නෙළුම් කුලුනේ ප්‍රධාන සන්නිවේදන යටිතලය ඇතුළු තාක්ෂණ වගකීම් රාශියක් SLT වෙත පැවරේ

 ඡායාරූපය:

නෙළුම් කුලුනේ ප්‍රධාන සන්නිවේදන යටිතලය ඇතුළු තාක්ෂණ වගකීම් රාශියක් SLT වෙත පැවරේ

මෙරට තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ පෙරගමන්කරු ලෙසින් එහි සිය විශිෂ්ටත්වය සහ ජ්‍යේෂ්ඨත්වය තවදුරටත් සනාථ කරමින් දකුණු ආසියාවේ උසම ඉදිකිරීම මෙන්ම බහුකාර්ය, රූපවාහිනී සහ විදුලි සංදේශ කුලුනක් ලෙසින් පසුගියදා (16) විවෘත වූ 'නෙළුම් කුලුන'හි සන්නිවේදන යටිතල පහසුකම් සැපයුම්කරු බවට ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) පත්ව සිටියි.

මේ දැවැන්ත ඉදිකිරීමේ, අතිශයින්ම වැදගත් සහ සංවේදී අංශ රැසක් සම්පාදනය කිරීමේ අති දැවැන්ත වගකීම හිමිවීමෙන් අදාළ ක්ෂේත්‍රයේ SLTහි ධාරිතාව තවදුරටත් ඔප්පු වනු ඇත.

'නෙළුම් කුලුන'හි බාරකාරීත්වය පැවරෙන ජාතික විදුලි සංදේශ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අතර 'නෙළුම් කුලුන' ඉදිවෙමින් පවතින සමයේදී අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමක් මඟින් එහි විදුලි සංදේශ යටිතලය සම්පාදනය කිරීමේ අධිකාරීත්වය SLT වෙත පැවරිණි.

ඒ අනුව SLTහි දායකත්වය මූලික අංශ දෙකක් යටතේ සිදු වේ. ඉන් එකක් නම් එහිදී 'ඔප්ටිකල් ෆයිබර්' තාක්ෂණය ආදියෙන් දෙස් විදෙස් ජාලයන් සමඟ බැඳෙන විදුලි සංදේශ යටිතල සංවර්ධනයයි. එහිදී කිසිම මොහොතක ජාල බිඳවැටීම් සිදු නොවන සේ ඉතාම ශක්තිමත් සහ ස්ථාවර ලෙස එම යටිතලය ස්ථාපිත කිරීමට SLT ආයතනය කටයුතු යොදා තිබීම කැපී පෙනෙයි.

මෙකී ජාල පහසුකම් යටිතලය ස්ථාපිත කිරීම යටතේ ලබා දෙන සේවාවන් කොටස් තුනකින් යුක්තය. ඉන් එකක් නම් නෙළුම් කුලුන පරිශ්‍රයේ ස්ථාපිත මහා පරිමාණ ආයතන මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදියටද එහි ප්‍රවේශ වන සාමාන්‍ය ජනතාවටද අවශ්‍ය සියලුම සන්නිවේදන පහසුකම් සම්පාදනය කිරීමයි.

නෙළුම් කුලුන පරිශ්‍රයේ සිය සේවා සපයන මෙරට අනෙකුත් තොරතුරු සහ සන්නිවේදන සේවා සම්පාදකයන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය සියලුම සන්නිවේදන යටිතලය සැපයීමද ඒ යටතේ විසින් සිදුකරන තවත් කාර්යයකි.

මූලික විදුලි සංදේශ යටිතල සංවර්ධනය යටතේ එකී කාර්යයන් දෙකට අමතරව 'නෙළුම් කුලුන' ඩිජිටල් රූපවාහිනී සමප්‍රේෂණ කුලුනක් ලෙසින් යොදා ගැනීමේදී එම රූපවාහිනී නාලිකා මැදිරිවල සිට අදාළ වැඩසටහන් (අන්තර්ගතයන්) නෙළුම් කුලුන වෙත යැවීම පිණිස අවශ්‍ය සියලු ජාල සම්බන්ධතා පහසුකම් SLT විසින් සම්පාදනය කර තිබේ.

අදාළ අවබෝධතා ගිවිසුම යටතේ SLT වෙතින් සිදුවන අනෙක් මූලික කාර්ය වන්නේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය, Local Area Network හෙවත් LAN, Wide Area Network හෙවත් WAN සහ IPTV, ගොඩනැඟිලි කළමනාකරණ ක්‍රමවේදය, තොරතුරු ප්‍රසිද්ධ කිරීම, වීඩියෝ නිරීක්ෂණය සහ පාලනය, ප්‍රවේශ පාලන ක්‍රමවේදය, පොදු මහජන ඇමතුම් පද්ධතිය, අභ්‍යන්තර ජංගම ගමන් කථන පද්ධතිය, ආරක්ෂක පද්ධතිය, බලශක්ති කළමනාකරණය, ගිනි හඳුනා ගැනීමේ සහ අනතුරු හැඟවීමේ සංඥා පද්ධතිය, විශේෂ අමුත්තන්ගේ කලාපවල සුහුරු විසඳුම් පිරිනැමීම, ආපනශාලා ආදියෙහි වයර්ලස් විසඳුම්, GPS සබැඳි ඩිජිටල් ඔරලෝසු පද්ධතියද ලෙසින් ගොඩනැඟිලි අභ්‍යන්තරයේ ඇති ක්‍රමවේද සහ උප පද්ධති 14ක්ද SLT යටතේ ක්‍රියාත්මක වේ.

මාතෘකා