ආර්ථිකය අලුත් කරන්න ජනපතිගෙන් අලුත් වැඩපිළිවෙළක්

 ඡායාරූපය:

ආර්ථිකය අලුත් කරන්න ජනපතිගෙන් අලුත් වැඩපිළිවෙළක්

ආර්ථීක කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළක් එළඹෙන සතියේදී ජාතික ආර්ථීක සභාව හරහා කඩිනමින් හඳුන්වාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජාතික ආර්ථීක සභාවේදී මෙවැනි වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිවරයා එම සභාවට දැනුම් දී ඇත.

රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් තීන්දු ක්‍රියාත්මක කිරීමට ආර්ථීක කළමනාකරණයේදී පියවර ගැනෙනු ඇති බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව වාර්තා වේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි වූ ජාතික ආර්ථික සභා රැස්වීමේදී  ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් එල්ල නොවූ බවද ඉහළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ආර්ථික කළමනාකරණයේදී කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී තිබෙන බැව් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. අට වන වරට රැස් වූ ජාතික ආර්ථීක සභාවට සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා, මංගල සමරවීර, ජෝන් සෙනෙවිරත්න, සජිත් ප්‍රේමදාස, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, ෆයිසර් මුස්තාෆා, නවීන් දිසානායක යන මැති ඇමතිවරුන්ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් පී. සමරකෝන්, අගමැති ලේකම් සමන් ඒකනායක, ඇමති මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රුවන්චන්ද්‍ර, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.

මාතෘකා