ඩිජිටල් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් Headstart

 ඡායාරූපය:

ඩිජිටල් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් Headstart

පාසල් කාලය තුළදී මෙන්ම පාසල නිමවීමෙන් පසුව සිසුන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීම සඳහා කොළඹ ප්‍රධාන පාසල් දෙකක් Headstart (Pvt) Ltd සමාගම සමඟ එක්ව ඩිජිටල් අධ්‍යාපන පද්ධතිය අදාළ විදුහල්වලට හඳුන්වා දී තිබේ.

මේ අනුව, කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සහ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය යන බාලිකා පාසල් දෙකේ මෙම ඩිජිටල් අධ්‍යයන ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන අතර තෝරා ගත් පාඩම් සහ පාඨමාලාවන් අනුව සැකසූ අධ්‍යයන ලේඛන වෙත අන්තර්ජාලය තුළින් පිවිසීමට මෙහි දී අවස්ථාව ලබා දී තිබෙන බව සමාගම සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඊ-ඉගෙනුම් විසඳුම් සම්පාදකයා වන Headstart සමාගම මෙම අධ්‍යයන කළමනාකරණ පද්ධති සංවර්ධනය කර හඳුන්වාදීමට අමතරව අන්තර්ජාල වෙබ් අඩවි සඳහා අන්තර්ගතයන් සකස් කිරීමටත් දැනට දෘඩ පිටපත් (Hard Copy) ලෙස පවතින අධ්‍යයන වාර්තා ඩිජිටල් මාධ්‍යට රැගෙන ඒමටත් මෙම පාසල්වල ගුරුවරුන් පුහුණුකර ඇත.

එසේම මෙම අධ්‍යයන වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීමට සිසුන් ඉක්මනින් යොමු කිරීම සඳහා සිසුන් සහ මවුපියන් ඒ පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය කෙටි පණිවුඩ සහ ඊ-මේල් නිර්මාණය කිරීමටද සමාගම විසින් මෙම පාසල්වලට සහයෝගය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් අධ්‍යයන සවිබල ගන්වන්නා වන Headstart සමාගම විසින් මේ වන විට රජයේ පාසැල් 200කට වැඩි ගණනක 'Smart School' වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර මේ සඳහා කොමර්ෂල් බැංකුව, මයික්‍රොසොෆ්ට් සහ ඩයලොග් ව්‍යාපෘති පාර්ශ්වකරුවන් ලෙස සම්බන්ධව සිටී. මේ අතර සමාගම නිවේදනය කර තිබෙන්නේ මේ ආකාරයේම අධ්‍යයන කළමනාකරණ පද්ධති සහ අන්තර් සහභාගීත්ව අධ්‍යයන අන්තර්ගතයන් මෙන්ම ඩිජිටල් පරිවර්තන සේවා තවත් පුද්ගලික පාසල් කිහිපයකටම හඳුන්වාදීමට සමාගම කටයුතු කරමින් සිටින බවයි.

කැමැත්තක් දක්වන පාසල් සඳහා මෙම අධ්‍යයන කළමනාකරණ පද්ධති සහ ඩිජිටල් පරිවර්තන සේවා සාධාරණ මිලකට ලබා දෙන බව ද සමාගම සඳහන් කර තිබේ.

 

මාතෘකා