'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් සාර්ථකත්වය ලැබූ තවත් ව්‍යවසායකයෙක්

 ඡායාරූපය:

'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් සාර්ථකත්වය ලැබූ තවත් ව්‍යවසායකයෙක්

ව්‍යාපාරයක සාර්ථකත්වයට බලපාන කරුණු අතර නිසි මූල්‍ය කළමනාකරණයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. නිසි මූල්‍ය කළමනාකරණය තුළින් ව්‍යාපාරය සාර්ථකත්වයට පත්කරගත් ව්‍යාවසායකයන්ගේ ජීවන පුවත් කිහිපයක්ම ඔබ මේ වන විටත් 'දිලෙන පහන්' තුළින් කියවා තිබේ. මෙවර 'දිලෙන පහන්' අතරේ ලියැවෙන්නේ දෙහිඕවිට Shinny කෘත්‍රිම දත් සැකසීමේ ව්‍යාපාරයේ සාර්ථකත්වය පිළිබඳ කතාවයි. එම ආයතනයේ හිමිකරු වන්නේ ආර්.එම්. සුමනරත්න මහතාය. ඔහු සමඟ එම ව්‍යාපාරයට උරදෙන ඔහුගේ දියණිය නිරෝෂා මධුවන්ති මෙවර අපගේ කතාබහට එක්වන්නීය.

මෙම ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳ සිහිකරනවා නම්?

මීට වසර තුන හමාරකට පමණ පෙරයි අපි මේ ව්‍යාපාරික ස්ථානය ආරම්භ කළේ. ඊට පෙර සිටම මගේ පියා මෙම කෘත්‍රිම දත් සෑදීමේ නිරත වුණා. ඔහුට ඒ සම්බන්ධයෙන් වසර 35ක පමණ පළපුරුද්දක් තිබෙනවා. පියා ඒ දිනවල කෘත්‍රිම දත් දත් සෑදීම සිදුකළේ දන්ත වෛද්‍යවරුන්ගෙන් ලැබෙන ඇනවුම්වලට අනුවයි. ඒ වගේම ඒ කාලයේ පියා වෙනත් අයගේ දත් බැඳීමේ රසායනාගාරවල සේවය කළා. මමත් අයියාත් ඉගෙනීමේ කටයුතුවල යෙදෙන නිසා පියාට වෙනමම ව්‍යාපාර ස්ථානයක් පවත්වාගෙන යාමට ඒ කාලයේ හැකියාවක් සහ නිදහසක් තිබුණේ නැහැ. නමුත් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව මම පියාගේ ව්‍යාපාරයට සම්බන්ධ වීමට අදහස් කළා.

ඉන්පසුව ව්‍යාපාරය තුළ සිදුවූ වෙනස්කම් මොනවාද?

කුඩා වියේ සිටම මට මේ ව්‍යාපාරය ගැන උනන්දුවක් සහ කැමැත්තක් තිබුණා. උසස්පෙළ විභාගයට මම පෙනී සිටියේ විද්‍යා අංශයෙන්. තාත්තා වෙනමම ලැබ් එකක් පටන් ගත්තට පස්සේ මමත් කෘත්‍රිම දත් සෑදීම පිළිබඳ හැදෑරීමක් කරලා වෘත්තීමය සුදුසුකම් සම්පූර්ණ කරගත්තා. ලැබ් එකේ වැඩ කරගෙන යන අතරේ තමයි මට හිතුණේ ව්‍යාපාරය තවදුරටත් දියුණු කරගත යුතුයි කියලා. ඒ අවස්ථාවේදි තමයි තාත්තාත් මමත් තීරණය කළේ අපිට මූල්‍ය ශක්තියක් අවශ්‍යයි කියලා.

'DFCC සහය' ක්ෂුද්‍ර ණය ක්‍රමය ඔබේ ව්‍යාපාරයට අත්වැලක් වුණේ කොහොමද?

ඒ අවස්ථාවේදී DFCC බැංකුවෙන් ලැබුණු සහයෝගය ගැන විශේෂයෙන් කිව යුතුමයි. ව්‍යාපාරය දියුණු කරගැනීම ගැන හිතනකොට අපිට පැන නැඟුණු මූලික අවශ්‍යතාව තමයි 'ඩෙන්ටල් වෙයාර්' එකක් මිලදී ගන්න එක. නමුත් ඒ සඳහා ලක්ෂ ගණනක මුදලක් දැරිය යුතු වුණා. ඒ සඳහා තමයි අපිට ණය මුදලක් ගන්න අවශ්‍ය වුණේ. මම DFCC අවිස්සාවේල්ල ශාඛාවට තමයි අපේ ණය ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළා. ඔවුන් අපේ ව්‍යාපාරික අවශ්‍යතාව හොඳින් හඳුනාගෙන රුපියල් ලක්ෂ හතරහමාරක ණය මුදලක් ලබාදුන්නා. අපට ඒ ණය මුදල විශාල සහනයක් වුණා.

නවක ව්‍යවසායිකාවක ලෙස DFCC බැංකුව තුළින් ඔබ දුටු විශේෂත්වය කුමක්ද?

DFCC බැංකුවට අපේ ණය යෝජනාව ඉදිරිපත් කරන්න කලින් මම වෙනත් බැංකුවලිනුත් ණය ගන්න ආකාරය ගැන විමසා බැලුවා. නමුත් ඒ හුඟක් බැංකුවල ක්‍රමවේදය බලනකොට අපිට ණය ගැනීම කියන්නේ ඉතාම දුෂ්කර දෙයක් බව වැටහුණා. ව්‍යාපාරිකයන් විදිහට අපිට ණය මුදලක් ගැනීමට වැඩි කාලයක් වැය කරන්න බැහැ. අපි ඒ දේවල්වලට යොමුවීම නිසා ආයතනය වසා තබන පැය කිහිපයක් නිසා වුවත් දෛනිකව විශාල පාඩුවක් සිදුවනවා. නමුත් DFCC බැංකුව කියන්නේ ව්‍යාපාරික අවශ්‍යතා හොඳින් තේරුම් ගත් බැංකුවක්. අපිව රස්තියාදු නොකර ඉතා පහසුවෙන් සහ කඩිනමින් ඔවුන් අපිට ණය මුදල ලබාදුන්නා. අත්‍යවශ්‍ය ලියකියවිලි කිහිපයක් පමණක් ලබාගනිමින් ඉතා ඉක්මනින් ණය මුදල ලබාදීමට කටයුතු කිරීම තුළ අපිට විශාල පහසුවක් සැලසුණා. ඒ වගේම DFCC කියන්නේ ණය මුදලක් ලබාදීලා එතැනින් ගනුදෙනුකරුවාව අතහරින බැංකුවක් නෙවෙයි. ඔවුන් අපේ ව්‍යාපාරයේ දියුණුව පිළිබඳ පසු විපරම් පවා සිදුකරනවා. මම හිතන්නේ නවක ව්‍යවසායකයන්ට පවා DFCC බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් බය නැතිව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම DFCC බැංකුව කියන්නේ ඉතා විශ්වාසනීය බැංකුවක්. ඒ නිසා අපිට DFCC බැංකුව එක්ක ගනුදෙනු කිරීමට කිසිම බයක් නැහැ.

ඔබේ ව්‍යාපාරයේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

තවදුරටත් ව්‍යාපාරය පුළුල් කරගැනීම තමයි තාත්තාගේත් මගේත් අපේක්ෂාව. ඒ වගේම මෙවැනි දත් බැඳීමේ ආයතන කිහිපයක් විවෘත කිරීමේ බලාපොරොත්තුවකුත් තිබෙනවා.

යොවුන් ව්‍යවසායිකාවක ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන කාන්තාවන්ට ඔබට දිය හැකි පණිවුඩය කුමක්ද?

මම හිතන්නේ ස්ත්‍රී පුරුෂ භේදයක් නැතිව කවුරු වුණත් කෙනෙක් යටතේ රැකියාවක් කරනවාට වඩා තමන්ගේම ව්‍යාපාරයක් කිරීම ඉතාම වැදගත්. එයින් ආදායම් මට්ටමක ඉහළ නංවාගත හැකියි වගේම ස්වාධීනත්වයක් සහ නිදහසක් ලැබෙනවා. තමන්ට හැකියාව සහ දැනුම ඇති ක්ෂේත්‍රයක් තෝරාගෙන ව්‍යාපාරයක් පටන් ගැනීමට බියවිය යුතු නැහැ. එවැනි අයට DFCC බැංකුව වැනි විශ්වාසනීය බැංකුවක සහාය ලබාගැනීමටත් හැකියාව තිබෙනවා.

[සුරේකා නිල්මිණී

---------------------

'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය කෙටි කලක් තුළ ව්‍යාපාරිකයන් අතර විශාල ජනප්‍රියතාවක් ලබා තිබෙනවා"

පුබුදු ගිනිගේ - කළමනාකරු - DFCC අවිස්සාවේල්ල ශාඛාව

රුවන්වැල්ලේ පදිංචි සුමනරත්න මහතාටත් ඔහුගේ දියණියටත් ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් සහාය ලබාදුන්නේ DFCC බැංකුවේ අවිස්සාවේල්ල ශාඛාවයි. 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් මේ වන විට කුඩා ව්‍යසායකයන් රැසකට මූල්‍ය ශක්තිය ලබාදී තිබෙන අවිස්සාවේල්ල DFCC බැංකු ශාඛාවේ කළමනාකරු පුබුදු ගිනිගේ මහතාගෙන් අපි ඒ පිළිබඳ වැඩි විස්තර විමසුවෙමු.

දෙහිඕවිට Shinny කෘත්‍රිම දත් සැකසීමේ ව්‍යාපාරය ඉදිරිපත් කළ ණය ව්‍යාපෘති යෝජනාවට 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් සහයෝගය ලබාදුන්නේ කොහොමද?

ඔවුන්ගේ ණය ව්‍යාපෘති යෝජනාව අපේ ශාඛාවේ 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ සහකාර බැංකු නිලධාරි රන්ජන් හෙට්ටිආරච්චි මහතාගේ පූර්ව අධ්‍යයනයට ලක්වුණා. ඒ අනුව එම ව්‍යාපාරය තුළ අප විශේෂ වටිනාකම් කිහිපයක් හඳුනාගත්තා. පළමුවැන්න එවැනි ව්‍යාපාර දුර්ලභයි. එවැනි ආයතනයකින් ප්‍රදේශයට විශාල සේවයක් ඉටු වෙනවා. ඊළඟ කාරණය එම ආයතනයේ හිමිකරු සුමනරත්න මහතා අවුරුදු 35කට වැඩි කාලයක් තිස්සේ කෘතිම දත් සෑදීම සම්බන්ධයෙන් පළපුරුද්දක් සහ අත්දැකීම් සහිත අයෙක්. ඒ වගේම ඔහුගේ ව්‍යාපාරික හවුල්කරු වන දියණියත් මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කළ කෙනෙක්. ඒ කරුණු සියල්ල අධ්‍යයනය කිරීමෙන් පසු අපි තීරණය කළා ඔවුන්ට රුපියල් ලක්ෂ හතරහමාරක ණය මුදලක් ලබාදීමට.

ඒ අනුව අපි ඉතා කඩිනමින් ඔවුන්ට ඒ ණය මුදල ලබාදුන්නා. එම ණය මුදලින් ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාව ඉටුකරගෙන මේ වන විට ඉතා සාර්ථකව ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඒ පිළිබඳ අපි ඉතා සතුටට පත්වනවා.

'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යටතේ ඔබ බැංකු ශාඛාවෙන් මූල්‍ය සවිය ලැබූ කුඩා ව්‍යවසායකයන් ගැන වැඩි විස්තර සඳහන් කරනවා නම්?

මේ වන විට 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් විවිධ ක්ෂේත්‍රවල කුඩා ව්‍යවසායකයන් රැසක් අප සමඟ සම්බන්ධ වී සිටිනවා. ඒ අතර රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ, කෘෂි ක්ෂේත්‍රයේ මෙන්ම සිල්ලර වෙළඳාමේ නියුතු විශාල පිරිසක් සිටිනවා.

ණය මුදලක් ලබාදීමට අමතරව 'DFCC සහය' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් ව්‍යවසායකයන්ට ලබාදෙන ප්‍රතිලාභ මොනවාද?

මෙම ණය ක්‍රමය ආරම්භ කළේ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින අය කුඩා පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්මයි. නමුත් ණය මුදලක් ලබාදීම ඉක්මවා ගිය සහයෝගයක් මෙම ණය ක්‍රමය තුළින් අප ඔවුන්ට ලබාදෙනවා. ඒ වගේම මූල්‍ය ශක්තිය වගේම ව්‍යාපාරයක සාර්ථකත්වයට ඉතා වැදගත් වන මූල්‍ය කළමනාකරණ උපදෙස්, නව බැංකු ක්‍රම, නීතිරීති පිළිබඳ පවා අපි අපේ ගනුදෙනුකරුවන් දැනුවත් කරනවා. ව්‍යවසායකයන් සඳහා අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශකත්වය යටතේ 'DFCC සහය හමුව' නමින් එක්දින වැඩමුළු පවත්වනවා. එහිදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ ව්‍යවසායකයන්ට දැනුම ලබාදෙනවා. අවිස්සාවේල්ල ශාඛාව මෑතකදී පැවැත්වූ එම වැඩමුළුවට 150කට වැඩි පිරිසක් සහභාගි වුණා. විශේෂයෙන් අලුතින් ව්‍යාපාරයක් පටන්ගන්න කෙනෙකුට ඒ තුළින් ලැබෙන මඟපෙන්වීම ඉතා වැදගත්. මම හිතන විදිහට බොහෝ කුඩා ව්‍යවසායකයන් විශ්වාසයන් යුතුව 'DFCC සහය ' ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුලින් ණය ගැනීමට යොමුවන්නේ බැංකුවෙන් ලැබෙන ඒ සහයෝගය නිසයි.

 

මාතෘකා