යළිත් මුදල් එකතු කිරීමේ හැකියාවක් ඇත්තේ නැති ක්‍රිප්ටෝ කරන්සි

 ඡායාරූපය:

යළිත් මුදල් එකතු කිරීමේ හැකියාවක් ඇත්තේ නැති ක්‍රිප්ටෝ කරන්සි

පසුගිය සතියේ බිට්කොයින් සම්බන්ධයෙන් පළ වූ ලිපිය හා සබැදේ...

දැනට නිකුත් වී ඇති බොහෝ ක්‍රිප්ටෝ කරන්සි වර්ගවල විශේෂත්වය වන්නේ ඒවායෙහි ප්‍රමාණය සීමිත වීමයි. මෙම මුදල් වර්ග වෙළෙඳපොළට නිකුත් කෙරෙන්නේ යම් නිශ්චිත ඛේත පද්ධතියක් හරහායි. එම් ඛේත පද්ධතිය හරහා නිකුත් කරනු ලබන ඩිජිටල් මුදල් ප්‍රමාණයට යළිත් මුදල් එකතු කිරීමේ හැකියාවක් ඇත්තේ නැත. එනම්, රටක මහ බැංකුවක් විසින් රුපියල්, හෝ ඩොලර් වැනි මුදල් වර්ග වෙළෙඳපොලට නිකුත් කරනු ලබන ආකාරයට යම් ක්‍රිප්ටෝ කරන්සි වර්ගයක මුදල් යළි යළිත් වෙළෙඳපොලට නිකුත් කිරීමක් සිදු වන්නේ නැහැ. පළමු වරට නිකුත් කෙරෙන මුදල් ප්‍රමාණය පමණයි.  

ක්‍රිප්ටෝ කරන්සි වර්ග මෙම යුගයේ ආයෝජනය සඳහා වඩා යෝග්‍ය දෙයක් වීමට ප්‍රධාන හේතුවත් මෙයයි. බොහෝ විශ්ලේෂකයන්ට අනුව tangible currencies (සාම්ප්‍රදායික මුදල් වර්ග - කාසි නෝට්ටු ) භාවිතය අනාගත ලෝකයේ අවම වීමට නියමිත අතර ඩිජිටල් මුදල් වර්ගවලට තිබෙන ඉල්ලුම ඉදිරි දශකය තුළ වැඩි වීමට නියමිතයි. එහෙත් ඉල්ලුම වැඩි වීමත් සමග යම් නිශ්චිත ක්‍රිප්ටෝ කරන්සි වර්ගයක සැපයුම වැඩි ‍වෙන්නේ නැහැ. එය ස්ථාවර අගයක් පමණයි. සැපයුම ස්ථාවරව පවතිමින් ඉල්ලුම වැඩිවීම ක්‍රිප්ටෝ කරන්සි වර්ග ආයෝජනය සඳහා හොඳ අවස්ථාවක් වීමේ ප්‍රධානතම හේතුවයි.  

බොහෝ දෙනෙකුට හුරු පුරුදු ක්‍රිප්ටෝ කරන්සි වර්ගය බිට් කොයින් වූවත් එය දැනට භාවිතා වන ක්‍රිප්ටෝ කරන්සි සිය ගණනක් අතරින් එකක් පමණි. මෙම ලිපියෙන් හඳුන්වාදෙනු ලබන්නේ දැනට ලෝකයේ වැඩිම ජනප්‍රියතාවයක් පවතින සහ විශේෂඥයන් අනාගතයේ වැඩිම මිල වර්ධනයක් සටහන් කරනු ඇතැයි විශේෂඥයන් විසින් උපකල්පණය කරනු ලබන ක්‍රිප්ටෝ කරන්සි වර්ග කිහිපයකි.

BitCoin  

Satoshi Nakamoto නම් අන්වර්ථ නාමයකින් අන්තර්ජාලයේ පෙනී සිටි පුද්ගලයකු විසින අධ්‍යයන පත්‍රිකා කිහිපයක් සමඟ හඳුන්වා දෙනුලැබූ "බිට් කොයින්" ලොව මුල්ම ක්‍රිප්ටෝ කරන්සි වර්ගය ලෙසින් සැළකෙනවා. 2010 ජූලි වන දින, එකක් ඇමරිකන් ඩොලර් 0.008ක වටිනාකමක් මත පළමු වරට හුවමාරු වූ බිට් කොයින් එකක අද වෙළෙඳපොල වටිනාකම ඇමරිකානු ඩොලර් 11,000 ඉක්මවා යනවා. එනම් වසර දහයකට අඩු කාලයක් තුළ බිට් කොයින් වටිනාකමෙහි සමස්ථ වර්ධනය 1,375,000 ගුණයක්.  

තවත් පැහැදිලිව කියනවා නම් යම් පුද්ගලයකු 2010දී ඇමරිකන් ඩොලර් 01කට සරිලන බිට්කොයින් මිලදී ගත්තා නම් එහි අද අගය ඩොලර් 1,375,000ක් වෙනවා. මෙම දැවැන්ත වර්ධනය ඉදිරි කාලයේදී අපේක්ෂා කල නොහැක්කක් වන නමුත් බිට් කොයින් වටිනාකමෙහි තව දුරටත් සැලකිය යුතු වර්ධනයක් ඉදිරි වසර පහ තුළත් පැවතිය හැකි බව විශේෂඥ මතයයි.

Ripple XRP  

ඇතැම් විශ්ලේෂකයන් විසින් ක්‍රිප්ටෝ කරන්සි වර්ගවල ඇති වාසියක් ලෙසින් සලකන දැනට භාවිත මුදල් වර්ග සහ බැංකු ක්‍රම සමග සෘජුව සම්බන්ධ නොවීමේ හැකියාව තවත් විශ්ලේෂකයන්ට අනුව ක්‍රිප්ටෝ කරන්සි වලට ඇති විශාලතම අවාසියයි. Google සමාගමේද ආයෝජනයක් සහිතව ආරම්භ වූ රිපල් සමාගම විසින් නිකුත් කරන ලද XRP නම් ඩිජිටල් මුදල් වර්ගය මෙම අවධානම සඳහා දැනට යෝජනා වී ඇති හොඳම විසඳුමක්.  

විශේෂයෙන්ම රිපල් ආයතනය විසින් හඳුන්වා දී ඇති තාක්ෂණය අනුව බැංකුවකින් බැංකුවකට මුදල් හුවමාරු කිරීම වැනි කටයුතු අද පවතින තත්ත්වයටත් වඩා බෙහෙවින් පහසු කිරීමේ හැකියාවක් පවතිනවා. දැනට JP Morgan, American Express ඇතුළු ලොව පුරා බැංකු සහ මූල්‍යායතන 100කට අධික සංඛ්‍යාවක් සමග ගිවිසුම් ගතවී ඇති රිපල් ආයතනයේ XRP මුදල් ඒකකය බොහෝ විශ්ලේෂකයන් විසින් නුදුරු අනාගතයේ අධික වර්ධනයක් අත්කර ගනු ඇතැයි විශ්වාස කෙරෙන මුදල් වර්ගයක්.  

Ethereum  

රිපල් සමාගම මෙන්ම Block Chain තාක්ෂණය යොදාගනිමින් මුදල් වෙළෙඳපොලට සම්බන්ධ වී තිබෙන එතූරියම් යනුත් ක්‍රිප්ටොකරන්සි වර්ග අතරින් තීර්ණාත්මක තැනක් ගන්නා මුදල් වර්ගයක්. Intel, Microsoft, JP Morgan වැනි සමාගම් වලත් අනුග්‍රහය මත ක්‍රියාත්මක වන Ethereum පවා විශේෂයෙන්ම යොදා ගනු ලබන තාක්ෂණය නිසා ඉදිරියේදී වැඩි වශයෙන් අගය වැඩි වනු ඇතැයි උපකල්පණය කෙරෙන මුදල් වර්ගයක්.

මේ ඉහතින් සඳහන් කලේ ක්‍රිප්ටෝ කරන්සි වෙළෙඳපොළේ වැඩි වශයෙන් අවධානය යොමු වී ඇති මුදල් වර්ග තුනක් සම්බන්ධයෙන් පමණයි. දැනටත් මීට අමතරව මුදල් වර්ග සිය ගණනක් එම වෙළෙඳ පොළෙහි පවතින අතර ඉදිරියට තවත් මුදල් වර්ග හඳුන්වා දීමට නියමිතයි. කෙසේ නමුත් ක්‍රිප්ටෝ කරන්සි යනු ලෝක මූල්‍ය වෙළෙඳපොලේ ඉදිරි අනාගතයයි.

[රවීෂ තිලකවර්ධන]

ස්තූතිය : චමල්ක අල්විස්ට  

 

මාතෘකා