව තියෙනවද?

අපි දේපළ ඇප තබා ගැනීමක් කරන්නේ නැහැ. පුද්ගල ඇප පමණයි අපට අවශ්‍යය. ණය ලබා දීමේදී ව්‍යාපාරය නිරතුරුවම අපේ විමසිල්ලට බඳුන් වෙන නිසා අවදානම අවමයි. අපි සෑම 'DFCC සහය' ගනුදෙනුකරුවෙක්ම රක්ෂණය කරනවා. ඒ නිසා යම් කිසි ජීවිත හානියකට හෝ ආබාධිත තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ණය මුදල සම්පූර්ණයෙන් පියවා හරිනවා. ඒ වෙනුවෙන් පාරිභෝගිකයාගෙන් අමතර මුදලක් අය කරගන්නේ නැහැ.

* ඔබේ වැඩසටහනට එක් වූ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්, දැවැන්ත ව්‍යාපාරිකයන් වීම ගැන සාර්ථකත්වයේ අත්දැකීම් තියෙනවද?

ඔව්. අනිවාර්යයෙන්. එවැනි සාර්ථකත්වයන්ට පත් වූ ව්‍යාපාරිකයන් බොහොමයක් දැනටත් බැංකුවේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් ලෙස ඉන්නවා. ඒක පෞද්ගලිකවත් අපට සතුටු වෙන්න පුළුවන් කාරණයක්. ඒ අය මේ සාර්ථකත්වයේ පණිවිඩය අංකුර ව්‍යවසායකයන් වෙත ගෙනයන්නත් බොහොම කැමැත්තෙන් ඉන්නේ.

ඉදිරියේදී 'රැස' පුවත්පත හරහා, එලෙස සාර්ථක වූ ව්‍යාපාරිකයන් ගැන සමාජය දැනුවත් කිරීම සඳහා විශේෂාංග ලිපි පෙළක් පළ කිරීමටද අපි බලාපොරොත්තු වෙනවා.

* 'DFCC සහය හමුව' වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරිමේදී ඔබට ඇති නව සැලසුම් මොනවාද?

ඉදිරි කාලය තුළත් වඩාත් පුළුල්ව DFCC සහය වැඩ සටහන් පවත්වන්න අපි සැලසුම් කරලා තියනවා. මීට අමතරව දේශීය වෙළෙඳපළ ජයගෙන ජාත්‍යන්තර වෙළෙඳපළ දක්වා යාමට ශක්‍යතාවය ඇති ව්‍යාපාර හඳුනාගෙන එම ව්‍යවසායකයන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන්නත් කටයුතු කරන්න අපි සූදානම්. නව විකුණුම් උපක්‍රම ගැනත් ඔවුන් දැනුවත් කරන්න අපි සැලසුම් කරනවා. වැඩි වැඩියෙන් සාර්ථක කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් බිහි කිරීම බැංකුවේ අරමුණයි.

* DFCC බැංකුව මෙවැනි වැඩසටහන් හරහා රටේ තිරසාර මූල්‍ය සංවර්ධනයට දක්වන දායකත්වය ජාත්‍යන්තරව ඇගයීමට ලක් වූ බවත් අපට දැන ගන්නට ලැබුණා. ඒ ගැනත් යමක් පැවසුවොත්...?

ගෝලීය තිරසාර මූල්‍ය ජාලය (Global Sustainable Finance Network) විසින් තිරසාර මූල්‍ය ක්ෂේත්‍රයට DFCC බැංකුව දක්වා ඇති විශාල දායකත්වය වෙනුවෙන්, ඔවුන් විසින් පිරිනමන '2018 කාර්ල්ෂූ තිරසාර මූල්‍ය සම්මාන' (2018 Karlsruhe Sustainable Finance Awards) උළෙලේදී විශිෂ්ට කුසලතා සම්මානයක් අපට පිරිනැමුවා.

මේ සම්මානය සඳහා නිර්දේශ වන්නේ, හුදු ආර්ථික ප්‍රතිලාභ ගැන පමණක් සලකන්නේ නැතුව, ආර්ථික, සමාජීය සහ පාරිසරික තිරසාර බව වෙනුවෙන් වැඩි දායකත්වයක් සපයන මූල්‍ය ආයතන. ඒ නිසා මේ සම්මානයත් DFCC බැංකුව සමාජ සංවර්ධනයට දක්වන දායකත්වය මනාව පිළිබිඹු කරන අවස්ථාවක්.

සංවාදය [මංජුල සමරසේකර] ඡායා [සමන් ශ්‍රී වෙදගේ]

මාතෘකා