Citra සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය රාජ්‍ය අංශය සමඟ එක් වේ

 ඡායාරූපය:

Citra සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය රාජ්‍ය අංශය සමඟ එක් වේ

Citra සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය රාජ්‍ය පරිපාලනය, කළමනාකරණය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ SLIDA ආයතනය හවුල්කාරිත්වයෙන් 'රාජ්‍ය අංශයේ විශිෂ්ටත්වය උදෙසා දූරදර්ශීභාවය සහ නවෝත්පාදනය' නමින් දින පහක වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය වන සිට්රා (Citra) ආයතනය රාජ්‍ය පරිපාලන සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සමඟ එක්ව ‘රාජ්‍ය අංශයේ විශිෂ්ටත්වය උදෙසා දූරදර්ශී භාවය සහ නවෝත්පාදනය’ පිළිබඳ දින පහක වැඩමුළුවක් පැවැත්වූයේය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) සහයෝගීත්වයෙන් වන අතර ඒ සඳහා එක්සත් රාජධානියේ නවෝත්පාදන පහසුකමක් වන Nesta ආයතනයේ තාක්ෂණික විශේෂඥතාව ලබා ගෙන ඇත.

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඒකාබද්ධව දියත් කළ මුල පිරීමක් වන සිට්‍රා (Citra) ආයතනය සංවර්ධන විසඳුම් කඩිනම් හා සාකල්‍ය බව සහතික කිරීම සඳහා ආදර්ශ වැඩසටහන් සකස් කිරීම හා අත්හදා බැලීම පිණිස දූරදර්ශීභාවය හා නවෝත්පාදනය පිළිබඳ මෙවලම් යොදා ගනියි. එහි වැඩ කටයුතු ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවන්ට අනුකූල වන අතර සංවර්ධන විසඳුම් සම්පාදනය කිරීම සඳහා පුරවැසියන් වඩ වඩාත් සම්බන්ධ කර ගැනීමට එම ආයතනය කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් උදෙසා පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. පළමු අදියර දින පහක නේවාසික පුහුණු වැඩසටහනෙන් සමන්විත විය. මෙම වැඩසටහන ගැටලු විසඳීමේ ක්‍රමවේද, සංවර්ධනය ආශ්‍රිත නවෝත්පාදනය, ඒකාබද්ධ විසඳුම්, පරිශීලකයන් ගමන් කරන දිසාව අවබෝධ කර ගැනීම සහ සැලසුම්කරණ චින්තන ක්‍රමෝපායන් යනාදි අංශ ගණනාවකට අදාළ නිපුනතාවන් හා මෙවලම්වලින් රාජ්‍ය නිලධාරීන් සන්නද්ධ කළේය.

දෙවන අදියර මෙම වැඩසටහනෙන් පසුව ආරම්භ වන අතර එහි දී නිලධාරීන් මෙම පුහුණුව හරහා ලබාගත් නිපුණතාවන් හා මෙවලම් යොදා ගනිමින් එළඹෙන මාසවල දී ක්‍රියාත්මක කිරීම සඳහා සුළු පරිමාණ ව්‍යාපෘති සැලසුම් කරනු ඇත. අවසන් හෙවත් තුන් වන අදියරේ දී මෙම නිලධාරීන් තමන්ගේ අත්දැකීම් හා ප්‍රතිපෝෂණ බෙදාහදා ගැනීම පිණිස දෙදින සාරාංශ කිරීමේ සැසියක් සඳහා නැවත රැස් වනු ඇත. මෙම නියමු වැඩසටහනෙන් පසුව SLIDA සමඟ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිට්‍රා (Citra) ආයතනය අපේක්ෂා කරයි.

මාතෘකා