සුළු පරිමාණ ව්‍යාපාර 10 000ක් ජාත්‍යන්තරයට ගෙන යාමේ ෆේස්බුක් මෙහෙයුම

 ඡායාරූපය:

සුළු පරිමාණ ව්‍යාපාර 10 000ක් ජාත්‍යන්තරයට ගෙන යාමේ ෆේස්බුක් මෙහෙයුම

සාම්ප්‍රදායික හෝ නූතන ව්‍යාපාර නව්‍ය විකුණුම් ක්‍රම සහ මාධ්‍ය භාවිත කරමින් දේශීය නිෂ්පාදක ලෝකයට විවෘත කිරීම මේ වනවිට ලෝකය පුරා වේගයෙන් සිදුවෙමින් පවතී. ලොව වැඩිම පිරිසක් භාවිත කරන සමාජ ජාල මාධ්‍ය වන ෆේස්බුක් මෙලෙස දේශීය නිෂ්පාදන සහ සේවා ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා වඩා පුළුල් සහ දියුණු වේදිකාවක් ගොඩනගා ඇත.

දකුණු ආසියාවේ සන්නිවේදන තාක්ෂණය වඩාත්ම දියුණු රටක් ලෙස ශ්‍රී ලංකාව දැනටමත් මෙලෙස කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ජාත්‍යන්තර තලය දක්වා ගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ඇත. දැන් අපට අවශ්‍ය වන්නේ එම ව්‍යාපාර ක්‍රමවත්ව මෙම නව තාක්ෂණයන් සමඟ සම්බන්ධ කිරීමට පහසුකම් සහ උපදේශනය ලබා දීමයි.

එලෙස සාම්ප්‍රදායික විකුණුම් ක්‍රම කෙරෙහි පමණක් විශ්වාසය තබා ඇති ව්‍යාපාරික ප්‍රජාවට සමාජ මාධ්‍ය විකුණුම් අවස්ථා විවර කර ගනීමේ අවස්ථාවක් උදා වී ඇත.

ෆේස්බුක් සමාගම ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක කරන ‘ඔබගේ ව්‍යාපාරය වැඩි දියුණු කර ගන්න’ (Boost Your Business)වැඩසටහනට දැන් ශ්‍රී ලංකාවේ තරුණයන්ට හා ව්‍යවසායකයන්ට ද සම්බන්ධ විය හැකි ය. රට තුළ ක්‍රියාකාරී සුළු ව්‍යාපාර හිමියන්ගේ හැකියාව හඳුනා ගත් ෆේස්බුක් සමාගම 2018 අවසන් වන විට රට පුරා සුළු පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් 10,000ක් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය(ICTA) සමග හවුල් වී ඇත. පළමු අදියරේ දී මෙම වැඩසටහන කොළඹ, ගාල්ල, මහනුවර හා යාපනය ආවරණය කරනු ඇත. එහි පළමු අදියරේ පළමු වැඩසටහන් ඊයේ (16දා) කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්විණ.

නොමිලේ පැවැත්වුණ මෙම වැඩමුළුවේදී වැඩමුළුවේදී ඩිජිටල් පැවැත්මක් ගොඩ නගා ගත හැකි ආකාරය, වෙළඳ පොළ ප්‍රවේශය සලසා ගැනීම සඳහා ජංගම ආර්ථිකය (mobile economy) යොදා ගත හැකි ආකාරය සහ තම ව්‍යාපාර වර්ධනය කර ගත හැකි ආකාරය සහභාගිකයන්ට ඉතාම සිත්ගන්නාසුලු ශ්‍රව්‍ය දෘශ්‍ය උපක්‍රම භාවිත කරමින් පැහැදිලි කිරීමට සම්පත් දායකයන් කටයුතු කරනු ලැබීය.

මුල් අවදියේ ඇති ව්‍යාපාර (starup businesses) වල නියුතු තරුණ ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් මෙම සමුළුවට සහභාගි වූ අතර තාක්ෂණික ගැටලු පිළිබඳ ඔවුන්ට ඇති ගැටලු විසඳා ගැනීමට ෆේස්බුක් කණ්ඩායම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබා දීම, ඉතාම වැදගත් මානයන්ට සාකච්ඡාව ගෙනයාමට සමත් විය. එමෙන්ම විද්‍යුත් වාණිජ්‍යය ගැන ඇති ජාතික ප්‍රතිපත්ති පිළිබඳව ඇති වූ ගැටළු වලට පිළිතුරු සැපයීමට රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදයකයන් ලෙස අමාත්‍යවරුද තොරතුරු තාක්ෂණ නියෝජිතයන්ගේ සභාපතිවරයාද කටයුතු කිරීම සාකච්ඡාව තවත් හරවත් කිරීමට සමත් වූහ.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය හරහා ක්‍රියාත්මක වන 'සුහුරු සමාජ කව' (smart social circle) නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම සමුළුවට සහභාගි වීම ශ්‍රී ලංකාවේ විද්‍යුත් වානිජ ක්ෂේත්‍රය නිවැරදි දෙසට යොමුව ඇති බවට කදිම සාධකයකි.

ෆේස්බුක් සතු මූලික විශේෂාංග පිළිබඳ වඩා වැදගත් සහ ගැඹුරු පැහැදිලි කිරීම් සිදු කෙරිණ. වඩාත් ආකර්ෂණීය වීඩියෝ සහ පින්තූර පහසුවෙන් සකසා ගන්නා ආකාරය පිළිබඳ ඉඟි ලබා දීමට ෆේස්බුක් කණ්ඩායම කටයුතු කළ අතර ඉලක්කගත ගනුදෙනුකරුවන් වෙතට ඒවා දැන්වීම් ආකාරයෙන් වඩාත් ඵලදායිව යොමු කරන ආකාරය ගැනද සවිස්තරාත්මකව පැහැදිලි කෙරිණ.

මේ වනවිට ෆේස්බුක් සතුව බිලියන 2.2ක ගිණුම් සංඛ්‍යාවක් ඇත. එමෙන්ම වට්ස්ඇප්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සන්නිවේදන ජාලද විකුණුම් මාධ්‍යයක් ලෙස යොදා ගැනීමේ වැඩි ශක්‍යතාවක් ඇත. මෙම ප්‍රමාණයක් දිනෙන් දින ඉහළ යන පසුබිමක පේ පෑල් (PayPal) වැනි ගෙවීම් වේදිකා (Payment Platform) වලට මෙරට තුළ අවස්ථාව ලබාදීමටද හැකි නම්, මෙරට කුඩා හා මධ්‍යැම පරිමාණ ව්‍යාපාරිකයන් ඉතා අඩු පිරිවැයකින් ජාත්‍යන්තර වෙළෙඳපල දක්වා ඔසවා තැබීය හැකි දිනය වැඩි ඈතක නොවේ.

ෆේස්බුක් දකුණු සහ මධ්‍යම ආසියාව භාර ප්‍රජා ප්‍රතිපත්ති අධ්‍යක්ෂ අන්කි දාස් ප්‍රමුඛ ෆේස්බුක් කණ්ඩායම සංවිධානය කර තිබුණු මෙම වැඩමුළුව සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය රොහාන් සමරජීව ඇතුළු කණ්ඩායමද සංවිධාන දායකත්වය සපයා තිබිණි. විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, මුදල් සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ ජාතින ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහජන නියෝජිතයෝද සහභාගී විය.

[මංජුල සමරසේකර]

මාතෘකා