අහිමි වීම, ජයග්‍රහණය සඳහා අභියෝගය කර ගැනීම | ඇස පාදන රැස


අහිමි වීම, ජයග්‍රහණය සඳහා අභියෝගය කර ගැනීම

 ඡායාරූපය:

අහිමි වීම, ජයග්‍රහණය සඳහා අභියෝගය කර ගැනීම

මේ ලෝකෙට ඉපදෙන්නත් කලින්, ඒ දරුවා හදාවඩා උස් මහත් කරන්නෙ නැහැ. කියලා දෙමවුපියන් විසින් තීරණය කරන දරුවෙක්.. ඒ දෙමවුපියන්ගෙන් එම දරුවාව ඉල්ලා හදා ගන්නා, දුප්පත් දෙමවුපියන්ගේ මුදලින් ඉගෙන ගෙන කැම්පස් ගියාට පස්සේ දෙමවුපියන්ගෙන් සල්ලි ඉල්ලන්න බැරිකමට කන්න බොන්නත් යාලුවන්ගෙන් ඉල්ල ගන්න, ඒ අතරෙදි සතියකට එක දවසක් හරි හොඳ කෑම වේලක් කන්න තියෙන ආසාවට හැතැප්ම හතක් දුර තියෙන, දුප්පතුන්ට හිඟන්නන්ට කෑම බෙදන පන්සලකට පයිං ඇවිද ගෙන යන තරුණයෙක්.

හිතා ගන්න පුලුවන්ද ඒ වගේ වේදනාවක් ගැන? ඒ වගේ වේදනා විඳින මිනිස්සු ලෝකෙ ඕනෙ තරම් ඉන්නවා. ඒත් මේ කියන්නෙ කුසේ වැලි ඇටයක් තැන්පත් කරගෙන ඉවසගන්න බැරි වේදනාවක් විඳලා ලෝකයට මුතු ඇටයක් දෙනවා කියලා මිත්‍යාවක තියෙන මුතු බෙල්ලෙක් වගේ ඒ වේදනාවල් ආධ්‍යාත්මය තුළ පැසවද්දි නැගෙන උණුසුමෙන් මුතු අහුරක්ම බිහි කරලා ලෝකයට දායාද කරපු අපූරුම මනුස්සයෙක් ගැන. මේ කියන්නෙ ඔබ Apple පරිගණකය ගැන, Apple I Phone ගැන, I pad, I pod ගැන අහලා තියෙනවා නං ඒවා නිර්මාණය කරපු ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ගැන.

1950 දශකයේ මුල් භාගයේ ඇමරිකාවෙ විස්කොන්සින් යුනිවසිටියෙ. අබ්දුල් ෆටාහ් ජන්ඩාලි සහ ජොඈන් කැරොල් කියන තරුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සහ ශිෂ්‍යයා අතර වූ ප්‍රේම් සම්බන්ධයක් නිසා ජොඈන් හදිසි අනපේක්ෂිත ගැබ් ගැනීමකට ලක්වෙනවා. ඒත් ඒ ලැබෙන්න ඉන්න දරුවාව හදාවඩා ගන්න ඒ දෙපලම සූදානම් නෑ. ඉතින් ඔවුන් දරුවන් නැතිකම නිසා පසුතැවෙමින් ඉන්න යුවලකට මේ දරුවා හදාගන්න බාරදෙන්න තීරණය කරනවා. මෙතනදි ජොඈන් දරුවා හදාගන්න භාර ගන්න යුවළට එක කොන්දේසියක් දානවා. ඒ දරුවාට අනිවාර්යෙන්ම නිසි වයසේදි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදිය යුතුයි කියන එක. මුලින්ම ඒ කොන්දේසිය පිළිගෙන දරුවා භාරගන්න නීතිවේදී යුවලක් සූදානමින් සිටියත් දරුවා ලැබුණාට පසු ඔහු පිරිමි දරුවෙක් වීම නිසා තමා බලාපොරොත්තු වුණේ ගැහැනු දරුවෙක් බව කියමින් එම යුවළ දරුවා භාරගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සෙ දරුවා භාර ගන්න, මුණ ගැහෙන්නෙ දුප්පත් යුවළක්. විශාල වියදමක් සහිතව දරුවාට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීම අභියෝගයක් වූ යුවළක් වූවත් දරුවෙකුට ඇති ආසාව ආදරය නිසාම එම යුවළ ඒ කොන්දේසියත් එක්කම දරුවා හදාගන්න ගන්නවා.

ඉලෙක්ට්‍රොනික් විෂය ගැන අවිධිමත් දැනුමක් මෙන්ම විශාල ආශාවක් තිබුණ පෝල් ජොබ්ස් තමුන් හදා ගන්න ගත්ත දරුවා තමයි ස්ටීව් ජොබ්ස්. ඔහුට කුඩා කල ඉඳන්ම විවිධ ඉලෙක්ට්‍රොනික පරිපථ වගේ දේවල් හදන හැටි දන්න හැටියට කියල දෙන්න ෙදමාපියන් උත්සුක වුණා. මේ වැඩේ ගැන කුඩා ස්ටීව්ටත් තිබුණෙ ලොකු ආසාවක්. මේ කියන කාලෙ එක්දාස් නමසිය හැටේ දශකයෙ මුල, ඉලෙක්ට්‍රොනික් කියන විෂය ඇමරිකාවෙත් ගොඩක් දෙනෙක් හරියට හිතලවත් තිබුණ දෙයක් නෙමෙයි. කාලයක් යද්දී ස්ටීව්ට ඉස්කෝලෙදි යාළුවෙක් හම්බවෙනවා. එයාට වගේම හෝ ඊටත් වඩා ඉලෙක්ට්‍රොනික් වැඩ ගැන ආසාවක් උනන්දුවක් තිබුණ කෙනෙක්. පුදුමයකට වගේ ඒ යාලුවගේ නමත් ස්ටීව්. ස්ටීව් වොස්නියැක්.

මුල් කාලෙදි මේ ස්ටීව්ලා දෙන්නා එයාලගෙ ඉලෙක්ට්‍රොනික හපන්කම් යොදාගන්නෙ ප්‍රයෝජනවත් දේවලට නෙමෙයි. එයාලගෙ යාළුවන්ට ගුරුවරුන්ට එක එක ඉලෙක්ට්‍රොනික දේවල් හදලා අමාරුවෙ දාන්නෙ ප්‍රෑන්ක්ස් වලට.
ඒක ඒ කාලෙදි එයාලගෙ ඉස්කෝලෙ වටපිටාවෙ හිටපු හැමෝටම හරිම කරදරයක් වෙච්චි දෙයක්.

හදාගත් දෙමවුපියන්ට කරන දැඩිම බලපෑමකින් පස්සේ රීඩ් කොලේජ් එකට ඇතුළත් වුණත් ඔහු එහි අධ්‍යාපනය නිසි ලෙස හදාරන්නෙ නෑ. සෙන් බුදු දහම හැදෑරීමට වගේම ගංජා භාවිතයටත් දැඩි ලෙස ප්‍රිය කරන ඔහුට විශ්ව විද්‍යාලයේ උගන්වන විෂයයන් ඉතාම නීරස දේවල් විදියට දැනෙන්න පටං ගන්නවා. ඒ විදියට අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තත් සෙන් බුදු දහමෙන් සහ ගංජා භාවිතය හරහා ලැබුණු ආභාශය තමාගේ පසුකාලීන සාර්ථකත්වයට හේතු වුණ නිර්මාණශීලීත්වය සහ තීරණ ගැනීමේ හැකියාවට විශාල බලපෑමක් වූ බව ස්ටීව් නැවත නැවතත් ප්‍රකාශ කරනවා.

මේ කාලෙ වෙද්දි ජොබ්ස්ගෙ සහ වොස්නියැක්ගෙ අවධානය අපූරු ක්ෂේත්‍රයක් වෙත යොමුවෙනවා. ඒ තමයි, 'පර්සනල් කම්පියුටර්' එක. ඒ වෙද්දි ඇමරිකාවෙ බොහෝ තරුණ පිරිස් ලෝකයේ අනාගතය රැඳිලා තියෙන්නෙ පරිගණක තාක්ෂණය එක්ක බව අවබෝධ කර ගෙන ඒ වෙනුවෙන් තම තමුන්ට කළ හැකි දේවල් කරන්න තීරණය කරලා ඉවරයි. දියුණු රටවල තරුණ පරම්පරාවයි තුන්වෙනි ලෝකෙ නොදියුණු රටවල තරුණ පරම්පරාවයි අතර තියෙන ලොකුම වෙනසක් තමයි මේක.

ඒ අය මිනිස්සුන්ගේ අවශ්‍යතා අඩුපාඩු ගැන හිතලා ඒවා තෘප්ත කරන්න අලුතෙන් මොනවද කරන්න පුළුවන් දේවල් කියලා කල්පනා කරලා

ලෝකයට අලුත් දේවල් බිහිකරමින් මිනිස්සුන්ගෙ ජීවිත ලස්සන කරන ගමන්  සැප පහසු කරන ගමන් ලාභයකුත් උපයනවා. ලෝකය ඉදිරියට යනවා. මිනිස්සුන්ගෙ ජීවිත සැප පහසු වෙනවා. රැකියා උපදිනවා. රට සංවර්ධනය වෙනවා.ඒ අතරෙම තමුන්ටත් මුදල් ලැබෙනවා. ඒ කියන්නෙ කොහෙ හරි ගුබ්බෑයමක් අස්සට වෙලා "දඩයම් යුගයේ වැඩවසම් ක්‍රමවල සිට දේපොළ බෙදීයාමේ ක්‍රියාවලියට සාපේක්ෂව ගැහැනියගේ කාර්යභාරය කෙබඳු වීද?" වගේ බොරු කියමින් ඉන්න බුද්ධිමත් තරුණයො ඒ රටවල නැහැ කියන එක නෙමෙයි. ඒත් බහුතරය එහෙම නෙමෙයි. මිනිසාගේ ජීවිත ලස්සන කරන්න සැප පහසු කරන්න හෙට දවසේ අවශ්‍යතා මොනවද කියලා හොයන කොට හම්බු වෙන පර්සනල් කම්පියුටර් එක වෙනුවෙන් තරඟකාරී නිෂ්පාදන ඉදිරිපත් කරන්න එකල ඇමරිකානු තරුණ කණ්ඩායම් ඉදිරිපත් වෙන්නෙ මේ විදියටයි. අද ලෝකයේ පළමු ධනවතා විදියට ඉන්න බිල් ගේට්ස් පවා තමුන් හදාරමින් ඉන්න හාවර්ඩ් විශ්ව විද්‍යාල උපාධිය අත ඇරලා මේ තරඟයට බහින්නෙ ඒ නිසයි. උපාධිය ඉවර කරලා එන්න හිටියොත් වෙන අය ඇවිත් ඒ වැඩේ කලාට පස්සෙ තමුන්ට පටන්  ගන්න වෙන්නෙම පස්සෙන් බව වටහා ගෙන, ලෝකෙ හොඳම විශ්ව විද්‍යාලෙක උපාධියත්  අතරමඟ අත ඇරලා දාන්න තරම් බිල් ගේට්ස් අවදානමක් ගන්නවා. ඒකට කියන්නෙ කැල්කියුලේටඩ් රිස්ක් එකක් කියලා. සමහරවිට උපාධිය ඉවර වෙනකල් බලන් හිටියා නම්  බිල් ගේට්ස්ට කවදාවත් ලෝකෙ ලොකුම ධනවතා වෙන්න ලැබෙන්නෙ නෑ.

ඉතින් කොහොමහරි ස්ටීව් ජොබ්ස් වගේම ස්ටීව් වොස්නියැක් හඳුනා ගන්නවා එවකට භාවිතයට එමින් තිබූ පර්සනල් කම්පියුටර් උසස් තත්ත්වයේ ඒවා නොවන බවත් තමුන්ට ඊට වඩා තත්ත්වයෙන් උසස් පරිගණක නිපදවන්න පුළුවන් කම තියෙන බවත්. වොස්නියැක්ගේ තාක්ෂණික නිර්මාණශීලීත්වයත් ජොබ්ස්ගේ ව්‍යවසායකත්ව හැකියාවත් එක්කලා එයලා පටන් ගන්නවා අද ලෝක ප්‍රකට Apple සමාගම. මේකත් ව්‍යවසායකයෙක් වටහාගන්න ඕනෙ වැදගත්ම තැනක්. සමහර විට අපි යම් විෂයයකට කොතරම් දක්ෂයන් වුණත් ලෝකය ජයග්‍රහණය කරන්න අවශ්‍ය සියලුම දක්ෂතා අප සතුව නැති වෙන්න පුළුවන්. එහෙම වෙලාවට එවැනි දක්ෂයන් සමඟ එකතුවෙලා වැඩ කරන්න උත්සාහ කරන එක ගොඩක් ප්‍රතිඵලදායක වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ මේ කතාවෙ ස්ටීව් ලා දෙන්නා අතරින් තාක්ෂණික කාරණා වලට වැඩිපුරම දක්ෂයා වෙන්නෙ ස්ටීව් වොස්නියැක්. ඒත් ස්ටීව් ජොබ්ස් නැතුව වොස්නියැක්ට කවදාවත් ඇපල් වගේ සමාගමක් හදන්න වෙන්නෙ නැහැ කියල වොස්නියැක් කියනවා. එහෙමනම් අදටත් ඔහු විනෝදාංශෙට කොම්පියුටර් හදන ගමන් කොහේ හරි සමාගමක මාසයේ පඩියට ඉලෙක්ට්‍රොනික් වැඩ කරනවා.

මේ විදියට හදපු සමාගම විශාල ලාබ සහිතව ඉදිරියට ගෙනියන්න ඔවුන් සමත් වෙනවා. සමාගම වඩා පුළුල් කිරීමේදී වෙනත් ආයෝජකයන් දක්ෂයන් සමාගම වෙත එකතු කර ගන්නත් ඒ අයට සමාගමේ කොටස් ලබා දෙන්නත් ජොබ්ස්ට සිද්ධ වෙනවා. මේ කතාවෙ අපූරුම තැන එන්නෙ එතනදි. වොස්නියැක් එක්ක ස්ටීව් ජොබ්ස්ගෙ ගෙදර ගැරේජ් එකේ මේසයක් තියාගෙන කෑලි අමුණලා හදන්න පටන් ගත්ත ඇපල් සමාගම විශාල බහුජාතික සමාගමක් වුණාට පස්සෙ, 1988 දවසක ඒක හදපු ස්ටීව් ජොබ්ස් සමාගමෙන් එළියට දැමිය යුතුයි කියලා ඇපල් පාලනාධිකාරිය තීරණය කරනවා. ඒක තමා ලෝකයේ ක්‍රමය. ධනවාදයේ ස්වරූපය. ඔබට එරෙහි දේවලට යම් හෝ ඉඩ ප්‍රස්ථාවක් ලැබුණොත් ඔබ නිර්මාණය කළ සමාගමෙන්ම වුණත් ඔබව එළියට විසිවෙන්න පුළුවන්. ඒ වගේ තීරණාත්මක මොහොතක ඔබට ඉතුරු වෙන්නෙ විකල්ප දෙකයි.  පළවෙනි දේ වේදනාව දරාගන්න බැරුව පැත්තකට වෙලා හූල්ලමින් අඬ අඬා ඉන්න එක. සමාගමේ ගේට්ටුව ඉස්සරහට ගිහිල්ලා උපවාස කරන එක. දෙවෙනි විකල්පය ඒක ලෝක ස්වභාවය බව වටහා ගෙන පරාජය භාර නොගෙන වෙනත් නිර්මාණශීලී ක්‍රමයකට සටන් කරන එක. බිමටම වැටුණත් බින්දුවක් පසු තැවෙන්නෙ නැතුව නැගිටලා ආපහු ගහන එක.

තමුන්ගෙම නිර්මාණශීලීත්වයෙන් වැර වෑයමෙන් ගොඩනගපු සමාගමෙන් තමා එළියට විසිවුණාට පස්සේ ස්ටීව් ජොබ්ස් කරන්නෙ තමුන්ගේ "ඊළඟ" සැලසුම Next සමාගම අරඹන එක. කාලයක් තිස්සේ ඔහු ඒක කොතරම් හොඳට වර්ධනය කළාද කියනවා නම් තරඟකාරීත්වය වැඩි වෙද්දී Next සමාගම මිලදී ගන්න Apple සමාගමට සිද්ධ වෙනවා. ස්ටීව් ජොබ්ස් යළිත් වරක් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත්වෙනවා.

ව්‍යවසායකයෙක් වෙන්න වගේම සාර්ථක ජීවිතයක් ගත කරන්න කැමති ඕනෙම කෙනෙකුට හදාරන්න, ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙන චරිතයක් තමයි Steve Jobs. වැඩිදුර තොරතුරු අවශ්‍ය කෙනෙකුට වෝල්ටර් අයිසැක්සන් විසින් ලියන ලද, 'ස්ටීව් ජොබ්ස්' කෘතිය හොයාගෙන කියවන්න පුලුවන්.

[රවීෂ තිලකවර්ධන]

මාතෘකා