අඩු වරප්‍රසාදලාභී දරුවන් සඳහා පැල්වත්ත සමාගමෙන් කිරිපිටි

 ඡායාරූපය:

අඩු වරප්‍රසාදලාභී දරුවන් සඳහා පැල්වත්ත සමාගමෙන් කිරිපිටි

වසර ගණනාවක් පුරාවට ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත තත්ත්වයට ගෙන ඒම සඳහා ඇප-කැප වෙන ශ්‍රී ලංකාවේ 100% දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම කිරි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තවල නිරතව සිටින අයගේ ජීවිත නඟාසිටුවීම සඳහාද උත්සහ දරයි. සමාගමේ ආයතනික සමාජ වගකීම් ව්‍යපෘතියේ මූලාරම්භයක් ලෙස බදුල්ල ප්‍රදේශයේ අඩු වරප්‍රසාදලාභී දරුවන්ට කිරි පිටි පරිත්‍යාග කිරීම මෑතක දී සිදු විය.

බදුල්ල කතෝලික පල්ලියේ ක්‍රියාකාරී හස්තය වන ඌව සමාජ හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හට ආධාර ලබාදීමට පැල්වත්ත කිරි සමාගම දායක විය. ගම්බද ප්‍රදේශවල හා වතුකරයේ වෙසෙන දරුවන් හට වරප්‍රසාද ලැබීම අතින් ඔවුන් කොන්වී ඇති බව හඳුනාගෙන ඇත. මෙම වැඩසටහන යටතේ පාසල් අටක සිසුන් 113 දෙනකු තෝරාගෙන ඇති අතර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉලක්ක කරගත් අමතර පන්තිද සතිපතා පැවැත් වේ.

"මෙම දරුවන්ගේ දෙමාපියන් බොහෝ දෙනෙක් ගොවීන් සහ කම්කරුවන් වන නිසා ඔවුන් හට අතිරේක ආහාර ලබා දිය නොහැකි බැවින් හා ඔවුන් හට පෝෂ්‍යදායී ආහාර නොමැති හේතුවෙන් මන්ද පෝෂණ තත්ත්වයට පැමිණීම කනගාටුවට කරුණක් බවත් මවුපියන් හා ගුරු කමිටු සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව දරුවන් සඳහා පෝෂ්‍යදායී ආහාර ලබා දීමට කටයුතු කළ බවත් බදුල්ල USCOD මධ්‍යස්ථාන අධ්‍යක්ෂ රවීන් පෙරේරා පියතුමා පැවසූ අතර එයින් වැදගත්ම කරුණ වනුයේ පැල්වත්ත කිරි සමාගම විසින් දරුවන් හට කිරිපිටි ලබා දීමට ඉදිරිපත් වීම බවත් ඔහු සඳහන් කළේය.

මාතෘකා