සල්ලි නැතිව කරන බිස්නස්

 ඡායාරූපය:

සල්ලි නැතිව කරන බිස්නස්

“ව්‍යාපාරිකයෙක් වීමට ඔබට බලපාන ප්‍රධානම  ගැටලුව කුමක්ද? “ ගොඩක් දෙනෙක්ගෙන් ඉහත ප්‍රශ්ණය ඇහුවොත් ලැබෙන ක්ෂණික පිළිතුර තමයි “මුදල් - එහෙමත් නැත්නම් ප්‍රාග්ධනය “ කියන එක. ඇත්තටම මුදල් නැතිව ව්‍යාපාරයක් පටන් ගන්න බැරිද?  ඒ නිසා රැස තීරුවෙන් අපි ප්‍රාග්ධනය නොමැතිව කරන්න පුළුවන් ව්‍යාපාර ගැන කතාකරමු.

ව්‍යාපාරයක් විදියට ගොඩක් දෙනා කැමැති තමන් ගාව තියෙන දෙයක් තව කෙනෙකුට විකුණන්න. නැත්නම් නිෂ්පාදනයක් කරන්න. මේ ව්‍යාපාර විධි දෙකටම තොග මිළදී ගැනිමට, ගබඩා කිරීමට, සැකසුම් කිරිමට කියන ක්‍රියාවන් වෙනුවෙන් ප්‍රාග්ධනය අවශ්‍ය වෙනවා.... වැඩි පොළියට ණය දෙන පොලී මුදලාලිලාගෙන් තරම් ලේසියට බැංකුවකින් ව්‍යාපාරික ණයක් ගන්න බැර නිසා බැංකු වලට ගිහින් ණය ඉල්ලලා හෙම්බත් වුණු බොහෝ දෙනෙක් මැසිවිලි කියන්නේ බැංකු වලින් ණය ගන්න බැරි නිසා ව්‍යාපාරයක් කරන්න බැහැ කියලයි.

ව්‍යාපාරයක් ආරම්භ කරන පුද්ගලයෙක් ගාව තියෙන්න උවමනා වටිනාම දේ තමා දරාගැනීමේ හැකියාව...... සමාජ අවබෝධය, අවධානය හා අවශ්‍යතාවය කියන ගුණාංග තමන් සතු කර ගත් පුද්ගලයෙකුට දරාගැනීමේ හැකියාවත් නිරායාසයෙන්ම උරුම වෙනවා සිකුරුයි... තමන් සතුව තියෙන ව්‍යාපාරික අදහස ගැන අවබෝධයක් දැනීමක් ඇති කර ගත්තාගෙන් පසු තමන් සතුව ප්‍රාග්ධනය නැත්නම් තමන්ගේ දැනුම ආයෝජනය කරලා ව්‍යාපාරය මෙහෙයවන්න පුළුවන්.... 

තමන් සතුව නිෂ්පාදනයක් නැත්නම්.... තමන්ටම කියලා ප්‍රාග්ධනයකුත් නැත්නම්.... තමන් සතු දැනුම ආයෝජනය කරලා ව්‍යාපාර කරන්න පුළුවන්..... පරිගණක  තාක්ෂණය ගැන දැනුම තියෙන කෙනෙකුට පරිගණක පන්තියක් පටන් ගන්න පුළුවන්... නිවසටම ගිහින් පරිගණක තාක්ෂණය උගන්වන්න.... / අලුත්වැඩියාව කරන්න/ මාදුකාංග දෝෂ නිවාරණය කරන්න අවස්ථාව ගන්න ඔබටත් පුළුවන්. හොඳින් උසස් පෙළ සමත් වූ කෙනෙකුට තමන්ගේ දැනුම මඟින් සාමාන්‍ය පෙළ සිසුන්ට/ උසස්පෙළ සිසුන්ට දැනුම දෙන්න පුළුවන්. හැබැයි ඒ තමන් බලාපොරොත්තු වන ව්‍යාපාරය නම් නොවෙන්න පුළුවන්.... ඒත් තමන් සතුව ප්‍රාග්ධනයක්  නැති නිසා / නිෂ්පාදනයක් සඳහා සැලැස්මක් නැති නිසා කිසිදු දෙයක් ආරම්භ නොකර ඉන්නවාට වඩා ඒ දේ හොඳයි. එමඟින් උපයා ගන්නා ආදායමින් තමන්ගේම නිෂ්පාදනයක් වෙනුවෙන් අධ්‍යයනය කිරිමත්, ප්‍රාග්ධනය සඳහා මුදල් ඉතිරි කිරිමත් කරලා නිවැරදි මොහොතක තමන් කැමැති ව්‍යාපාරය ශක්තිමත්ව අරඹන්න හැකියාව උදාකරගන්න පුළුවන්. සමාජය දිහා උනන්දුවෙන් බැලුවොත් ඒ ගැන උදාහරණ බොහොමයි. බෞද්ධ සාහිත්‍යෙය් චුල්ලසෙට්ඨි ජාතකයේ කිසිම මුදලක් නැතිව මීකුණක් විකුණා ධනවතෙකු වූ ආකාරය ගැන උදාහරණ තිබුණත් “එදා එහෙම වුණාට අද එහෙම පුළුවන්ද“ අහන අයට මේ කතාව වැදගත් වේවි.

තේ ආර්ථිකය නිසා පිබිදුණු කඳුකරයේ  අද වගේ වතු ආශ්‍රිතව ග්‍රාමීය බැංකු හා පුද්ගලික බැංකු නොතිබුණු කාලෙක තමන්ගේ සති පඩි ගන්න ද්‍රවිඩ නූගත් වතු කම්කරුවන් සතියේ පොළ දවසට බැංකුවටත් යන්න බලාගෙන තමයි නගරයට එන්නේ... ඒ වෙලාවෙදි බැංකු රිසිට් පත් පිරවීම නූගත් ඔවුන් ඉතාමත් අපහසුතාවට පත්කරන  ක්‍රියාවක්... අතීත රාජ්‍ය බැංකු අදට සාපේක්ෂව සුහද සේවාවක් නොදුන් අතර ඔවුන්ගේ ගාව තිබුණෙ අධිකාරවාදී පාරිභෝගික සේවා සැපයිම් රටාවක්. මේ විදියේ නගරයක වාසය කරපු උගත් තරුණයෙකුට තමන් අයදුම් කරන රැකියාවන් වලින් කැඳවීම් ලැබුණේ නෑ.... දවසක් නිකරුණේ නගරය මැදින් ඇවිදගෙන යන ගමන් බැංකුවක් ඉදිරියේ අසරණ වෙලා සිටින කම්කරුවන් දැකපු මේ තරුණයා ඊළඟ දවසේ බැංකුව අසල කුඩා තේකඩයක් ඉදිරියේ මේසයක් හා පුටුවක් තබාගෙන තමන්ගේ රාජකාරිය පටන්ගත්තා.... ලොකු කාඩ්බෝඩ් කෑල්ලක දෙමළෙන් / සිංහලෙන් ලියපු “බැංකු අයදුම්පත් පුරවනු ලැබේ“  කියන දැන්වීමකුත් ගහපු ඔහු එක අයදුම්පතක් පිරවීමට රුපියලක මුදලකුත් ගත්තා.... තමන්ගේ නොහැකියාව නිසා ඇතිවූ අපහසුතාවය පුංචි රුපියලකින් සමහන් කරගන්න පුළුවන් කම ලැබුණු නිසා බැංකු කටයුතු වලට ආව වතු කම්කරුවෝ ඔහු ගාවට ආවෙ වැල නොකැඩී... හාල් කිලෝ රුපියල් හයට හතට තිබුණු ඒ කාලේ උදේ අටේ විතර ඉඳන් දවල් එක දෙක වෙනකොට රුපියල් දෙතුන් සියයක් දවසට හොයපු ඔහු පසුකාලීනව ඒ නඟරයේ ශූර ව්‍යාපාරිකයෙකු වුණා.... අදටත් ඔහුගේ නමින් නගරය පුරා අංශ කිහිපයක ව්‍යාපාර තියෙනවා දකින්න පුළුවන්.... මේ ව්‍යාපාර ප්‍රස්තූතය සාක්ෂරතාවය හොඳ මට්ටමක තියෙන/ කාඩ් එකෙන් ගනුදෙනු කරන අද දවසට වැදගත් නැති වුණත් 2000-2002 කාළයෙත් මේ ව්‍යාපාරයේ යෙදෙන තරුණයෙක් කළුතර දිස්ත්‍රික්කයේ උප නඟරයකින් මට හමුවුණා.... එදා ඔහු අයකළ මුදල එක් පිරවීමකට රුපියල් පහක්....

ඒවගේම තමයි.... තමන් සතුව පරිගණක පහසුකම් හා අන්තර්ජාල පහසුකම් තියෙනවානම් Ebay - Fiverr-Upwork වගේ අන්තර්ජාතික නිෂ්පාදන  හා සේවා විකුණුම් කරන වෙබ් අඩවි සමඟ සම්බන්ධ වෙලා තමන්ගේ නිෂ්පාදන සහ නිර්මාණශීලී දැනුම විකුණන්න පුළුවන්.... මුදල් ලැබෙන්න ටික කාලයක් ගියත් මුදල් ලැබීමේ සුරක්ෂිතතාවය ඉහළ මට්ටමක තියෙන නිසා අලාභයක් නොවන විදියට උපරිම ලාභයෙන් යුක්තව මේ දේ කරන්න පුළුවන්.අවශ්‍ය වෙන්නේ දැනුම හා ඉවසීම විතරයි. මේ තියෙන උදාහරණ ටික තමන්ට ගැලපෙන විදියට  කළමනාකරණය කරගෙන හොඳ අදහසක් මතු කරගත්තොත් ප්‍රාග්ධනය නැතිව වුණත් ඔබට ව්‍යාපාරයක් කරන්න පුළුවන්.... වැදගත් වෙන්නේ ඔබේ දියුණුවේ දිශාව මිසෙක එහි ප්‍රමාණය හෝ වේගය නොවෙයි. ඒ නිසා අදම උත්සහ කරන්න. හෙටට කල් නොදමා එළැඹෙන නිමේශයේම හොඳ විශ්වාසයකින් පටන් ගන්න.

[ඥානේන්ද්‍ර ප්‍රදිප් පතිරණ]

මාතෘකා