අලුත් බද්දේ අැත්ත නැත්ත | ඇස පාදන රැස


අලුත් බද්දේ අැත්ත නැත්ත

 ඡායාරූපය:

අලුත් බද්දේ අැත්ත නැත්ත

මෙරට ඉතිහාසය පුරාම  රටට හා ජනතාවට කිසියම් ප්‍රගතිශීලි යෝජනාවක් ගෙන ආ සියලු අවස්ථාවල එවකට  පැවති විපක්ෂයන් විරෝධය පළකිරීම සාමාන්‍ය සම්ප්‍රදායකව පවතී.

ඊයේ (01) සිට ක්‍රියාත්මක වන 'නව දේශීය ආදායම් පනත'ට ද එසේමය.

මෙම නව බදු ක්‍රමයේ සුවිශේෂතාව නම් මෙරට බදු ක්‍රමය සරල කිරීමත්, බදු ව්‍යුහයේ විශාල වෙනසක් සිදු කිරීමත් ය.

විශේෂයෙන්  රාජ්‍ය ආදායමේ 80%ක් ලෙස සටහන් වන 'වක්‍ර බදු' ප්‍රතිශතය 60%ක් දක්වා අඩු  කර, 20%ක්ව පවතින 'සෘජු බදු' ප්‍රතිශතය 40%ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිත  ය.

වක්‍ර බදු සහ  සෘජු බදු

'වක්‍ර  බද්දක්' යනු අප දිනපතා වෙළඳපොළින් මිලදී ගන්නා පරිප්පු කිලෝ එකටත්,  හාල්මැස්සන් කිලෝ එකටත් අය කරන බද්දකි. එනම් ජනතාව දෛනිකව සිදුකරන මිලදී  ගැනීම්වල දී රජය අය කරන බද්දකි.

මෙම බද්දේ  විශේෂත්වය නම් එම බද්ද ගෙවන පුද්ගලයා එකවර සොයා ගැනීමට නොහැකි වීමයි. 'එකතු  කල අගය මත පනවන බද්ද' (VAT) වැනි බදු මිට උදාහරණ වේ.

'සෘජු  බද්දක්' යනු ගෙවන පුද්ගලයා නිශ්චිතව හඳුනාගෙන පනවන ලද බද්දකි. 'ආදායම්  බද්ද' මෙන්ම වර්තමාන ආණ්ඩුවෙන් හඳුන්වා දෙනු ලැබූ 'මන්දිර බද්ද' මිට උදාහරණ  වේ.

වක්‍ර බදු ක්‍රමය අනුව අඩු ආදායම් සහිත පුද්ගලයන් වැඩි ආදායම් සහිත පුද්ගලයන් ගෙවනවාට වඩා වැඩි බදු ප්‍රතිශතයක්‌ ගෙවීමට ඉඩකඩ පවතී.

උදාහරණයක්  ලෙස ආනයනික ළුණු කිලෝවක් මත පනවන බද්ද වක්‍ර බද්දකි. ඒ සඳහා ඉහළ ආදායම්  ලාභියෙකු සහ පහල ආදායම් ලාභියෙකු තම ආදායමින් ගෙවන බදු ප්‍රතිශතය අතර  සුවිශේෂී වෙනසක් පවතී.

උදාහරණයක් ලෙස ගතහොත්  රුපියල් 25,000ක මාසික ආදායමක් ඇති අයෙක් මාසයකට ලුණු මිලදී ගැනීම  වෙනුවෙන් වක්‍ර බදු ලෙස රුපියල් 2,500ක් ගෙවයි. එය ඔහුගේ ආදායමේ  ප්‍රතිශතයෙන් 10%කි.

මාසික ආදායම 50,000ක් වන  අයෙක් ද  මාසයකට ලුණු මිලදී ගැනීම වෙනුවෙන් වක්‍ර බදු ලෙස රුපියල් 2,500ක්  ගෙවයි.  එය ඔහුගේ ආදායමේ ප්‍රතිශතයෙන් 5%කි.

නමුත්  ආදායම මත පනවන  'සෘජු බදු' ක්‍රමයකින් මෙම අසාධාරණය සෑහෙන දුරකට අවම කර ගත  හැක. ඒ අනුව මෙම නව බදු ක්‍රමය මඟින් ඉදිරියේදී සාමාන්‍ය මහ ජනතාව මත  පැටවෙන 'වක්‍ර බදු' ප්‍රමාණය අඩු කර ඉහළ ආදායම් ලබන පුද්ගලයන් මතට බදු බර  විතැන් කිරීම යහපත් ය.  

හම්බ කරලා ගෙවන බද්දටත් සහනයක්

එසේම මෙම නව බදු ක්‍රමය යටතේ යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයින්ගේ වැටුපෙන් අයකරනු ලබන 'උපයන විට ගෙවීම් බද්ද' සංශෝධනය වේ.

ඒ  අනුව දැනට අයකරන උපයන විට ගෙවීමේ බදු සීමාව, වාර්ෂික වැටුප රුපියල් ලක්ෂ  7.5 සිට ලක්ෂ 12 දක්වා ඉහළ දැමීම තුලින් දැනට බදු ගෙවන මැදි ආදායම්ලාභී  පිරිසක් බදුවලින් නිදහස් කර තිබේ.

බදු ගෙවිය යුත්තේ සමස්ත වැටුපට නොවේ

මෙම  උපයන විට ගෙවීමේ බද්ද පිළිබඳව පතුරුවා හරින මිත්‍යාවක් වන්නේ සමස්ත වටුපටම  බදු ගෙවිය යුතු වම බවයි. එනම්  රුපියල් 150,000ක වැටුප් ආදායමක් ඇති අයෙක්  එම වැටුපෙන් 4%ක බද්දක් ගෙවිය යුතු බවයි.

නමුත්  මෙය අසත්‍ය තොරතුරකි. බදු මුදලට යටත් වන්නේ රුපියල් 100,000 සිට වැඩි වන  ආදායම පමණි. එනම්  රුපියල් 150,000ක වැටුප් ආදායමක් ඇති අයෙක් බදු ගෙවිය  යුත්තේ රුපියල් 50,000කට පමණි. එහිදී  රුපියල් 50,000කට 4%ක බදු මුදලක්  අයවේ.

මේ අනුව මාසික වැටුප් ආදායම,

රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා 4%ක් ද,රුපියල් 150,000 සිට රුපියල් 200,000 දක්වා සියයට 8%ක් ද ,රුපියල් 200,000 සිට රුපියල් 250,000 දක්වා සියයට 12%ක් ද,රුපියල් 250,000 සිට රුපියල් 300,000 දක්වා සියයට 16%ක් ද,රුපියල් 300,000 සිට රුපියල් 350,000 දක්වා සියයට 20%ක් ලෙස ද බදු ගණනය කෙරෙයි.  

විශේෂ  කාරණය වන්නේ මෙතෙක් උපයන විට ගෙවන ඉහළම බදු අනුපාතය වූ 12%ක බද්ද 24%  දක්වා වැඩිවීමයි. ඒ අනුව මාසික වැටුප් ආදායම 350,000 ට වැඩි නම් 24%ක් බදු  ගණනය කෙරෙයි.

ඉහළ ආදායම්ලාභීන්ට වැට

එසේම  මේ වන තෙක් බදු ගෙවීමෙන් ඉවත්ව තිබූ,  වෛද්‍යවරුන්, නීතීඥවරුන් සහ ටියුෂන්  ගුරුවරුන් ඇතුළු  වෘත්තිකයන් පිරිසකට ද බදු පැනවීමට නියමිතය.

එසේ ම එම බදු අය කරනු ලබන්නේ ද, ආදායමට සාපේක්ෂව පමණක් වීම සුවිශේෂිය.

මැදපෙරදිග කඳුළු සල්ලිවලටත් බදු?

මෙම නව බදු ක්‍රමය පිළිබඳ පවතින තවත් මිත්‍යාවක් වන්නේ විදෙස් ගත ශ්‍රමිකයින් විසින් සම්ප්‍රේෂණය කරන මුදල් සඳහා බදු අය කරන බවයි.

මෙම  නව බදු පනත මඟින් විදේශ ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් කිසි ලෙසකින් බද්දකට  යටත් නොවේ. නමුත්, යම් විදෙස්ගත ශ්‍රමිකයෙකු විසින් යම් මුදලක් බැංකුවක  තැන්පත්කළ පසු ඊට ලැබෙන පොලිය සඳහා සුළු බද්දක් අය වේ. ඒ, 5%ක ප්‍රමාණයකි.  මෙහිදී විශේෂයෙන් තේරුම් ගත යුත්තේ අදාළ පොලිය අය වන්නේ අදාල තැන්පතු මුදලට  නොව එම මුදලේ පොලී ගෙවීමට පමණක් බවයි.

නමුත්  ප්‍රායෝගික කාරණය නම් මැද පෙරදිග රැකියාව කරන පිරිස සිය පවුලේ නඩත්තුවට  එවන මුදල් ලංකාවට එවූ සැණින් එය බැංකුවෙන් ලබා ගැනීම සිදුවේ. මොවුන් පොලිය  එකතුවන තුරු අදාළ  සම්ප්‍රේෂිත මුදල් තැන්පත් කර නොතබන නිසා ඔවුන්ට මෙම  බද්ද තුලින් කිසිදු බලපෑමක් සිදු නොවේ.

බැංකුවේ දාපු සල්ලිවලටත් බදු ගහනවද?

නව බදු පනත මඟින්  තැන්පත් කර ඇති බැංකු ගත මුදල් වලට බදු මුදලක් අය කරන බව පෙර චෝදනාව මෙන්ම අර්ධ සත්‍යකි.  

එහිදී සිදුවන්නේ ද මෙරට පුද්ගලයෙකු විසින් තැන්පත් කර ඇති බැංකු ගත මුදල් වලට ලැබෙන පොලිය මත ද සියයට 5ක නව බද්දක් අය කිරීමයි. එම බද්ද සඳහා ද බදු සහනයක් හිමිව තිබේ.

ඒ  අනුව ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පොලී ආදායම රු.ලක්ෂ 15 දක්වා  බද්දෙන් නිදහස් කර තිබෙන අතර ඉන් ඉහළ යන අදායම සඳහා 5%ක බද්දක් අයකරනු ඇත.

ගෙයක් විකුණුවොත් ගහන ප්‍රාග්ධන බද්ද

තමන් පදිංචි නිවාස විකිණීමේ දී බදු අය කරන බවට පැතිර ඇති මතය අසත්‍ය කරුණු මත පදනම් වුවකි.

යෝජිත  නව බදු ක්‍රමය යටතේ යම් අයෙක් තමන්ට හිමි දෙවැනි නිවස හෝ ඉඩම විකිණීමේදී  පමණක් 10%ක බදු මුදලක් අය කරනු ලබයි. මෙහිදී අදාළ නිවසේ වසර තුනක් හෝ ඊට  වැඩි කාලයක් පදිංචිව සිටියේ නම් බදු අය නොවන අතර එම දේපල තෑගී දෙන  අවස්ථාවක් නම් බදු ගණනය වන්නේ ද නැත. කෙසේ නමුත්  ආයෝජන වත්කමක් වන අපාර්ට්මන්ට් වැනි නිවහනක් විකිණීමේදී එහි විකුණුම් මිල  හා 2017 සැප්තැම්බර් මාසයේ වෙළඳපොලේ වටිනාකම අතර වෙනස 10% ක බද්දකට යටත්  වනු ඇත.

තමන්ටම බදු ෆයිල් එකක්

මෙම  නව බදු ක්‍රමය යටතේ අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන්ට බදු ලිපි ගොනුවක්  විවෘත වනු ඇත. එහි අර්ථය සියලු පුද්ගලයන් බදු ගෙවිය යුතු බව නොවේ.

සුවිශේෂී යෝජනා ගණනාවක්

එසේම  මෙම නව බදු ක්‍රමය යටතේ මෙරට පැමිණෙන විදේශිකයින් විසින් මිලදී ගන්නා  විවිධ භාණ්ඩ මත පනවා ඇති එකතු කල වටිනාකම මත පනවා ඇති බද්ද (VAT), එම  විදේශිකයින් මෙරටින් පිටත්ව යන අවස්ථාවේ ගුවන්තොටුපළේදී නැවත ලබා දෙනු  ලැබේ.

එසේම අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප්  මෙම බදුවලින් නිදහස් කර තිබෙන අතර කොටස් වෙළඳ ෙපාෙළහි පහි කොටස් වැඩි මිලට  විකිණීමේදීත් මෙම බදු අයකිරීම සිදු නොවේ. නව බදු  ක්‍රමයක් හඳුන්වා දුන් මෙම නව දේශීය අදායම් පණත මඟින් බදු සහන හා බදු විරාම  ලබාදීම සඳහා මුදල් අමාත්‍යවරයාට පැවැති අවස්ථා 200ක් අහෝසි කර තිබීමද නව  දේශීය ආදායම් පනතේ විශේෂත්වයකි.

බදු ගෙවන්නේ කාටද?

බදු  ගෙවීම සම්පුර්ණයෙන්ම අයහපත් කරුණක්‌ නොවේ. එමඟින් රජය විසින් අපට ලබා දෙන  සේවාවන් පවත්වාගෙන යාමටත්, ඒවා ගුණාත්මකව වර්ධනය කිරීමටත් හේතුවේ. එසේම පුද්ගලිකව අපගේ මුල්‍ය විනය පවත්වාගෙන යාමට ද බදු ගෙවීම හේතු වේ.

[විමුක්ති දුෂාන්ත]