මට මේ ව්‍යාපාරය සමාජ වගකීමක්

 ඡායාරූපය:

මට මේ ව්‍යාපාරය සමාජ වගකීමක්

ලාල් ජයමහ

ISO 9001-2015 තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබූ නිව් ඉන්ටීරියර්ස් පුද්ගලික සමාගමේ සභාපති

නිව් ඉන්ටීරියර්ස් පුද්ගලික සමාගම සැලකෙන්නේ මෙරට ගෘහ අලංකරණයේ පුරෝගාමී සමාගමක් වශයෙන් වශයෙනි. මෙම සමාගම IOS 9001-2015 තත්ත්ව සම්මාන සහතිකයෙන් පිදුම් ලැබූ සමාගමකි. දශක තුනකට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන එම සමාගමේ මේ දක්වා ගමන් මාර්ගය සම්බන්ධයෙන් එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ලාල් ජයමහ මහතා සමඟ අපි මෙලෙස සාකච්ඡාවක නිරත වුණෙමු.

කොහොමද ඔබ මෙම ව්‍යාපාරය නිර්මාණය කළේ?

මම බැංකුකරුවෙක්. රාජ්‍ය බැංකුවක සේවය කරමින් ඉන්න විට මට විදේශ බැංකු සේවාවක් සමඟ එක්වෙන්න අවස්ථාව උදා වුණා. ඒ අවස්ථාවත් එක්ක මම ඩුබායිහි සේවයට ගියා. එහිදී මම සේවය කළේ මූල්‍ය ණය නිලධාරියෙක් වශයෙනුයි. මගේ උපදෙස් ලබාගත්තේ විවිධ ආයෝජකයිනුයි. ඒ අතරින් මාත් එක්ක හිතවත් වුණු ජර්මානු ව්‍යවසායකයෙක් මට ව්‍යවසායක් අරඹන ලෙස යෝජනාවක් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මම අපේ මේ ව්‍යාපාරය බිහි වෙන්නේ.

මෙය ගෘහ අලංකරණයට සම්බන්ධ ආයතනයක්. මෙහි ව්‍යූහය ගැන කතා කළොත්?

මගේ ආයතනයේ සෘජු සේවකයන් 104ක් සිටිනවා. වක්‍රාකාරයෙන් සේවය කරන කොන්ත්‍රාත් සේවක කණ්ඩායම් මා සමඟ ඉන්නවා. ඇත්තටම අපි ඉතාමත් කාර්යශූර සමාගමක්. අපි බාරගන්න කිසි වැඩක් අසමත් වෙන්නෙ නැහැ. ඒ නිසා තමයි අපි දශක තුනකට වඩා වැඩි කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රය තුළ ජයග්‍රහණ අත්කරගත්තේ. ඉතින් අපිට සේවකයන් ගැන ප්‍රශ්න නැහැ.

සේවකයන් සේවා ඥානය ලබාගෙන ආයතනයෙන් ඉවත්ව යෑම අද දකින්න ලැබෙන ගැටලුවක්. එ් අර්බුදයට කොහොමද මුහුණ දෙන්නෙ?

මානව අයිතිවාසිකම් කියල කොටසක් තියෙනවා. ඒ අනුව සේවකයන්ට පුළුවන් තමන් සිටිය යුතු තැන තීරණය කරන්න. ආයතනයකින් සේවකයන් ඉවත්වීම අපට වළක්වන්නත් බැහැ. හැබැයි එහිදී අපි සේවකයන් අපේ ආයතනය හැර නොයන්න වැඩ කටයුතු කරනවා.

ඒ කොහොමද?

සෑම වසර දෙකකට වරක්ම අපි සේවකයින් සමඟ සාකච්ඡා කරනවා. ජීවන වියදම් තත්ත්වය සමාලෝචනය කරනවා. සේවකයන්ගේ වැටුප සැම විටම පවතින ජීවන වියදමට ඉහළින් පවත්වාගෙන යන්න කටයුතු කරනවා. ඒ වගේම ඕනෑම කෙනෙකුගේ ප්‍රශ්නයකට ඔවුන්ට සෘජුව මාව හමුවෙන්න හැකියි. ඉතින් සේවකයන් පිළිබඳ ගැටලු ඇති නොවන පරිසරයක් අපි හදලා තියෙනවා.

සේවකයන්ට තියෙන උසස්වීම් පටිපාටිය හා පුහුණු අවස්ථා ගැන කතා කරමු.

මගේ ආයතනයේ අතරමැදි තනතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් නැහැ. බොහෝ වෙලාවට පාසල් හැරගිය සිසුන් තමයි මෙතැන වැඩට ගන්නෙ. එහෙම එන අයට ස්ථර හයක් පමණ තරණය කරලා තමන්ගේ දක්ෂතාව අනුව ඉහළ තැනකට පැමිණීමේ හැකියාව අපි නිර්මාණය කරලා තියෙනවා. මේ ආයතනයේ ඉහළම ධුරවල රැඳී ඉන්නේ වසර ගණනාවකට පෙර ඒ ක්‍රමයට මෙතැනට ආපු අයයි.

සේවකයෝ විවිධ දක්ෂතාවලින් යුක්තයි. ඔබ කොහොමද ඔවුන් වර්ගීකරණය කරන්නෙ?

සේවකයෝ සාමාන්‍ය තත්ත්වයට වඩා අදක්ෂ, සාමාන්‍ය හා සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ දක්ෂතා සහිත සේවකයෝ කියලා බෙදන්න පුළුවන්. සාමාන්‍ය තත්ත්වයට වඩා අදක්ෂ අය ඕනෑ තරම් අලුතින් සොයාගන්න පුළුවන්. සාමාන්‍ය සේවකයිනුත් ඒ වගෙයි. ඒ අයුරින් මම සේවකයින් වර්ග කරන්නේ ඒ නිසයි. ඉහළ දක්ෂතා සහිත සේවකයෝ ඉවත් වන එක වළක්වන එක තමයි අපේ වගකීම.

ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගෙනද ඔබ මේ ව්‍යාපාරය පටන්ගත්තේ?

නෑ. මුල්කාලෙදි මම එහෙම දැනුමක් ලබාගෙන තිබුණේ නැහැ. හැබැයි කාලයක් ගත වන විට විවිධ ක්‍රමවේදවලින් මම දැනුමින් සන්නද්ධ වුණා. තවත් අය මෙතැනට සම්බන්ධ කරගනිද්දී ඇතැම් වෙලාවට අපට තාක්ෂණික හැකියා, නිර්මාණ හැකියා සහිත පුද්ගලයන් බඳවාගන්න සිද්ධ වුණා.

ඔබ සමාගම ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන තිබෙන්නෙ මූල්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවලට සේවාව සපයන ආයතනයක් ලෙසයි. එයට විශේෂ හේතුවක් තියෙනවාද?

අපි අපේ කටයුතු කරන්නේ විශ්වසනීයව හා සාධාරණ මිල ගණන් යටතේ ඉහළම ප්‍රමිතියට නිසා විශේෂයෙන් මූල්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවලින් අපි ස්ථාවර වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම බැංකු ආයතන, බොහොමයක් අධ්‍යාපන ආයතන අපේ සමාගමෙන් සේවාවන් සලසා ගන්නවා.

පසුගිය දිනවල හරිත විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය කළෙත් ඔබේ සමාගමයි?

ඔව්. ඒ ව්‍යාපෘතිය විශාලයි. ඒ අපි සම්බන්ධයෙන් විශ්වාසය තහවුරු කරන එක් උදාහරණයක්. මම යෝජනා කරනවා අපේ ව්‍යාපෘති අධ්‍යයනය කරන්න හරිත විශ්වවිද්‍යාලය එක් අවස්ථාවක් කියලා.

ඔබ කොහොමද සාධාරණම මිල ගණන් පාරිභෝගික ආයතන වෙත ලබාදෙන්නෙ?

ඒක සාමාන්‍ය දෙයක්. මොකද මේ ක්ෂේත්‍රයේ මූලික අමුද්‍රව්‍ය රැසක තොග වෙළෙඳාම කරන්නෙත් අපියි. හුඟාක් සමාගම් මේ අමුද්‍රව්‍ය අපෙනුයි මිලදී ගන්නෙ. ඒ නිසා ඒ මූලික අමුද්‍රව්‍ය සපයද්දීත් අපට ලාභයක් තියෙනවා. සෙසු සමාගම් සමඟ කිසිදු අභියෝගයකින් තොරව අපට ඉදිරියට එන්න හැකිවෙන්න ගුණාත්මකභාවය වගේම මිල ගණන් සාධාරණව අමුද්‍රව්‍ය මිලට ගැනීමත් එක් උදාහරණයක්.

ඔබ කියන්න උත්සාහ කරන්නේ වෙළෙඳපොළ තුළ ඔබ ආයතනයට තරගකාරීත්වයක් නැහැ කියලද?

තරගකාරීත්වයක් තිබෙනවා. නමුත් කිසිම විශේෂ ගැටලුවක් අපට නැහැ. මේකට කරුණු කිහිපයක් බලපාලා තියෙනවා. පළමුවැන්න තමයි අපි කෙරේ පවතින විශ්වාසය. අනික අපේ ගුණාත්මක සේවාව. තෙවැන්න සාධාරණ මිල ගණන්වලට අපි මේ නිෂ්පාදනයන් සිදු කිරීම.

මෙම ව්‍යාපාරයට අමතරව ඔබ ආයතනය සම්බන්ධ වන වෙනත් ව්‍යාපාර ගැනත් යමක් පැවසුවහොත්?

අප සමාගම විසින් ගෘහ අලංකරණ කටයුතුවලට සම්බන්ධ නොයෙකුත් අමුද්‍රව්‍ය ගෙන්වා බෙදා හරින්න වෙනමම අංශයක් වෙනමම පරිශ්‍රයක පවත්වාගෙන යනවා.

එයට අමතරව අපේ සමාගම කෘෂි ක්ෂේත්‍රයටත් එක් වෙලා තිබෙනවා. ඒ කටයුතු කරන්නේ වැලිකන්ද ප්‍රදේශයේ අක්කර 50ක පමණ ඉඩමක පලතුරු වගාවක් පවත්වා ගෙන යාමෙනුයි. අපි විශේෂයෙන්ම වස, විෂ නොමැති පලතුරු වගා කරනවා. එය දැයේ දරුවන් වෙනුවෙන්, මානව සමාජය වෙනුවෙන් කරන සේවයක් වශයෙන් ක්‍රියාවට නංවා තිබෙන්නෙ. විශේෂයෙන්ම දොඩම්, අඹ, ලෙමන් වර්ග වෙ‍ළඳපොළට අපි ලබාදෙනවා. එ් ව්‍යාපෘතිය මඟින් වැලිකන්ද ප්‍රදේශයේ 20 දෙනෙකුට පමණ සෘජු රැකියා අවස්ථාද ලබාදී තිබෙනවා.

ඔබ මෙම ආයතනයෙන් දැන් වැටුප් ලබාගැනීමට පවා උනන්දු නොවන සභාපතිවරයෙකු බව අපට දැනගන්න ලැබුණා?

මට දැන් මුදල් අවශ්‍ය නෑ. පෙර කියපු වගා ව්‍යාපෘතියේ නිෂ්පාදන අපි සුපිරි වෙළෙඳසැල් සමූහයට නිකුත් කරනවා. මම වැටුප් ගැන සැලකිලිමත් නැහැ. මගේ බිරිය විශ්‍රාමිකයි. ඒ වුණත් ඇය තවමත් ලෝක බැංකුවේ රැකියාවක නියැලෙනවා. මගේ දියණිය නිවැරදි මාර්ගයේ යවලා ඇයට උසස් අධ්‍යාපනයක් ලබාදී පිළිගත් ආයතනයක ඇය සේවය කරනවා. ඇත්තෙන්ම දැන් අපට විශේෂයෙන් මුදල් අවශ්‍ය නැහැ. මේ දේවල් කරන්නෙ සමාජ වගකීමක් වශයෙන්. මම මගේ විවේක කාලයේදී සමාජ සහ ආගමික සුබ සාධන කටයුතුවලට සම්බන්ධ වෙනවා.

අවසන් වශයෙන් ඔබ සමාජයට දෙන පණිවුඩය මොකක්ද?

මම කියන්නෙ මිනිසෙක් වශයෙන් ඉපැදුණා නම් ඔබට ඔබේ ජීවන තත්ත්වය වෙනස් කරගැනීම සඳහා හැකිතාක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න කියලයි. මගේ වයසින් උපරිම කාලයක් යොදන්නේ රාජකාරිවලට. දැන් මම මේ සමාගමෙන් පුද්ගලික සුඛවිහරණයට ලාබගන්නෙ නෑ. ලැබෙන දේ මේ සමාගමට ආයෝජනය කරනවා. අවම වශයෙන් මම මගේ වැටුප පවා මාසිකව ලබානොගන්න තරමටම නිදහස් මිනිසෙක්. මගේ වැටුප කළමනාකරණය කරන්නෙ මූල්‍ය අංශය විසිනුයි. මගේ අවශ්‍යතාවකට මුදල් ලබාදීලා ඉතිරි වෙන මුදල තැන්පතුවලට දානවා. මම කියන්නෙ අනිත් පුරවැසියන්ටත් ඒ විධියට වැඩ කරන්න කියලයි.

සංවාදය - [එස්. චන්ද්‍රසිරි]

මාතෘකා