ආනයනික නිෂ්පාදනවලට වඩා ඉතා අඩු මිලකට අපි අලෙවි කරන්නේ

 ඡායාරූපය:

ආනයනික නිෂ්පාදනවලට වඩා ඉතා අඩු මිලකට අපි අලෙවි කරන්නේ

විදෙස් වෙළෙඳපලට යන්න අපි සූදානම්

 

යුජිකෝ පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ උජිත් කරුණාරත්න

සංවර්ධන ක්‍රමෝපායක් ලෙස විදෙස් විනිමය කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා සිටින රටක් ලෙස අප අපනයන කර්මාන්තවලට දිරිය ලබා දිය යුතුය. එවන් පසුබිමක දේශීය අමුද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිත කරමින් දැනට විදේශයන්ගෙන් වැඩි මිලට ආනයනය කරන නිෂ්පාදන ඉතා අඩු පිරිවැයකට දේශීය වෙළෙඳපලට ඉදිරිපත් කිරීමට මෙන්ම එම නිෂ්පාදන ඉහළ ප්‍රමිතියකින් යුතුව විදෙස් වෙළෙඳපලට යැවීමට සූදානම් දේශිය ව්‍යාපාරිකයෙකු අපට හමු විය. යුජිකෝ පුද්ගලික සමාගමේ කළාමනාකරණ අධ්‍යක්ෂ උජිත් කරුණාරත්න නම් වන ඔහු 'රැස' සමඟ ඇති වූ සංවාදය මෙසේ දක්වමු.

 

 මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතුණේ ඇයි?

මම සේවය කළේ ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනේරුවරයෙක් ලෙස පෞද්ගලික ආයතනයක. ඒ ආයතනයේ සේවය කරන අතරතුර මම බැංකු ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය යන්ත්‍ර කීපයක් නිර්මණය කළා. ඒ අතරතුර මාර්ග සංවර්ධන අධිකාරියෙන් මට යෝජනාවක් ආවා මාර්ග පිරිසිදු කිරීම් කටයුතු සඳහා අවශ්‍ය බුරුසු නිෂ්පාදනය කරන්න කියලා. ඒකට හේතුව තමයි ඒ බුරුසු මේ රටේ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒවා විශාල මුදලකට විදේශයන්ගෙන් ආනයනය කරන්නේ. ඒ නිසා මම තීරණය කළා මේ බුරුසු නිෂාදනය කරන යන්ත්‍ර නිර්මාණය කරලා ඒ හරහා මේ නිෂ්පාදනය දේශීය වෙළඳපොලට හඳුන්වා දෙන්න.

 මේ ව්‍යාපාරය ආරම්භ කිරීමේදී පැමිණි අභියෝග ගැනත් කියමු?

අභියෝග රැසක් මේ ව්‍යාපාරය හමුවේ තියෙනවා. අපිට තියෙන ලොකුම අභියෝගය තමයි විදේශීය නිෂ්පාදන. මේ වගේ බුරුසු නිෂ්පාදනය කරන්නේ චීනය, ඉතාලිය වගේ රටවල්. ඒ රටවල නිෂ්පාදන ප්‍රමිතිය මේ නිෂ්පාදනයේත් පවත්වාගෙන යාම අපිට ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම කල්පැවැත්ම, ගුණාත්මකභාවය මේ නිෂ්පාදනය තුල රඳවා ගැනීමට අපි උත්සාහා කරනවා. වසරක කාලයක් විතර අපි විවිධ පර්යේෂණ කරලා තමයි අපි මේ නිෂ්පාදනය කෙරුවේ.

 මේ නිෂ්පාදනයට තියෙන ඉල්ලුම කොයිවගේ ද?

ලොකු ඉල්ලුමක් තියෙනවා. ගොඩක් රාජ්‍ය ආයතනවලින් අපේ නිෂ්පාදනයට ඉල්ලුම වැඩියි. අපේ නිෂ්පාදනයේ තියෙන විශේෂත්වය තමයි විදේශයන්ගෙන් ආනයනය කරන නිෂ්පාදනවලට වඩා අවම මිලකින් තමයි අපි මේක අලෙවි කරන්නේ. ඒ නිසා මේ නිෂ්පාදනයට හොඳ වෙළඳපලක් තියෙනවා.

 ඔබ ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනේරුවරයෙක්. මේ නිෂ්පාදන සඳහා ඔබේ දැනුම ප්‍රයෝජනවත් වුණේ කොහොම ද?

මම සේවය කළේ ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනේරුවරයෙක් හැටියට. මේ නිෂ්පාදන හදන යන්ත්‍ර නිර්මාණය කළෙත් මමමයි. ගොඩක් පරිසර හිතකාමී ලෙස තමයි අපි මේ නිෂ්පාදනය කරන්නේ.

 ඔබේ ව්‍යාපාරයේ වර්ථමාන තත්ත්වය ගැන කිව්වොත්?

මේ නිෂ්පාදන කරන්න අපි පටන්ගත්තේ 2010 දි. 2015 වසරේ සිට මේ දක්වා ඉදි වෙමින් පවතින මාර්ග සහ ඉදි කෙරුණු මාර්ග සඳහා මේ නිෂ්පාදනය භාවිතා කෙරෙනවා. ඒ වගේම කියන්න ඕනේ අපේ අලුත්ම නිෂ්පාදනය ගැන. මේ යන්ත්‍රවලට සවි කරන බුරුසු නිෂ්පාදනයට අමතරව අපි ප්ලාස්ටික්වලින් ඉදලක් නිර්මාණය කළා. ඒ වගේම පොල් ඉරටුවලින් තවත් ඉදලක් අපි නිෂ්පාදනය කළා. මේ වන විට ඒ නිෂ්පාදනවලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. ලංකාවේ සන්නාම පවතින ආයතනත් දැන් අපෙන් මේ නිෂ්පාදනය මිලදී ගන්නවා. මේ වන විට සේවකයන් 20ක් සේවය කරනවා.

 ඔබේ මේ නව නිෂ්පාදන සඳහා ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වොත්?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් ආයතනවලින් මේ නිෂ්පාදන අගය කරනවා. විශේෂයෙන් අපේ ඉදල් නිෂ්පාදනවලට සාමාන්‍ය පාරිභෝගිකයාගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, මොනරාගල, කුරුණෑගල, අනුරාධපුර ආදී ප්‍රදේශවලට අපි අපේ නිෂ්පාදනය ව්‍යාප්ත කරලා තියෙන්නේ. ඒක ඉදිරියේදී පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා.

 මේ ප්ලාස්ටික් නිෂ්පාදනවලින් වෙන පරිසර හානියට ඔබට විසඳුමක් තියෙනවා ද?

අපේ නිෂ්පාදන අතරින් සමහර නිෂ්පාදන කරන්නේ ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරලා. ඒ නිසා මේ නිෂ්පාදනවලින් පරිසරයට හානි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ සඳහා අවශ්‍ය ප්ලාස්ටික් අපි විදේශයන්ගෙන් ආනයනය නොකර දේශීය වෙළඳපලෙන්මයි ගන්නේ.

ඊට අමතරව අපෙන් මිලදී ගන්නා නිෂ්පාදනවල තියන ප්ලාස්ටික් කොටස්, එම නිෂ්පාදනය භාවිත කර ඉවතලන අවස්ථාවේ නැවත භාරදී වට්ටමක් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට ලබාදී තිබෙනවා. එම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා යොමු කිරීමට අපි කටයුතු කරනවා.

 මේ ප්ලාස්ටික් නිෂ්පාදන අපනයනය කරන්නත් ඔබ බලාපොරොත්තු වෙනවා ද?

ඔව්. අපි මේ නිෂ්පාදන අපනයනය කරන්නත් සැලසුම් කරනවා. අපි අපනයන සංවර්ධන මණ්ඩලය හරහා ප්ලාස්ටික් හා ඉරටු ඉදල් සහ බුරුසු නිෂ්පාදන අපනයනය කරන්න වෙළඳපොලක් හෙව්වා. ඒ ලැබුණු තොරතුරු අනුව දැනට රටවල් 15ක් අපි හඳුනාගෙන තියෙනවා මේ නිෂ්පාදනය අපනයනය කරන්න.

 මේ ව්‍යාපාරය කරගෙන යාමේදී ගැටළු මතුවෙලා තියෙනවා ද?

මේ ව්‍යාපාරයට තියෙන ලොකුම ගැටළුව තමයි දේශීය නිෂ්පාදනයක් තිබියදී තවමත් විදේශයන්ගෙන් වැඩි මිලකට මේ නිෂ්පාදනය ආනයනය කරන එක. ප්‍රමිතියෙන් හොඳ අඩු මිලකට අපි මේ නිෂ්පාදනය අලෙවි කරද්දි පෞද්ගලික අංශයෙන් මේ නිෂ්පාදනය තාමත් විදේශයෙන් ආනයනය කරනවා. රාජ්‍ය මැදිහත් වෙලා ඒ සඳහා පියවරක් ගනියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

 ඔබ වගේ නව නිෂ්පාදන කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරිකයන්ට මොනාද කියන්න තියෙන්නේ?

ඔවුන්ට කියන්න තියෙන්නේ පුළුවන් තරම් දේශියව නව නිර්මාණකරණයට මුල්තැන දීලා කටයුතු කරන්න කියලා. ලෝකයේ දියුණු වූ හැම රටක්ම ගොඩනැඟුණේ දේශීය නව නිෂ්පාදන, දේශිය නව කර්මාන්ත අගය කරමින්. ඒ නිසා දේශීය නිෂ්පාදන හොඳ ප්‍රමිතියකින් විදේශීය වෙළඳපොලකුත් නිර්මාණය වෙන ආකාරයට නිෂ්පාදනය කරනවා නම් අපේ රට දියුණු කරන එක අපි අභියෝගයක් නෙමෙයි.

සංවාදය [නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා