නැඟී එන වෙළෙඳපොළ විශේෂඥ ආචාර්ය මාර්ක් මෝබියස් ශ්‍රී ලංකාවට

 ඡායාරූපය:

නැඟී එන වෙළෙඳපොළ විශේෂඥ ආචාර්ය මාර්ක් මෝබියස් ශ්‍රී ලංකාවට

ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු වන ආචාර්ය මාක් මෝබියස් මහතා ඊයේ (09) ශ්‍රී ලංකාවට පැමිණියේය. කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life විසින් සංවිධානය කරන ව්‍යාපාරික සමුළුවකට සහභාගි වීම සඳහා ඔහු මෙරටට පැමිණ තිබේ.

ආචාර්ය මොබියස් වසර 30කට වැඩි කාලයක් Franklin Templeton Investments හි සේවය කළ අතර ටෙම්පල්ටන්හි නැඟී එන වෙළඳපොළ සමූහයේ විධායක සභාපති ලෙස කටයුතු කළේය.

ඔහුගේ සේවා කාලය තුළ සමූහය කළමනාකරණ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 100 සිට ඇමරිකානු ඩොලර් බිලියන 50 දක්වා පුළුල් කළ අතර ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ නැඟෙනහිර යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් නැඟී එන වෙළෙඳපොළ අරමුදල් ගණනාවක් දියත් කළේය.

2015ට පෙර ඔහුගේ Templeton අරමුදල මෙරට රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේද කැපී පෙනෙන ආයෝජකයකු විය. 2018 වර්ෂයේදී එම අරමුදලින් විශ්‍රාම ගත් ආචාර්ය මාර්ක් මෝබියස් 'මෝබියස් කැපිටල් පාට්නර්ස්' සමාගම ආරම්භ කළේය.

එබැවින් ඔහු එක්වන මෙම ආයෝජක සමුළුව, ශ්‍රී ලංකාව ආයෝජන ගමනාන්තයක් ලෙස විදෙස් ආයෝජකයන්ගේ උනන්දුව මෙරට වෙත යොමුකරවා ගැනීමට බොහෝ සෙයින් උපකාරී වනු ඇත.

මේ අතර 2019 නොවැම්බර් 20 දින සිට නොවැම්බර් 27 දින දක්වා සතියක කාලපරිච්ඡේදය තුළදී රජයේ සුරැකුම්පත්හි විදෙස් ආයෝජන ප්‍රමාණය රුපියල් මිලියන 4,279කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.

News Order: 
2
මාතෘකා