නව්‍ය ව්‍යාපෘති ප්‍රවර්ධනයට කැප වූ Hatch Colombo ඇරඹේ

 ඡායාරූපය:

නව්‍ය ව්‍යාපෘති ප්‍රවර්ධනයට කැප වූ Hatch Colombo ඇරඹේ

නව්‍ය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් සඳහා සමූහ සම්පත් අවකාශයන් සපයා දීම සහ ඒවායේ සංවර්ධනයට අවශ්‍ය සම්බන්ධතා ගොඩනැංවීම Hatch Colomboහි අරමුණයි.

Hatch, ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ සම්පත් සහ කාර්යාල අවකාශ සැපයුම් සේවාව, 2019 ජනවාරි 24 වැනිදා නිල වශයෙන් ආරම්භ විය. මේ වෙනුවෙන් දින 3ක් පුරා නව්‍යකරණ අදහස් සංවාද සහ වැඩසටහන් පැවති අතර,රටේ ව්‍යාපාර හා සමාජ ක්‍රියාකාරකම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඒ සඳහා සහභාගි විය. දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ තිරසර වර්ධනයකට දායක වීම සහ අනාගතය අරමුණු කරගත් නවීකරණ ආර්ථිකයක් ගොඩනැංවීමට දායකත්වය ලබාදීම Hatch අරමුණ වේ.

මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් 75%කට වැඩි ප්‍රතිශතයක් ආවරණය කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථිකයේ ජීවනාලිය බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. අවසන් වරට පළවූ වාර්ෂික වාර්තාවට අනුව, මෙම ව්‍යාපාර රටේ රැකියා අවස්ථාවලින් අඩකට වඩා නිර්මාණය කර ඇති අතර දළ ජාතික නිෂ්පාදනයෙන් 52%ක දායකත්වයක් ලබා දෙයි. අලුතින් බිහිවෙමින් පවතින මෙම ව්‍යාපාර සඳහා සුදුසු ආකාරයේ දියුණු සම්පත් සහ කාර්යාල අවකාශයන් ලබා ගැනීමේ විවිධ දුෂ්කරතා පවතී. තොරතුරු තාක්‍ෂණය සමග පිබිදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් ගොඩනැඟෙන ලෝකයේ අනෙකුත් රටවල ආර්ථිකයන්ටද මෙය පොදු තත්ත්වයකි.

කොළඹ නගර මධ්‍යයේ පිහිටි Hatch Colombo කේන්ද්‍රය මෙම දුෂ්කරතාවට මනා විසඳුමක් වනු ඇත. 20 වන සියවසේ ආරම්භයේ සිටම කොළඹ උසම ගොඩනැඟිල්ල ලෙස සැලකුණු, සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව සැකසුණු අලංකාර ගොඩනැඟිල්ලක, අතිනවීන පහසුකම් සහිතව සැලසුම් කර ඇති මෙම සමූහ සම්පත් සහ කාර්යාල අවකාශය අතීතයත් වර්තමානයත් අනාගතයත් එකට මුසුවන අපූර්ව ස්ථානයකි. වර්ග අඩි 60,000ක ඉඩකඩකින් යුත් මෙම ගොඩනැඟිල්ල එකවර 1,000කට අධික පිරිසකට සේවා පහසුකම් ලබාදීමට සමත්ය. එමෙන්ම ශ්‍රවණාගාර, ආපනශාලා, විවේක ස්ථාන, මුද්‍රණ හා පිටපත් පහසුකම්, ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම්, ඩිජිටල් නිර්මාණ අවකාශයන් පමණක් නොව, අවශ්‍ය නම් කෙටි නින්දක් ලබාගැනීමට වුවද පහසුකම් මෙහි ඇත.

‘‘මේ ගොඩනැඟිල්ල දීර්ඝ ඉතිහාසයක් ඇති ගොඩනැඟිල්ලක්. ඒ අතීතයට සාධාරණත්වයක් ඉෂ්ට කිරීමට මට අවශ්‍ය වුණා. ස්වභාවිකවම මෙය ඉතා අලංකාරවත් ගොඩනැගිල්ලක් නිසා, ඒ සඳහා අපට වැඩි මහන්සියක් දැරීමට සිදුවුණේ නැහැ. අතීතයේ පැවති ඒ කලාත්මක අගය එලෙසින්ම පවත්වාගනිමින් එය අලුත්වැඩියා කිරීමට අප කටයුතු කළා.” Hatch අධ්‍යක්ෂිකා බ්‍රින්දා සෙල්වදුරෙයි මහත්මිය පවසයි.

නම්‍යශීලී සාමාජිකත්ව ක්‍රමයක් යටතේ මෙම ගොඩනැඟිල්ලේ පහසුකම් වෙන්කරවා ගැනීම සිදුකළ හැකිය. අවශ්‍ය ආකාරයට කාර්යාල මේස ආදිය එක්කර ගනිමින් නිදහසේ ඉඩකඩ හසුරුවා ගත හැකි අතර පුද්ගලික රැස්වීම් කාමර වැනි පහසුකම්ද භාවිත කළ හැකිය. දිවා, සවස් හෝ සති අන්ත ඕනෑම කාලවේලාවකදී සාමාජිකයන්ට මෙම පහසුකම් භාවිත කිරීමට පුළුවන.

Hatch යනු ජීවන් ඥානම් සහ නාදන් සිවගනනාදන් යන තරුණ ව්‍යවසායකයන් දෙදෙනාගේ නිර්මාණාත්මක සංකල්පයක් ක්‍රියාවට නැඟීමකි. හුදෙක් කාර්යාල අවකාශ සැපයීමෙන් නොනැවතී, ආරම්භක මට්ටමේ ව්‍යාපාරවලට අවශ්‍ය සියලු පහසුකම් පවතින අවකාශයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ විය.

‘‘මෙය ආරම්භක මට්ටමේ ව්‍යාපාරවලට සම-කාර්යාල අවකාශයක් ලෙස භාවිත කළ හැකි ස්ථානයක්. එමෙන්ම එය එක්ව දියුණුව කරා ගමන් කිරීමට සූදානමින් සිටින සාමාජිකයන් පිරිසකගේ එකමුතුවක් විදිහටත් හැඳින්වීමට පුළුවන්.” Hatch සම නිර්මාතෘ සහ Orian Cityහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජීවන් ඥානම් පවසයි.

‘‘වසර ගණනාවක සැලසුම්වලින් අනතුරුව මේ ආකාරයට Hatch එකමුතුව සමග එක්වීමට ඔබට අවස්ථාව ලබාදීමට හැකිවීම අපට විශාල සතුටක්. සමාන අදහස් ඇති පිරිසකගේ සමීප එකමුතුවක් වන මෙය රටේ අනාගත ව්‍යාපාර ක්ෂේත්‍රයේ බෙහෙවින් කැපීපෙනෙන සන්ධිස්ථානයක් බවට පත්වේවි.” Hatch සම නිර්මාතෘ සහ MAS Holdingsහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී නාදන් සිවගනනාදන් පවසයි.

විශ්වවිද්‍යාල, දේශීය හා විදේශීය සමාගම් සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සමග එක්වී නව ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමට Hatch කටයුතු කරනු ඇත. ව්‍යාපාර දියුණු කිරීමේ වැඩසටහන්, ව්‍යාපාරික සම්බන්ධතා පුළුල් කරගැනීම සඳහා අවස්ථා සැලසෙන සම්මන්ත්‍රණ සහ උත්සව, අලෙවිකරණ සහ මානව සම්බන්ධතා කටයුතු සඳහා සහාය, තොරතුරු තාක්ෂණ, පරිගණක සේවා සහ දේශීය ජාත්‍යන්තර උපදේශන සේවාවන් මෙන්ම වැඩමුළුද Hatch සේවා ලැයිස්තුවට ඇතුළත්ය.

කොළඹ පිහිටි කාර්යාලයට අමතරව උතුරු ප්‍රදේශය වෙනුවෙන් මේ වනවිට Hatch Kalam සමූහ සම්පත් අවකාශයද දැන් විවෘතව පවතී. ඉදිරියේදී ප්‍රාදේශීය හා කලාපීය මට්ටමින් තවත් කේන්ද්‍රයන් ඇතිකිරීම Hatch සමාගමේ ඉලක්කය වේ.

මාතෘකා