තාක්ෂණ ව්‍යවසායකයන්ට මඟ කියන Disrupt Asia 2019

 ඡායාරූපය:

තාක්ෂණ ව්‍යවසායකයන්ට මඟ කියන Disrupt Asia 2019

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායකයන්ගේ ප්‍රමුඛතම ජාත්‍යන්තර සමුළුව සහ නවෝත්පාදන උළෙල Disrupt Asia 2019, සිව්වැනි වරට මේ වසරේදීත් නව ව්‍යවසායකයන්ට ඔවුන්ගේ නවෝත්පාදන ගෝලීය වශයෙන් ප්‍රදර්ශනය කිරීමට අසමසම අවස්ථාවක් උදා කරදෙමින් පැවැත්වීමට නියමිතය.

‘Augmented Living’ යන්න මෙම වසරේ සමුළුව සහ නවෝත්පාදන උලෙළිහි තේමාව වන අතර එමඟින් අවධානය යොමු කරන්නේ මානව ජීවන රටාවන්ට සහාය වීම සඳහා නවෝත්පාදන හා තාක්ෂණයේ සාර්ථකත්වය යොදා ගැනීම සහ සංවර්ධනය සඳහා තිරසර දායකත්වයක් ලබා දීමට එහි ඇති හැකියාව පිළිබඳවය.

මේ පිළිබඳ පැහැදිලි කරමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසුවේ, "වසර තුනක් වැනි කෙටි කාලයක් තුළදී දේශීය නව ව්‍යවසායකයන් පැසසුමට ලක් කරමින් ඔවුන්ගේ උන්නතිය උදෙසා පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමුළුව සහ නවෝත්පාදන උලෙළ ලෙස Disrupt Asia පිළිගැනීමට ලක්ව තිබෙනවා. මෙම වසරේ සම්මන්ත්‍රණ තේමාව ‘Augmented Living’ යන්න සහභාගිවන්නන් සඳහා සංවාදාත්මක නැවුම් ඉදිරි දර්ශනයක් ලබා ගැනීමට අවස්ථාව සලසනවා. ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායකයන් හට ආයෝජකයන් සමඟ ජාලගත වීමටත් ප්‍රායෝගික උපදෙස් ලබා ගැනීමත් ව්‍යාපාරයක් ආරම්භයේදී අත්‍යවශ්‍ය උපායමාර්ග පිළිබඳ අවබෝධය සහ ගෝලීයව පුළුල් අවස්ථාවන් නිර්මාණය කර ගැනීමට මෙන්ම තාක්ෂණික නවෝත්පාදන යුගයට මඟ පෙන්වීම සඳහාත් මෙම සමුළුව සහ නවෝත්පාදන උලෙළෙහි විශිෂ්ට වේදිකාවක් නිර්මාණය කර දෙනවා." යනුවෙනි.

මෙම සමුළුවේදී ප්‍රධාන දේශකයන් ලෙස ආසියාවේ නව ව්‍යවසායකයන් අතර පුරෝගාමීන් ලෙස සුපතල Casie Lau සහ Amarit Charoenphan මහත්වරුන් සහභාගී වේ.

එහිදී හොංකොංහි නව ව්‍යවසායකයන් අතර පුරෝගාමියකු ලෙසත් කථිකයකු ලෙසත් Casie Lau මහතා මේ වන විට කලාපයේ විශාලතම තාක්ෂණික සමුළුව ලෙස පිළිගැනෙන THE Web Summit හි ආසියානු සමුළුව RISEහි සම සත්කාරකත්වයද දරනු ලබයි. එසේම Amarit Charoenphan මහතා තාක්ෂණය පිළිබඳ ආසියානු කලාපයේ සිටින ප්‍රධාන පෙළේ කීර්තිමත් පුද්ගලයෙක් වන අතර ඔහු තායිලන්තයේ විශාලතම සහ ප්‍රථම සම-වැඩ බිම වන HUBBA හි විධායක සභාපතිවරයාද අග්නිදිග ආසියාවේ තවත් ප්‍රමුඛතම තාක්ෂණික සමුළුවක් වන Techsauce හි සම නිර්මාතෘවරයාද වේ.

ඊට අමතරව තාක්ෂණයේ නව ප්‍රවණතා, පුරවැසියන්ගේ ආර්ථික වර්ධනය හා තිරසාර ජීවන රටාව කෙරෙහි බලපාන ආකාරය සහ 'ඒවා ඉහළ නංවන්නේ කෙසේද?' යන්න පිළිබඳ අර්ථවත් සැසි පහක් පැවැත්වීමට නියමිතය.

මෙම සැසි සඳහා විශේෂයෙන් සංචාරක අංශයට අදාළ තාක්ෂණයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ‘Travel Tech (Travel Smart’ පිළිබඳ දේශන ඇතුළත් කර ඇත. එහි දී Airbnb, Tripadvisor සහ Yohobed හි කමිටු සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගනු ඇත.

Lenddo, BoardPac, Lalamove සහ Microimage හි විශේෂඥ දැනුමැති දේශකයන් විසින් ''Platform Disrupting Asia'' මාතෘකාව ඔස්සේ තාක්ෂණය තුළින් ජීවන රටාවේ ගුණාත්මකතාව වැඩි දියුණු කිරීමට, නව ව්‍යාපාරය සඳහා සහාය ලබා ගැනීමත් එමඟින් ආර්ථික වර්ධනයක් ඇති කිරීමත් පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇත.

‘'Shaping Cities Through Innovation’’ තේමාව යටතේ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය තිරසර ලෙස වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණය කාර්යක්ෂමව භාවිත කිරීම පිළිබඳ City zone Tel Aviv Dialog සහ Visa හි දේශකයන් විසින් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

''R'' of VR and AR යන මාතෘකාව යටතේ, Manzalab, Two Lane, Shadow Factory සහ Arimac නියෝජනය කරන දේශකයන් විසින් Virtual Reality සහ Augmented Reality හා බැඳි තාක්ෂණය සහ මානව යහපැවැත්ම උදෙසා එහි භාවිතය සහ වැදගත්කම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

Seedstars, Techsatars සහ Startupright හි දේශකයන් විසින් Go Global: Strategies for Emerging Market’ යන මාතෘකාව යටතේ නව ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර ජාත්‍යන්තර වෙළදපොල කරා රැගෙන යාමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් බෙදාහදා ගනු ඇත.

මෙහිදී සමුළුව සහ නවෝත්පාදන උලෙළ හා එක් වීමට අපේක්ෂිත 1000කට අධික සහභාගී වන්නන් සඳහා දැනුම බෙදා ගැනීමට, සාර්ථක ප්‍රායෝගික භාවිතයන් ඉගෙන ගැනීමට, නිර්මාණශීලීත්වය සහ උපායමාර්ගික ව්‍යාපාර වර්ධනයට අනුබල දෙන වෙනත් වටිනා දැනුම ලබා දීමටත් Disrupt Asia සංවිධායකයන් සහතික වේ.

Disrupt Asia 2019 සමුළුව සහ නවෝත්පාදන උළෙල මගින් නව ව්‍යවසායකයින් සමෘද්ධිමත් කිරීම සඳහා RISE, Techstars, Seedstars, AngelHack, Startupright වැනි සංවිධාන හරහා වටිනා හා ප්‍රබල ප්‍රවේශයක් ලබා දෙනු ඇත. එහිදී නව ව්‍යාපාරික සබඳතා ඇති කර ගැනීමට, ආයෝජන ලබා ගැනීමට හෝ නව ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය උපදෙස් ලබා ගැනීම අරමුණු කරගනිමින් දේශීය නව ව්‍යවසායකයින්ට මෙම සංවිධාන හමුවිය හැකිය.

මෙම වසරේ Disrupt Asia සමුළුව සහ නවෝත්පාදන උලෙළ තාක්ෂණය හා කලාව පාදක කොට ගනිමින් ඩිජිටල් ක්‍රියාකාරකම් සහ තාක්ෂණික කලාත්මක නිර්මාණවලින් සමන්විත වනු ඇත. තවද නව ව්‍යවසායකයන් 30කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ නවෝත්පාදනයන් සහ විසඳුම් මේ සඳහා සහභාගීවන්නන්ට සහ අමුත්තන්ට ප්‍රදර්ශනය කරනු ඇත.

මෙම සමුළුවේ සහ නවෝත්පාදන උලෙළෙහි තවත් විශේෂාංගයක් වන්නේ Disrupt Asia නව ව්‍යවසායකයන්ගේ අවසන් මහා තරගයයි. මෙහිදී ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග, සියළු ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව, නව ව්‍යාපාර සාර්ථක කරගැනීම සඳහා දේශීය විදේශීය දේශකයන්ගේ මඟ පෙන්වීම යන වටිනා අවස්ථා රැසක් හිමිවනු ඇත.

Disrupt Asia 2019 සමුළුව සහ නවෝත්පාදන උලෙළ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH (නවෝත්පාදන සහකරු) Visa (ගෝල්ඩ් පාට්නර්), Crowdisland, DirectPay, Hatch (කේෂේත්‍ර සහකරු), Cinnamon Hotels and Walker Tours (සත්කාරක සහ සංචාරක සහකරු), Gudppl (ස්වේච්ඡා සහකරු) Startup Accelerator by PWC Sri Lanka, STARTUPRIGHT and AngelHack (දැනුම සහකරු), Dialog Television (Pay TV සහකරු), Dialog (Broadband සහකරු), Ath Pavura සහ CITRA (සමාජ නවොත්පාදන සහකරු), Bhasha Lanka Pvt Ltd (ජංගම දුරකථන විසදුම් සහකරු) PayHere (ගෙවීම් සහකරු) ලෙස සහාය ලබා දෙයි.

වැඩිදුර තොරතුරු සහ ටිකට්පත් https://www.disruptasia.today/ වෙබ් අඩවියෙන් සහ Disrupt Asia ෆේස්බුක් පිටුවෙන් ලබා ගත හැකිය.

මාතෘකා