JMC ජාත්‍යන්තර පාසල් ජාලය 21 වසරක් සමරයි

 ඡායාරූපය:

JMC ජාත්‍යන්තර පාසල් ජාලය 21 වසරක් සමරයි

1998 වර්ෂයේදී කීර්තිමත් අධ්‍යාපනඥයකු වන දේශමාන්‍ය, දේශකීර්ති JMUB ජයසේකර මහතා විසින් JMC ජාත්‍යන්තර පාසල ආරම්භ කරන ලද්දේ බොහෝ අය එය කළ නොහැකි දෙයක් බවට ඒත්තු ගන්වා තිබූ වකවානුවකය. එකල ජාත්‍යන්තර පාසල් වර්තමානයේ තරම් ව්‍යාප්තව නොතිබූ අතර පැවැති ජාත්‍යන්තර පාසල් කිහිපයද තෝරාගත් පැළැන්තියකට සීමා වුණු ඒවා විය. කොත්මලේ වැනි ඉතා දුෂ්කර පළාතකින් කොළඹට පැමිණ ජීවිතය ජය ගත් ජයසේකර මහතා තුළ සිහිනයක් විය.

"අධ්‍යාපනය ඇති හැකි අයට පමණක් සීමා විය යුතු නැත්තේය. එය විශ්වීය අයිතියකි. මා නොලද ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය මාගේ අනාගත පරපුර ලැබිය යුතුමය" යන එම සිහිනය ඔස්සේ යමින් ළමයින් තිස් දෙදෙනකුගෙන් (32) ඉතාමත් කුඩාවට ජාත්‍යන්තර පාසල අරඹන ලද්දේ කොළඹ 09 ප්‍රදේශයේදීය.

ඒ ඇරඹි ගමන තුළ අද වන විට ශාඛා ජාලය ලංකාව පුරා දිස්ත්‍රික්ක 12ක, මධ්‍යස්ථාන 20ක් දක්වා ව්‍යාප්ත වෙමින් මහරගම, හැව්ලොක් ටවුන්, කිරිබත්ගොඩ, රත්නපුර, කළුතර, බණ්ඩාරවෙල, ගම්පහ, මීගමුව, අංගොඩ, කඩුවෙල, කුරුණෑගල, නිට්ටඹුව, කෑගල්ල, පොළොන්නරුව, මහනුවර, ගම්පොළ, අම්පිටිය, කොත්මලේ, පේරාදෙණිය යනාදී ප්‍රදේශයන් හි දී ජනතාව වෙත සමීප විය. එදා ළමයින් 32කින් ඇරඹි කුඩා ජාත්‍යන්තර පාසල, අද ළමයින් 5, 000ක ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී ලාංකේය ප්‍රජාවට අමිල සේවයක් ඉටු කරමින් සිටී.

එදා පළමුව JMC වෙත පැමිණි ළමයින් 32න් එක් ශිෂ්‍යයකු JMC වෙතින් උසස් අධ්‍යාපනය ලබා, උපාධි ඇතුළු සුදුසුකම් සම්පූර්ණ කර, JMC වෙතින්ම වරලත් ගණකාධිකරණය හදාරා, වයස අවුරුදු 26දී වරලත් ගණකාධිකාරිවරයකු විය. ඔහු නමින් තරිඳු පෙරේරා වෙයි. අද ඔහු මැදපෙරදිග ජාත්‍යන්තර විගණන සමාගමක විගණන කළමනාකරුවකු ලෙස සේවය කරයි. එලෙසින්ම JMC ජාත්‍යන්තර පාසල් ජාලයේ ආදි සිසුන්, උපාධිධාරීන්, නීතීඥයන්, ව්‍යවසායකයන්, කළමනාකරුවන් හා ප්‍රධාන විධායක නිලධාරීන් දක්වා ඉහළ තනතුරු තෙක් ගමන් කිරීමට හැකිවීම JMC, 21 වසරක් තුළ ඉටු කළ සේවයේ ප්‍රතිඵලයන්ය.

2017 වර්ෂයේදී ලංකාවේ හොඳම අධ්‍යාපන ව්‍යවසායකයා ලෙස ජනාධිපති සම්මානයට පත්වුණු JMUB ජයසේකර මහතා, අද වන විට JMC ව්‍යාපාර ජාලය සිය දෙවන පරපුර නියෝජනය සිය දූ පුතුන් වෙත දායාද කර JMC ආයතනයේ සභාපති ලෙසින් ආයතනයේ දියුණුවට අනුශාසකත්වය ලබා දේ.

"අපේ කම රැකගත් ජාත්‍යන්තර පාසල" යන්න ජාත්‍යන්තර පාසලේ තේමාවය. තේමාවෙන් පැවසන පරිදි දේශීය සංස්කෘතික වටිනාකම් අගයන දරු පරපුරක් බිහි කිරීම JMCහි අරමුණයි. JMC ජාත්‍යන්තර පාසල් ජාලය තුළ මවුපියන්, ගුරුවරුන් හා වැඩිහිටියන්ට ගරු කිරීම, කළගුණ සැලකීම, ආගමානුකූලව ජීවත් වීම, ජාතීන් හා ආගම් අතර සහජීවනය වර්ධනය කිරීම, දේශීය වටිනාකම් සහිත දින උත්සවශ්‍රීයෙන් සැමරීම යනාදිය තුළින් ඔවුන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වෙනත් මානයක් බිහි කර ඇත. විනයගරුක බුද්ධිමත් පරපුරක් දැයට දායාද කිරීමේ උතුම් අරමුණකින් JMC ජාලය තුළට අත්දැකීම් බහුල, සුදුසුකම්ලත් විදුහල්පතිවරුන් සහ ආචාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇත. ජයසේකර මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය මඟින් බොහෝ කාලයක් සහ වෙහෙසක් ගෙන සම්පාදනය කරන වාර්ෂික සැලැස්මක් අනුව යමින් ඉතා ක්‍රමානුකූලව JMC ජාත්‍යන්තර පාසල් පද්ධතිය පාලනය කෙරේ.

මාතෘකා