තේ කර්මාන්තයේ අර්බුදයට ඇමැති නවීන්ගෙන් විසඳුම්

 ඡායාරූපය:

තේ කර්මාන්තයේ අර්බුදයට ඇමැති නවීන්ගෙන් විසඳුම්

තේ කර්මාන්තශාලා නගා සිටුවීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනවල ප්‍රධානීන් සහ තේ කර්මාන්තශාලා හිමියන් අතර සාකච්ඡාවක් අද 2019.07.09 දින වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදු විය.

තේ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා කටයුතු කරන තේ කර්මාන්ත ශාලා හිමියන් මේ වන විට මූල්‍ය ක්ෂේත්‍රයන් හරහා කර්මාන්තශාලා සංවර්ධනයට, තේ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය වන වාහන යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම් වැනි කටයුතු වෙනුවෙන් ලබා ගත් ණය මුදල් ගෙවීම් පිළිබඳ මුහුණ පා සිටින ගැටලුවට රාජ්‍ය, පෞද්ගලික හා අනෙකුත් මූල්‍ය ක්ෂේත්‍රය හරහා සහනදායී ක්‍රමයක් සලසා ගැනීමේ බලාපොරොත්තුවෙන් රාජ්‍ය, පෞද්ගලික හා අනෙකුත් මූල්‍ය ක්ෂේත්‍රයන්හි නිලධාරී හා තේ කර්මාන්තශාලා හිමියන් අතර දීර්ඝ සාකච්ඡාවක් මෙහි දී සිදුකෙරිණි.

එහි දී ගරු අමාත්‍යවරයා විසින් තේ කර්මාන්ත ශාලා හිමියන් තනි තනිව ගෙන ඔවුන්ට අදාළ ණය ප්‍රමාණයන් පිළිබඳ හා ඔවුන් ඒ වෙනුවෙන් බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ සහනයක්ද යන්න සාකච්ඡාවට ගත් අතර එහි දී අමාත්‍යවරයා විසින් අදාළ මූල්‍ය ප්‍රධානීන් සමඟ ඔවුන් සඳහා ගත හැකි සහන ක්‍රමවේදයන් මොනවාද? යන්න පිළිබඳ විමසීම් කිරීමක් සිදුවිය.

තේ කර්මාන්තශාලා හිමියන් සියලුම දෙනා පොදුවේ සාකච්ඡාවට ලක් කළ කරුණක් වූයේ තේවලට සීනි කලවම් කිරීම්, විවිධ කර්මාන්තශාලා හිමියන් වැඩි වශ‍යෙන් මුදල් ගෙවමින් අනවශ්‍ය ආකාරයෙන් තේ දළු ඉහළ මිලකට මිල දී ගැනීම් (එය ගොවියාට හිතකර වුවද කර්මාන්තයේ බිඳ වැටීමට හේතුවක් වන බව ඔවුහු පැවැසූහ.) වැනි විවිධ වූ කාරණා හේතුවෙන් තේ කර්මාන්තශාලාවලට පොදුවේ ගැටලුවක්ව පවතින බවත් මේ කාලවකවානුව තුළ තේ ආර්ථිකයේ යම් බිඳ වැටීමක්ද හේතුවෙන් තේ ආදායම් පහළ බැස ඇති නිසා තමන් විසින් ලබා ගත් ණය ප්‍රමාණ ගෙවීමේ යම් අපහසුතාවකට පත්ව ඇති බවත්ය. එසේම ආදායම් බදුවල ඉහළ යාම, 7% -8% ප්‍රමාණයන්ගෙන් පැවැති පොළී අනුපාතිකය මේ වනවිට 12% - 14% ප්‍රමාණයන් ගෙන් ඉහළ යාම යන කරුණුද ප්‍රභලව බලපා ඇති බව පෙන්වා දුනි.

ඒ අනුව ඔවුන් ණය ලබා ගත් රාජ්‍ය පෞද්ගලික හා අනෙකුත් මූල්‍ය ආයතන සඳහා ණය ගෙවීම් පැහැර නොහරින බව සඳහන් කළ අතර සමහර කර්මාන්ත ඇති වූයේද එම රාජ්‍ය, පෞද්ගලික හා අනෙකුත් මූල්‍ය ආයතන හරහා බව තේ කර්මාන්තශාලා හිමියන් තම ප්‍රසාදය ඔවුන් වෙත පල කළ අතර වර්තමානය වන විට උද්ගතව ඇති ගැටලු හේතුවෙන් තමන් හට දැනට ශේෂව ඇති මුදල ගෙවීමට අවුරුද්දක් හෝ දෙකක් සහන කාලයක් ලබා දෙන ලෙසත් බැංකු ණය පොළී අනුපාතිකය පහළ දැමීමට අවශ්‍යද කටයුතු ඉටු කර දෙන ලෙසත් ඉල්ලීමක් කළහ.

සමහර තේ කර්මාන්තශාලා හිමියන්ගේ කර්මාන්තශාලා හා තේ කර්මාන්තශාලා සඳහා ලබා ගත් වාහන මේ වන විට වෙන්දේසි කිරීමට යොදා ඇති බැවින් ඒ වෙනුවෙන් සහනයක් බලාපොරොත්තු වන බවත් තමන් ලබා ගත් ණය අලුත් කිරීමකට ලක් කර බැංකු හරහා සහනයක් ලබා දීමට කටයුතු සලසා දෙන ලෙසත් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව අමාත්‍යරයා විසින් රාජ්‍ය, පෞද්ගලික හා අනෙකුත් මුල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සමඟ මේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ දී දැනට ශේෂව ඇති මුදල ගෙවීම සඳහා මේ වන විටත් සමහර තේ කර්මාන්තශාලා හිමියන් හට සහන කාල ලබා දී ඇති බවත් එසේ නොමැති අය සඳහා එම සහනය ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් තේ ක්ෂේත්‍රය පිළිබඳ ගැටලු ඉදිරිපත් කිරීමේ දී තේ කර්මාන්තශාලා හිමියන් අමාත්‍යවරයා විසින් තේවලට සීනි හා යම් යම් රසායනික ද්‍රව්‍යය එක් කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය හරහා ගෙන ඇති නව ක්‍රියාපටිපාටීන් ගැන ප්‍රසංසාව පල කළ අතර තේ කර්මාන්තයේ පැවැත්ම හා "සිලෝන් ටී" නාමයේ අනාගතය වෙනුවෙන් ඊට වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන මෙන් ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාව සඳහා තේ කර්මාන්තශාලා හිමියන් 20 දෙනකු පමණද රාජ්‍ය, පෞද්ගලික හා අනෙකුත් මුල්‍ය ආයතන 15ක පමණ නිලධාරී මහත්ම මහත්මීන්ද වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ.ඒ.රංජිත් මහතා, අතිරේක ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතා හා තේ කොමසාරිස් ඊ.ඒ.ජේ.කේ. එදිරිසිංහ මහතාද සහභාගී වූහ.

මාතෘකා