DSI Tyres වෙතින් මෙරටට Hankook රේඩියල් ටයර්

 ඡායාරූපය:

DSI Tyres වෙතින් මෙරටට Hankook රේඩියල් ටයර්

රේඩියල් ටයර් වෙළෙඳපොළේ නව පිටුවක් පෙරළමින් ලොව සුප්‍රකට Hankook ටයර් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැම්සන් රබර් කර්මාන්ත ආයතනය (DSI Tyres) පසුගියදා පියවර ගත්තේය. දශක ගණනාවක කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන දකුණු කොරියාවේ Hankook ටයර් සමාගම ලොව විශාලම ටයර් නිෂ්පාදන සමාගම් දහය අතර රැඳී සිටින අද්විතීය සමාගමකි. ආරක්ෂාව, දිගු කල් පැවැත්ම, පරිසර හිතකාමී බව සහ සුව පහසුව යන සියලු සාධක මනාව කැටි කර නවීන තාක්ෂණයට අනුව නිෂ්පාදනය කර ඇති Hankook රේඩියල් ටයර් වාහනයට නව පෙනුමක් සහ අගයක් එක් කරන නවෝත්පාදී කට්ට රටා රැසකින් හැඩ ගැන්වී ඇත. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට, දේශගුණික තත්ත්වයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන වාහනවලට Hankook ටයර් මනාව ගැළපෙන බව පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමෙන් පසුව ආනයනය කර ඇති නිසා එය විශ්වාසයෙන් යුතුව භාවිත කළ හැකිය.

DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ රණතුංග රාජපක්ෂ මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ දේශීය ටයර් වෙළෙඳපොළට ගුණාත්මකභාවයෙන් උසස් රේඩියල් ටයරයක් ලබා දීම අරමුණු කර ගනිමින් Hankook ටයර් වෙළෙඳපොළට ඉදිරිපත් කළ බවයි. වසර 30කට වැඩි ව්‍යාපාර ඉතිහාසයකට උරුමකම් කියන සැම්සන් රබර් කර්මාන්ත ආයතනය රටවල් 70කට අධික ප්‍රමාණයකට ටයර් අපනයනය කරමින් සහ දේශීය වශයෙන් බයිසිකල් ටයර්, මෝටර් සයිකල් ටයර්, ත්‍රීවීල් ටයර්, කෘෂිකාර්මික ටයර් සහ ටියුබ් අලෙවි කරමින් ඉතා ඉහළ වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියයි. සමාගම සතුව දැවැන්ත බෙදා හැරීමේ ජාලයක් පවතින නිසා දිවයින පුරා පිහිටි ටයර් වෙළෙඳසැල්වලින් Hankook ටයර් මිලට ගත හැකිය.

මාතෘකා