මොනවද මේ 'බිට් කොයින්'?

 ඡායාරූපය:

මොනවද මේ 'බිට් කොයින්'?

[රවීෂ තිලකවර්ධන]

ඩොලර් බිලියන ගණං වටිනා පීසා ඩිලිවරි එකක් ගැන අසා තිබේද? ප්‍රායෝගික මූල්‍ය වටිනාකම අනුව ඉතාම දුර්ලභ දෙයක් වුවත් Bit Coin වල මිල ඉහළ යාම පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට නම් මේ පුදුම වීමට කාරණයක් නොවේ.  
ක්‍රිප්ටෝකරන්සි  (ඩිජිටල් මූල්‍ය) අතුරින් ප්‍රථමය වන Bit Coin (බිට්කොයින්) 2009 තරම් ඈත කාලයකදී නිර්මාණය වී ඇත. ‘සටෝෂි නකමොටෝ’ යන අන්වර්ථ නාමයකින් පෙනී සිටි පුද්ගලයකු විසින් අන්තර්ජාලයට මුදාහරින ලද Bit Coin නමැති සංකල්පය අද වනවිට ලෝකයේ පැවති මූල්‍ය පිළිබඳ න්‍යායන් විතරක් නෙමෙයි සම්ප්‍රදායික නීති රීති පවා දැඩිව අභියෝගයකට ලක් කර අවසානය.


මොනවද මේ ක්‍රිප්ටෝ කරන්සි? මොනවද මේ බිට්කොයින්? මුල් කාලයේදී සරළ ‘ඉන්ටර්නෙට් ගේම්’ හරහා ජයග්‍රහණය කළවිට Bit Coin කිහිපයක් ලබා ගැනීමට හැකියාව ලැබුණි. මුලිනම පීසා ඩිලිවරි වෙනුවෙන් බිට්කොයින්වලින් මුදල් ගෙවීමේ හැකියාව ලබා දුන් ආයතන ඒ වෙනුවෙන් බිට් කොයින් දහස් ගණනක් අය කරනු ලැබීය. අද වනවිට එහි මූල්‍යමය වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන ගණනක් බවට පත් වී අවසානය.


තවමත් ලෝකයේ මුදල් වශයෙන් වැඩිපුර භාවිතා වෙන්නේ ඩොලර්, රුපියල්, යූරෝ වගේ ස්පර්ශ කළ හැකි (tangible) මුදල් වර්ග වේ. මූල්‍ය වෙළෙඳපො‍ෙළ් ඒවාට ඇති වටිනාකම ඒවා පදනම් වූ රටේ වත්කම් ප්‍රමාණය සාධක මතත් රැඳී පවතියි.
Pay Pal, E Wallet වගේ ක්‍රමවේදයන් හරහා ඩිජිටල් තාක්ෂණයෙන් මුදල් සංසරණය වූවත් ඒ හැම ක්‍රමයකදිම වන්නේ සාම්ප්‍රදායික මුදල්වලට ඩිජිටල් භාවයක් ලබාදීම පමණය.


නමුත් ‘ක්‍රිප්ටෝකරන්සි’ සම්පූර්ණයෙන්ම වෙනස් සංකල්පයකි. මේවා කිසිම සාම්ප්‍රදායික මුදල් වර්ගයක් සමග සෘජුව ගැටගැසී නැත. එමෙන්ම පවතින කිසිම රාජ්‍යයක් සමග සෘජු සම්බන්ධයක්ද නැත. තවද බහුතර ක්‍රිප්ටෝකරන්සි වර්ග සාම්ප්‍රාදායික බැංකු සමඟත් සෘජු සම්බන්ධයක් පවත්වන්නේද නැත.


මින් පැහැදිලි වන්නේ ක්‍රිප්ටෝකරන්සි යනු සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය සංසරණ මාධ්‍යය කරගත් මුදල් ඒකක බවය. මේ අතරින් මුල්ම සහ ජනප්‍රියම මුදල් ඒකකය බිට් කොයින් නමින් හැඳින්වේ. මීට අමතරව එතූරියම්, රිපල් ඇතුලළු ක්‍රිප්ටෝකරන්සි වර්ග විශාල සංඛ්‍යාවක් මේ වන විට බිහි වී ඇත. දවසින් දවස අලුතින් එකතු වෙමින්ද තිබේ.


අනාගත මූල්‍ය ලෝකය වෙනස් කරන තීරණාත්මක සාධකයක් බවට ක්‍රිප්ටෝ කරන්සීස් මේ වනවිටත් පත්වී අවසානය. නමුත් ක්‍රිප්ටෝකරන්සිවල අනාගතය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් සතුව විවිධ අදහස් ඇත. Richard Branson, Worren Buffet වැනි පුද්ගලයන් මූල්‍ය ලෝකයේ පවසන්නේ තරුණ ආයෝජයන්ගෙන් අතිශය බහුතරයක් සාම්ප්‍රදායික ආයෝජනයන්ට වඩා ක්‍රිප්ටෝකරන්සි ආයෝජනයන්ට කැමැත්තක් දක්වන බවයි.


කෙසේ වෙතත් ක්‍රිප්ටෝකරන්සීස්වල අනාගතය සම්බන්ධයෙන් තියෙන අභියෝග අතරින් ප්‍රධානතම අභියෝගයක් වන්නේ විවිධ රාජ්‍යයන් විසින් ඒවා මුදල් ඒකක ලෙස නොපිළිගැනීම සහ පිළිගැනීම තහනම් කිරීමයි. කළු සල්ලි පහසුවෙන් සුදු කිරීමට ඇති හැකියාව වැනි කාරණා නිසා රාජ්‍යයන්ට මේ ක්‍රිප්ටෝකරන්සීස් වෙත අනුගත වීම අභියෝහයක් වී තිබේ. බැංකු පද්ධතියටද මේ මගින් එල්ල වෙන අභියෝගයත් විශේෂය. මන්ද ක්‍රිප්ටෝ කරන්සී ක්‍රමයෙන් ප්‍රචලිත වන විට බැංකුවල අවශ්‍යතාවය මිනිස්සුන්ට අවම වීමට නියමිත වීමයි.
ලෝකය වටා විසිරී තිබෙන බැංකු පද්ධතිය මගින් ඉදිරියේදී ක්‍රිප්ටෝකරන්සීස් වෙත එල්ල විය හැකි අභියෝග මොනවාද යන්න අවිනිශ්චිතය. මීට සමගාමීව එම අනාගත අභියෝගයන්ට පෙර සූදානමක් ලෙස රිපල් සමාගම විසින් හඳුන්වා දී ඇති, පවතින බැංකු ක්‍රමයටත් අනුගත වන, බැංකු විසිනුත් භාවිතා කළ හැකි මුදල් ඒකකයන්හි අනාගතය සම්බන්ධයෙනුත් තවමත් නිශ්චිත අදහසක් පැවසිය නොහැක.


නමුත් කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි කාරණාව වන්නේ මීට වසර දෙක තුනකට පෙර පීසා මිලදී ගැනීමටත් දහස් ගණනක් ගෙවිය යුතු වූ බිට් කොයින් එකක මිල අද වනවිට ඇමරිකන් ඩොලර් 12,000කටත් වඩා වැඩි වී පැවතීමයි. එමෙන්ම පසුගිය මාර්තු මාසයේදී ඩොලර් 0.1ටත් වඩා අඩු අගයක් ගත් රිපල් එකක මිල අද වනවිට ඩොලර් 2.5ටත් වඩා වැඩි වී පැවතීමයි. මෙයින් කියවෙන්නේ යම් අයෙක් පසුගිය මාර්තු මාසයේදී රුපියල් ලක්ෂයක් රිපල්වල ආයෝජනය කර තිබුණා නම් අද වනවිට එහි වටිනාකම රුපියල් ලක්ෂ දෙසීයත් ඉක්මවා ඇති බවයි.
ආයෝජකයින්ගේ උපකල්පනය අනුව මීළඟ වසර පහ ඇතුළතදී බිට්කොයින්හි වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියනයක් ඉක්මවා යනු ඇති බවයි. එසේම ඊට ප්‍රතිවිරුද්ධව බිට්කොයින් ඇතුළු ක්‍රිප්ටෝකරන්සි වල ක්ෂණික මිල ඉහළ යාම හදිසියේ ඉල්ලුම වැඩිවීම නිසා ඇති වූ ‘බබල්’ එකක් බවටත් එය වැඩි කලක් නොපවතිනු ඇති බවටත් මත පළ වී ඇත.


කෙසේවුවත් ‘ක්‍රිප්ටෝකරන්සීස්’ යනු මේ වනවිට මුදල් වෙළෙඳපොළ සහ ආයෝජන අවස්ථා පිළිබඳ උනන්දු අයට මගහැර යා නොහැකි සාධකයක් බවට පත් වී අවසානය.


‘බිට්කොයින් තවත් අවුරුදු 10කට කලිං නිකුත් වුණා නං ඇමරිකාවේ 9/11 ප්‍රහාරය සිදු නොවෙන්න ඉඩ තිබුනා’
- මැක්ස් කීසර්


'Pay Pal නිර්මානය කරද්දී අපට අවශ්‍ය වුණෙත් නව මුදල් වර්ගයක් නිර්මාණය කරන්න. ඒත් අපි ඒකට අසමත් වුණා. බිට් කොයින් වලින් ඒ අභියෝගය ජය ගෙන තිබෙනවා. මුදල් ගෙවීම සම්බන්ධ තාක්ෂණික කාරණ ජය ගැනීම ඊට ඇති අභියෝගයයි’
- පීටර් තීල් (පේ පෑල් සම නිර්මාතෘ)

මාතෘකා