මහජන බැංකුව වඩාත් ඉහළට ඔසවා තැබීම මගේ අරමුණයි

 ඡායාරූපය:

මහජන බැංකුව වඩාත් ඉහළට ඔසවා තැබීම මගේ අරමුණයි

නව සභාපති ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ

සමුපකාර ව්‍යාපාරය තුළින් ඇරැඹි මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව වර්තමානයටත් වඩා ඉහළ තැනකට ඔසවා තැබීම තම අරමුණ බව මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස වැඩ බාරගත් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සුජීව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ 01, මහජන බැංකු මූලස්ථානයේ ඊයේ උදේ (08) මහජන බැංකුවේ 27වැනි සභාපතිවරයා ලෙස සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව සුජීව රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන්වල නවෝදය උදෙසා වෘත්තීයමය සුදුසුකම්ලාභී සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තියට අනුව යමින් මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කරනු ලැබූ සුජීව රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වෘත්තීය වරලත් ගණකාධිකාරීවරයකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අයෙකි.

සුජීව රාජපක්ෂ මහතා දකුණු ආසියා ගණකාධිකාරී සම්මේලනයේ සාමාජිකයකු ලෙසත් ආසියා පැසිෆික් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ තාක්ෂණික උපදේශකයකු වශයෙනුත් සේවය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වසර 06ක කාලයක් භාණ්ඩාගාරික ධුරය හෙබවූ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ භාණ්ඩාගාරික ලෙසද සේවය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජිකයකු ලෙසත් ජාතික සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවේ සාමාජිකයකු ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ සාමාජිකයකු මෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ පීඨයේ වෘත්තීය සංගමයේ විධායක කමිටු සාමාජිකයකු ලෙසත් විවිධ ආයතන රාශියක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසත් අද්විතීය මෙහෙවරක් සිදුකර ඇත.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ උප සභාපතිවරයා මෙන්ම, බී.ඩී. ඕ. පාට්නර් ජාත්‍යන්තර විගණන ආයතනයේ ශ්‍රී ලංකාවේ කළමනාකරණ හවුල්කරු වශයෙන්ද ඒ මහතා කටයුතු කරයි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලබා ඇති සුජීව රාජපක්ෂ මහතා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු ද වේ.

වැඩ බාරගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ සුජීව රාජපක්ෂ මහතා මහජන බැංකුව නව ලොව තාක්ෂණික දැනුම යොදාගෙන සහ මානව සම්පතේ කුසලතා හැකියාවන් වඩාත් දියුණුකොට ශ්‍රී ලාංෙක්ය බැංකු ගනුදෙනුකරුවන්ට ඉතාම ඉහළ කාර්යක්ෂම සේවා සපයන ආයතනයක් බවට පත්කරලීම තම අපේක්ෂාව බව ද කියා සිටියේය. මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී රසිත ගුණවර්ධන, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, පීපල්ස් ලීසිං සහ පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම්වල ප්‍රධානීහු මහජන බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය ප්‍රමුඛ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

[ජයසිරි මුණසිංහ] ඡායා [විමල් කරුණාතිලක]

News Order: 
1
මාතෘකා