ඔබව අලෙවි කරගන්න

 ඡායාරූපය:

ඔබව අලෙවි කරගන්න

වර්තමාන සමාජය බොහෝ අවස්ථාවලදී අලෙවිකරණය දකින්නේ භාණ්ඩයක් හෝ සේවාවක් කෙසේ හෝ විකිණීමක් ලෙසය. ගෙයින් ගෙට පැමිණෙන විකුණුම් නියෝජිතයෙක් කෙසේ හෝ තමන්ගේ භාණ්ඩය ගෘහ මුලිකයාට හෝ ගෘහණියට විකිණීමට තැත් කිරීමක් අලෙවිකරණය ලෙස හැඳින්වීමට ලාංකික සමාජය බොහෝ විට පෙළඹෙයි. නමුත් අලෙවිකරණය යනු “විකිණීම” (Sales) හෝ ඔබට බොහෝ විට දක්නට ලැබෙන පුද්ගලයන් යොදා ගෙන ගෙයින් ගෙට ගොස් කරන විකුණුම් ප්‍රවර්ධනය (sales promotions) නොවෙයි. අලෙවිකරණය හුදෙක් “බලෙන් ඇඟේ ගැසීමකට” (aggressive/forceful selling) එහා ගිය සංකීරණ ක්‍රියාවලියකි. වඩාත් සරලවම එය හුදෙක් ව්‍යාපාරික ක්‍රියාවලියකින් එහාට ගිය සාමාජීය ක්‍රියාවලියක් (social process) දක්වා පැතිර ගිය ප්‍රස්තුථයකි.  

අද කතාබහ අලෙවිකරණය යනු කුමක්ද යන්න නොවෙන නමුත් ලාංකීය සමාජය තුළ අලෙවිකරණය ස්ථානගතවී ඇති වැරදි අකාරය පිළිබඳ මුලින් අදහස් දැක්වීමක් සිදු කිරීමට යොමු වූයේ කතා බහ කරන්නට යන මාතෘකාවට පූර්විකාවක් ලබා ගැනීමටය. මාතෘකාව ඔබ ඔබව අලෙවි කරගන්නේ කෙසේද යන්නයි. ඔබ, ඔබව අලෙවිකරණය කිරීම යනුවෙන් හඳුන්වන්නේ ඔබ ඔබවම විකිණීම නොවන බවත් එය ඉන් ඔබ්බට ගිය ක්‍රියාවලියක් බවත් ප්‍රථමයෙන් අවධාරණය කළ යුතුය. මෙම සංසිද්ධිය අලෙවිකරණයෙදී හැඳින්වෙන්නේ Personal Branding ලෙසය. සරලවම ඔබ බාහිර සමාජයට ඔබව ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ කෙටියෙන් කතා බහ කිරීමට මෙහිදී අදහස් කරයි.  

සමාජය තුළ හැසිරෙන, ජීවත් වන ඔබ සෑම අවස්ථාවකදීම විවිධ වූ පාර්ශ්ව සමඟ ගනුදෙනු සිදු කරනු ලබයි. ඒ ගනුදෙනු මුල්‍යමය ගනුදෙනු (financial transactions) සහ ඉන් ඔබ්බට ගිය හැගීම් ගනුදෙනුවක් (emotional transactions) දක්වා විසිරෙනු ලබයි. උදාහරණයක් ලෙස ඔබ ඔබේ දෙමාපියන් සමඟ ඇති ගනුදෙනුව හැගීම් ගනුදෙනුවකි. ඔබ ඔබේ යාළු මිත්‍රයන් සමඟ ඇති ගනුදෙනුව මූල්‍යමය ගනුදෙනුවකින් එහා ගිය හැගීම් ගනුදෙනුවකි. ඔබ මිත්‍රත්වයේ හැගීම ඔහුට ලබා දෙන අතර ඔහුගෙන් එවෙනීම සමාන හැගීමක් බලාපොරොත්තු වෙයි. ඉතින් මෙම පාර්ශ්ව අලෙවිකරණයේදී හැඳින්වෙන්නේ ඇල්ම ඇති පාර්ශ්ව (stakeholders) ලෙසය. ඇල්ම ඇති පාර්ශ්ව යනු ඔබ සම්බන්ධයක් සොයා බලන්නන්ය. මෙය ඔබේ දෙමාපියන්ගෙන් ආරම්භ වී සමස්තයක් ලෙස පොදු බාහිර සමාජය දක්වා පුළුල් පරාසයක විහිදෙයි. මෙම විවිධ ඇල්ම ඇති පාර්ශ්ව අතර ඔබ ඔබව ස්ථානගත කිරීම personal branding ලෙස හඳුන්වනු ලබයි.   

ඔබ සෙසු සමාජය අතර ස්ථානගත වීමට නම් ඔබටම වෙන්වූ විශේෂත්වයක් ඔබ ඇති කරගත යුතුය. මෙය අලෙවිකරණයේදී Point of Difference ලෙස හඳුන්වනු ලබයි. සරලවම මෙය නම් බාහිර පාර්ශ්ව ඔබ හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් ඔබ තුළ ගොඩ නගා ගැනීමයි. මහත්මා ගාන්ධි තුමා “අවිහිංසාවේ” ප්‍රතිමූර්තිය ලෙසද, තෙරේසා මවුතුමිය “අන්‍යන්ට උපකාර කිරීමේ” දිරිය කාන්තාව ලෙසද, සචින් තෙන්ඩුල්කාර් ක්‍රිකට් ක්‍රීඩාවේ “දෙවියාද” ලෙස මිනිසුන්ගේ හිත තුල පැළපදියම් වී ඇත්තේ ඔවුන්ටම වෙන්වූ විශේෂත්වයක් ඔවුන් ඇති කරගත් නිසාය. එලෙසම ඔබද ඔබ තුළ යම් කැපී පෙනෙන විශේෂත්වයක් (distinctive value) ගොඩ නගා ගත යුතුය. ඔබ කවරෙක් විය යුතුද (who I am? What I am?) යන්න පිළිබඳව ඔබ තුළ පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. එම විශේෂතාව බොහෝ දෙනෙකුගේ (majority) හිත්වල පැළපදියම් වන ආකාරයට ලබා දිය හැකි නම් ඔබ සාර්ථක අලෙවිකරුවෙකි. මඳකට සිතන්න. ඔබ සාර්ථක අලෙවිකරුවෙක්ද?

ඔබ, ඔබ පිළිබඳ, ඔබ කවුරුන් විය යුතුද (whom do I want to become) පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත් පසු ඊළඟට ක්‍රියාවලියේ වඩාත්ම බැරෑරුම් කර්තව්‍ය දෙස අපි යොමුවෙමු. එනම් මෙම විශේෂත්වය ඔබ ඇල්ම ඇති පාර්ශ්වයන්ගේ හිතවලට කාවද්දවන්නේ කෙසේද යන්නයි. වඩාත්ම වැදගත් කරුණ වන්නේ ඔබ සිදුකරන සෑම ගනුදෙනුවකදීම ඔබ යමක් සන්නිවේදනය (communication) කරන බව අවධාරණය කර ගැනීමයි. ඔබේ කතා බහ මෙන්ම, ඔබේ හැසිරීම, ක්‍රියාව, ඔබ සිදුකරනු ලබන කර්තව්‍යන් ඔබ පිළිබඳව බාහිර සමාජයට සංඥා සහ පණිවිඩ (messages) නිකුත් කරන බව මතක තබා ගැනීම වැදගත්ය. සරලවම ඔබ බාහිර සමාජය හා ගැටෙන සෑම අවස්ථාවක්ම ඔබට වැදගත් අවස්ථාවක් විය යුතුය. මක්නිසාද යත් ඒ සෑම අවස්ථාවකදීම ඔබ ඔබව අලෙවිකරණය කර ගනී. ඔබ අනෙක් පුද්ගලයන් හට ලබා දෙන අව්‍යාජ මද සිනහව, ඔබ හිමිදිරි උදෑසන මුමුණන “සුබ උදෑසනක් වේවා” “ආයුබෝවන්” වැනි වචනද පවා ඔබ ගැන බාහිර සමාජයට කියා පාන්නා වූ සන්නිවේදන උපාංග වේ. මදකට සිතන්න. එසේ නම් ඔබත් සාර්ථක අලෙවිකරුවෙක්ද?  

තරගකාරීත්වය මත පදනම් වූ ධනේශ්වර සමාජ රටාවක සිටින ඔබට මෙයද (personal branding) තවත් එක් ප්‍රයෝගයක් ලෙස හැඳින්වීමට හෝ භාවිතා කිරීමට හැකි නමුත් මේ කතා බහ ප්‍රයෝගයකට එහා ගිය සමාජ සුබසිද්ධිය සඳහා වූ අවංක උත්සාහයක් දෙස යොමු කිරීමට හැකි නම් එය අතිශයින්ම වැදගත්ය. වේගයෙන් ඇදී යන ඇම්බියුලන්ස් රථය පිටුපසින් වේගයෙන් තමන්ගේ රිය ධාවනයට යොමු වන සමාජයක, මදකට පසෙකට රථය ධාවනය කර ඇම්බියුලන්ස් රථයේ ගෙනයන රෝගියාට සුවපත් වීමට අවංක ප්‍රාර්ථනාවක් කිරීමට ඔබ personal branding යොදා ගන්නේ නම්, මනුෂ්‍යත්වය ලෝකය තුළ නොනැසී ඉදිරියට යාවි. අනෙකා දෙස තරඟකරුවකු ලෙස නොව හිතමිතුරෙකු ලෙස සලකා මුණ ගැසුණු අවස්ථාවකදී  “කොහොමද මචං” ලෙස අමතා සුව දුක් විමසීමට ඔබ personal branding යොදා ගන්නේ නම් ලෝකය මීට වඩා යහපත් තැනක් වෙන බව නොඅනුමානය. මඳකට සිතන්න. ඔබත් සාර්ථක අලෙවිකරුවෙක්ද? 

කථිකාචාර්ය [අමින්ද ලක්මාල්]

මාතෘකා