ලෝකයේ බිලියනපතියෝ 2,040ක් | ඇස පාදන රැස


ලෝකයේ බිලියනපතියෝ 2,040ක්

 ඡායාරූපය:

ලෝකයේ බිලියනපතියෝ 2,040ක්

“අපි දුප්පත් තමයි. අපිට දෙන්නෙ කවුද? කොයි ආණ්ඩුව ආවත් අජේ ජීවිත මෙහෙමමයි.” එහෙම හිතන අය ඉන්නවා. නොහිතන ජන කණ්ඩායමක් ද ඉන්න බව අමතක කරන්න නරකයි. ආණ්ඩුවෙන් දෙන දෙයක් අරගෙන ජීවත් වෙනවාට වඩා තමන්ටම දෙයක් කරගන්න හිතන විශාල කොටසක් ජන සමාජයේ සිටිති. නිවහල් එම කොටසය. යැපෙන මානසිකත්වයෙන් ඉවත් කර ගත යුතු අනෙක් කොටස බව පැහැදිලිය. දෙන දෙයක් අරගෙන කියන විදියට ජීවත් වෙන්න කැමැති නැති කොටසක් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ද සිටිති. ඒ අය ගැන අවුරුද්දක් පාසා අවධානයට ලක්වෙයි.

නොබෝදා ඔක්ස්ෆෑම් ඉන්ටර්නැෂනල් ආයතනය අලුත් අනාවරණයක් කළේය. එයට අනුව ලෝකයේ බිලියනපතියෝ 2,040 ක් ජීවත්වෙති. මෙම බිලියන රුපියල් නොවේ. ඇමරිකානු ඩොලර්ය. සෑම  බිලියනපතියෙකුම පාහේ පටන් ගෙන ඇත්තේ බිංදුවෙනි. අලුත් ව්‍යවසායවලිනි. කර්මාන්ත හෝ තාක්ෂණික අංශයේ ව්‍යාපාරවලින් බව පෙනේ. තමන්ම බර ඇදගෙන ගිහින් අවුරුදු තිහ හතළිහක් වන විට සමාගම බලවත් එකක් බවට පත් වෙයි.

බිලියනපතියන්  2017 වසරේදී කොපමණ පොහොසත්දැයි සොයා බැලීමද සුදුසුය. මුළු ලෝකයේම වත්කම්වලින් සියයට අසූදෙකකට එම පිරිස අයිතිවාසිකම් කියති. තවත් කෙටියෙන් සඳහන් කරන්නේ නම් ලෝකයේ සියයට එකක් පමණ වන බිලියනපතියන් සමස්ත ලෝකයේම වත්කම්වලින් සියයට අසූ දෙකක් අත්පත් කරගෙන සිටී. පසුගිය වසරේ පමණක් මෙම බිලියනපතියෝ සිය ධනය බිලියන 762 කින් වර්ධනය කරගෙන ඇත. මෙම පිරිස අතරින් සියයට අනූවක් කාන්තාවන් වීමද අවධානයට ගත යුතුය.

ධනපතියන් භංගවේවා යැයි සටන් පාඨයක් තිබුණේ ඒ කාලයේය. සියලුම දෙනා එක සමාන කර එකට ජීවත් වීම අරභයා සංකල්පයක් තිබුණි. වාමාංශික අදහස්වලට ලෝකයේ ඇති අවස්ථා හිඟවෙමින් පවතී. විවෘත ආර්ථිකයේ පවතින සාහසිකත්වය ගැන කොපමණ විවාද ඇතත් විකල්ප අඩුය. සාධාරණ ධනවාදය ගැන සාකච්ඡා කරමින් තිබේ. වඩා කැපී පෙනෙන්නේ ධනය ඇති සමාජය ඒවා නැවත නැවතත් ආයෝජනය කිරීමයි. ඉතාම පොහොසතුන් පොහොසත් අන්දමට ජීවත් වන අතරවාරයේ සිය ධනයෙන් විශාල කොටසක් නැවත සමාජයේ පොදු කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරමින් සිටී. ඇතැම් ධනවත් සමාගමක්  පසුගිය වසරේ පොදු කාර්යයන් වෙනුවෙන් කරන ලද වියදම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික වියදමට වඩා වැඩි බව අනාවරණය වෙයි. මැලේරියාව මර්දනය, ඒඩ්ස් තුරන් කිරීම, ලෝකයටම හොඳ වැසිකිළි පහසුකම් සැපයීම, සූර්‍යය බලශක්ති අංශයේ පර්යේෂණ සහ පුද්ගලික අංශය ආයෝජනය කරන අභවකාශ තරණ වැඩසටහන්ද ඒ අතර වෙයි. මෑතක් වන තුරු ලෝකයේ ආණ්ඩුවලට පමණක් සීමා වී තිබුණ ඇතැම් පැති ආරක්ෂාව හෝ රාජ්‍ය අයිතිය ගැන කිසිම තැකීමක් රහිතව පුද්ගලික අංශයට පවරා තිබේ.

ධනය නිපදවන්නේ මහන්සියෙන් බව ඇත්ත කතාවයි. මහන්සි වෙන්නේ වැඩ කරන  ජනතාවය. කම්කරුවන්ය. පාලකයෝ සුවපහසු කාමරවල සිටිමින් තීරණ ගනිති. තමන්ගේ මහන්සියෙන් අතිවිශාල ධනපතියන් බිහි වෙන විට භංගවේවා යැයි කියන්නට පටන්ගත්තේ ඒ දවස්වල බවද මෙහි දී මතක් කළ යුතුය. ධනපතියන් භංග කරන්නට ආණ්ඩුවලට හැකි වූයේ නම් මෙම මුලින් සඳහන් කළ අතිවිශාල ධනස්කන්ධය නිර්මාණය වෙන්නේනැත. ඒවා හැදූ ධනයකි. නිෂ්පාදනය කරන ලද කොටසකි. ලෝකය පුරා ආණ්ඩු හා ආණ්ඩුවල ඉන්නා දේශපාලනයන්ගේ දූෂණ ගැන අප්‍රමාණ තොරතුරු ප්‍රමාණයක් නිතිපතා මාධ්‍යවල පළ වෙයි. දියුණු වෙමින් පවතින රටවල මෙම තත්ත්වය බිහිසුණුය. වත්කමක් නැතිව ඡන්දයට එන අපේක්ෂකයෝ අවුරුදු හත අටක් ගත වන විට ප්‍රකෝටිපතියෝ බවට පත් වෙති. මෙම පිරිස කරන ලද නිෂ්පාදනය කුමක්ද? රටට කරන ලද සේවය ගැන ජනතාවට අවබෝධයක් තිබේද?

අතිවිශාල ධනයක් ඇති පුද්ගලයන් හා සමාගම් බිහි වන තුරු ලෝකයේ ආණ්ඩු කළේ මොනවාද? තමන්ට කරන්නට කොහැකි දේ කරන දක්ෂ මිනිසුන්ට ඒ වෙනුවෙන් බාධාවකින් තොරව අවස්ථාව සම්පාදනය කිරීමයි. යමක් උපයා ඒවායෙන් තව තවත් දේවල් කරන්නට තැත් කරන ව්‍යවසායකයන්ට උදවු කළ යුතුය. එම ධෛර්යවන්ත මිනිසුන් ලෝකය වෙනස් කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ අලුත් ව්‍යාපාරයක් කර්මාන්තයක් ආරම්භ කරන්නට කොපමණ බාධා තිබේද? උදවු දෙනවාද? බ්‍රිතාන්‍යයේ ආණ්ඩුව රජයේ ව්‍යවසායනත්ව වැඩපිළිවෙළ ගැන හරි වැරදි බලන්නට පමණක් වෙනම ස්වාධීන කොමිසමක් පත් කර තිබේ. පුද්ගලික ව්‍යවසායකයන්ට නැගීසිටින්නට ආණ්ඩුව දෙන සහාය ගැන අධීක්ෂණය කෙරේ. ශ්‍රී ලංකාවේ කවර ආණ්ඩුවක් බලයට පැමිණියත් වාසියක් ගන්නනම් දේශපාලඥයන්ගේ පිහිට අවශ්‍යය. ඔවුන් නොතකා ඉදිරියට ගිය පිරිස ලෝකය බබලවමින් සිටිති.

[ගාමිණි ෙගාඩකන්ද]

මාතෘකා