අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න Pick Me ඉල්ලයි

 ඡායාරූපය:

අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න Pick Me ඉල්ලයි

පාස්කු ඉරිදා දින දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් සිත්පිත් නොමැති ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලින් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් Pick Me සමාගම සිය ශෝකය පළකර සිටී.

දේශීය සමාගමක් වන Pick Me පසුගිය කාලය තුළ වේගයෙන් දියුණුව කරා ගමන් කළ අතර ඒ සඳහා ශ්‍රී ලාංකේය ජනතාව වෙතින් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි. මේ අතරවාරයේ සැඟවුණු අරමුණු සහිත කඩාකප්පල්කාරීන් පිරිසක් Pick Me සමාගමට එරෙහිව විවිධාකාරයේ අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් සිටී. මෙම අසත්‍ය ප්‍රචාර මාලාවේ එක් අදියරක් වූයේ Pick Me සමාගම එක්තරා ආගමික සංවිධානයකට මුදල් ප්‍රදානයක් සිදුකර ඇති බව ප්‍රචාරය කිරීමයි. ඒ සඳහා සාක්ෂි ලෙස ඔවුන් ඡායාරූපයක්ද දක්වා තිබිණි. කෙසේ වුවද මෙවැනි මුදල් ප්‍රදානයක් කිසිවිටෙකත් සිදු නොවූ අතර සාක්ෂි ලෙස කඩාකප්පල්කාරීන් දක්වා ඇත්තේ 2014 වසරේ එංගලන්තයේ දේවස්ථානයක් මගින් එක්තරා ආගමික සංවිධානයකට සිදුකරන ලද පරිත්‍යාගයක ඡායාරූපයකි. එම ඡායාරූපය තම සැඟවුණු අරමුණු වෙනුවෙන් ඔවුන් ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් සංස්කරණය කර තිබිණි. එම සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූපය සංසන්දනය කරන කෙනෙකුට මෙම පුද්ගලයන්ගේ අරමුණ කුමක්ද යන්න වටහා ගැනීම දුෂ්කර නොවනු ඇත.

"මේ ඛේදනීය සිදුවීම් මාලාව හමුවේ පවා ශ්‍රී ලාංකිකයන් පෙන්නුම් කළ ශක්තිය හා එකමුතු බව අනාගතයේ එකම සිතින් යළිත් නැ‍ඟී සිටීම සඳහා අප සතු හැකියාවට මනා සාක්ෂියක්. එහෙත් මේ ඛේදනීය අවස්ථාව දඩමීමා කරගනිමින් තම සැඟවුණු අරමුණු ඉටුකරගැනීම සඳහා සුළු පිරිසක් විසින් සිදුකරනු ලබන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන් මා අපගේ පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලාංකිකයන් කාටත් ආඩම්බර විය හැකි දේශීය සමාගමක කීර්ති නාමයට හානි පැමිණවීම සඳහා මෙවැනි ඛේදනීය අවස්ථාවක පවා ඇතැම් පාර්ශ්වයන් කටයුතු කිරීම අතිශයින් කනගාටුදායකයි." Pick Me සමාගමේ සභාපති අජිත් ගුණවර්ධන මහතා පැවසී ය.

දේශීය සමාගමක් වන Pick Me, 2015 වසරේ ජුනි මාසයේදී ආරම්භ කරන ලදි. මේ වනවිට ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික සමාගම් සහ ප්‍රකට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් ඇතුළු විවිධාකාරයේ ආයෝජකයන් සමාගම තුළ ආයෝජනයන් සිදුකර ඇත. පසුගිය වසර 3ක කාලය තුළ රටේ දහස් ගණනක් වූ පිරිසකට ආදායම් අවස්ථා නිර්මාණය කර දෙමින් රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකිරීමට Pick Me සමාගමට හැකියාව ලැබිණි.

මාතෘකා