තෙලේ බැදෙන තිත්ත ඇත්ත

 ඡායාරූපය:

තෙලේ බැදෙන තිත්ත ඇත්ත

තෙල් මිල ඉහළ දැමීම නිසා පාරිභෝගික ජනතාව පීඩාවට පත් නොවන බව පැවසීම පට්ටපල් මුසාවකි.

නමුත් වත්මන් රජය විසින් තෙල් මිල ඉහළ දැමීම ගැන විපක්ෂ බලවේග විසින් හෙලන කිඹුල් කඳුළු දෙස බැලීමේ දී 2014 වසරේ තෙල් මිල පිළිබඳව යලි මතක් කර දීම උචිත යැයි අප තීරණය කළෙමු.

තෙල් මිල ඉහළ ගිය හැටි

ඒ අනුව පසුගිය තෙල් මිල ඉහළ යාම තුළින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20.00කින් මිල ඉහළ ගොස් ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137.00ක් වෙයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 148.00ක් වෙයි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියක් 14.00කින් වැඩි කර තිබෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 109.00කි. එසේම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00කින් වැඩි කර තිබෙන අතර එහි නව මිල රුපියල් 119.00 බවට පත් වී ඇත.

එසේම භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 57.00 කින් ඉහළ දමා ඇති අතර භුමිතෙල් ලීටරයක නව මිල සඳහන් වන්නේ රුපියල් 101.00 වශයෙනි.

රාජපක්ෂගේ තෙලෙන් බැදුන මිනිස්සු

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමත් සමඟම තෙල් මිල වාර්තාගත ලෙස පහළ දැමීමට තීරණය කළේය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150ක සිට 117ක් දක්වා ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 158 සිට 128ක් දක්වාද පහළ දැමීය.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111 සිට 95 දක්වාත්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 138 සිට 110 දක්වාත් අඩු විය.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 81 සිට 65 දක්වාත් අඩු විය.

මින් 2014 මිලට වඩා වැඩි මිලකට ඉහළ දමා ඇත්තේ භූමිතෙල් මිල පමණක් වීම විශේෂත්වයකි.

භූමිතෙල් වැඩි වුණත් සහනයක්

ඉන්ධන මිල වැඩි වුවත් එහි පීඩනය ධීවර ජනතාවට සහ සමෘද්ධිලාභීන්ට නොදැනීම සඳහා එම පාර්ශවයන් වෙත සහන මිලට ඉන්ධන නිකුත් කරන්නට රජය කටයුතු කරමින් සිටියදී ජනතාව අපහසුතාවයට පත් වන බවට විපක්ෂ දේශපාලකයන් මත පල කිරීම හුදු දේශපාලන වාසි තකා කෙරෙන ප්‍රචාරණයක් පමණි.

ලෝක වෙෙළඳපොළ තුළ තෙල් මිල සීග්‍රයෙන් ඉහළට

ලෝක දේශපාලන උණුසුම, මැදපෙරදිග අර්බුද ඇතුළු කරුණු කාරණා රාශියක් හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ යමින් තිබේ.

මෙම ලිපිය ලියන අවස්ථාව වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 කට ආසන්න මට්ටමක පවතී. මේ වසර මුලදී පැවති පහළ මට්ටමේ තෙල් මිලට සාපේක්ෂව මේ වන විට මිල 20%කින් පමණ ඉහළ ගොස් ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 217ක අලාභයක්

2017 වසරේ පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 217 ක අලාභයක් ලබා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව උපුටා දක්වමින් පසුගිය සමයේ මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඊට ප්‍රධානම හේතුව වන්නේ අඩු මිලට ඉන්ධන සැපයීමයි.

IOC නිසා තවත් පාඩුයි

IOC සමාගම විසින් මිට පෙර සිය තෙල් මිල ඉහළ දැමීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන සඳහා පසුගිය සමයේ අධික ඉල්ලුමක් මතු විය. එය එම සංස්ථාවේ අලාභය තව දුරටත් ඉහළ යාමට හේතු විය.

තෙල් මිල අඩු කිරීම ද? පාඩු දරා ගැනීම ද?

විපක්ෂයේ ආචාර්ය, මහාචාර්ය කියන ආර්ථික පණ්ඩිතයන් කියන්නේ තෙල් මිල ඉහළ නොදමා පාඩුව දරා ගත යුතු බවයි.

නමුත් ඇත්ත කතාව වන්නේ මිල අඩුවට සංස්ථාව තෙල් සැපයීමෙන් සංස්ථාවට වන පාඩුව නැවත ගෙවීමට සිදුවන්නේද ජනතා බදු මුදල්වලින් ඇතුළු රජයේ මුල්‍ය මුලාශ්‍රවලිනි.

මුල්‍ය කළමනාකරණය

රටක ආණ්ඩුවක් පත් කරන්නේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමටය. ඒ අනුව මෙසේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළයාම දරා ගැනීමට නොහැකි වූ විට තෙල් මිල ඉහළ දැමීම විනා ගත හැකි වෙනත් ක්‍රියාමාර්ගයක් නැත.

අනෙක් අතට පසුගිය රජය සමයටත් වඩා තවමත් තෙල් මිල පවතින්නේ අඩු මට්ටමකය. විපක්ෂ පම්පෝරිකාරයන්ට නොපෙනෙන කටුක සත්‍ය වන්නේ එයයි.

[කුමාර ගුණසේකර]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?