මහබැංකුවේ නීතිය රකින්න IMF උදව් කරයි : - හර්ෂ ද සිල්වා

 ඡායාරූපය:

මහබැංකුවේ නීතිය රකින්න IMF උදව් කරයි : - හර්ෂ ද සිල්වා

වංචා සහ දූෂණවලට එරෙහිව සටන් කිරීමට හැකි වන පරිදි මහ බැංකුවේ නීතිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහය ලබාගැනීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය. 

පසුගිය සෙනසුරාදා පැවති රැස්වීමකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිතවරයා වන ආචාර්ය එට්රි ක්වින්ට්‍රේඩ්ස් හමුවේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස සහාය ඉල්ලා තිබේ.   

'බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සාරාංශයක් ඉදිරිපත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මහබැංකුවේ ප්‍රතිසංස්කරණ කළ යුතු බවට නිර්දේශ කරලා තියෙනවා' යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

'පවතින නීති දැඩි වෙනස්කම්වලට බඳුන් විය යුතුයි. එහෙම නැත්නම් අලුත් නීති සම්පාදනය කළ යුතුයි' යැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා මුදල් පනතේ සංශෝධනය විය යුතු අංශ පිළිබඳවද අදහස් දැක්වීය. 

'රජයත් සමඟ පෙර පැවති සාකච්ඡාවලට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විටත් කෙටුම්පත් කීපයක් සකස් කර තිබෙනවා.'  

රජය ඒ අනුව ව්‍යුහාත්මක, කළමනාකරණ සහ නීති අංශවල වෙනස්කම් කරන බව මෙහිදී නියෝජ්‍ය ඇමතිවරයා තහවුරු කළේය. මෙම ප්‍රතිසංකරණ සිදු නොකිරීම නිසා සේවක අර්ථසාධක අරමුදල දිගින් දිගටම අවභාවිතය වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.  

බැඳුම්කර වාර්තාව ජනවාරි 17 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත එය මහජනතාවට නිකුත් කිරීමට නියමිතය.

 කෝප් කමිටු වාර්තාව, බැඳුම්කර වාර්තාව සහ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද අනෙකුත් වාර්තා සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා නීතිපතිවරයාට දැනුම් දී ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මෙහිදී ප්‍රකාශ කළේය.