DFCC බැංකුවේ තිරසාරත්ව ව්‍යාපෘතියක් සඳහා ජර්මනියේදී ඇගයුමක්

 ඡායාරූපය:

DFCC බැංකුවේ තිරසාරත්ව ව්‍යාපෘතියක් සඳහා ජර්මනියේදී ඇගයුමක්

DFCC බැංකුව පසුගියදා ජර්මනියේ Karlsruheහිදී පැවති ගෝලීය තිරසාරත්ව මූල්‍ය සම්මාන උලෙළේදී තිරසාරත්වය වෙනුවෙන් ඇගයීමට ලක්විය. මෙහිදී අඛණ්ඩව 7 වැනි වරටත් විශිෂ්ට තිරසාරත්ව ව්‍යාපෘති මූල්‍ය සම්පාදනය වෙනුවෙන් වන කුසලතා සහතිකය හිමිකර ගැනීමට බැංකුවට හැකියාව ලැබිණි. නගරසභා ඝන අපද්‍රව්‍ය මඟින් විදුලි බලය උත්පාදනය කිරීම සඳහා වන ව්‍යාපෘතියකට මූල්‍ය දායකත්වය ලබාදීම වෙනුවෙන් මෙම ඇගයුම පිරිනැමිණි.

DFCC බැංකුව නියෝජනය කරමින් උප සභාපති (ශාඛා ණය කළමනාකරණ) ඩී. එම්. පී. සූරියබණ්ඩාර මහතා සම්මාන උලෙළේදී අදාළ සහතිකය පිළිගත්තේය. එමෙන්ම ඔහු විසින් එහිදී 'ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය වෙනුවෙන් මූල්‍ය සම්පාදනය සිදුකිරීම' යන මාතෘකාව යටතේ ඉදිරිපත් කිරීමක්ද සිදුකරන ලදි. DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි දක්වන අවධානය, තිරසාරත්වය සඳහා ලබාදෙන ප්‍රමුඛත්වය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හරහා එම උත්සාහයන් යථාර්ථයක් බවට පත්කරන ආකාරය වැනි කරුණු මෙම ඉදිරිපත් කිරීමෙහි අන්තර්ගත විය. එමෙන්ම ආර්ථික, සමාජයීය හා පාරිසරික ස්ථායීතාව ඔස්සේ තිරසර සංවර්ධන ඉලක්ක ළඟාකරගැනීම සඳහා බැංකුව දක්වන දායකත්වයද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම ඇගයුම පිළිබඳ අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසීය.

"මෙම සහතිකය අඛණ්ඩව 7 වැනි වරටත් දිනාගැනීමට හැකිවීම අපට විශාල සතුටක්. මෙය ශ්‍රී ලංකාවේ ජන ජීවිතය නඟාසිටුවමින් ජනතාව අතර තිරසාරත්වය ප්‍රචලිත කිරීම සඳහා අප දරන උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි. ගෝලීය තිරසාරත්ව මූල්‍ය සම්මේලනයට මෙවර එහි සාමාජිකයන් මෙන්ම ලොව පුරා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් 100කට අධික පිරිසක් සහභාගී වුණා. මෙම පිරිසට ප්‍රධාන විධායකවරුන්, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ අනෙකුත් බලධාරීන්ද ඇතුළත්. මෙබඳු ජාත්‍යන්තර සම්මාන උලෙළකදී ඇගයීමට ලක්වීම යනු ශ්‍රී ලංකාවේ තිරසාරත්වය වෙනුවෙන් කරන ආයෝජන පුළුල් කිරීමට අප තවදුරටත් දිරිගන්වන සාධකයක් ලෙස හැඳින්විය හැකියි."

ගෝලීය තිරසාරත්ව මූල්‍ය සම්මාන උලෙළේදී ලොව පුරා තිරසර මූල්‍ය සම්පාදනය සම්බන්ධයෙන් කැපීපෙනෙන දායකත්වයන් ලබාදුන් සමාගම් හා ආයතන ඇගයීමට ලක්වේ. කාටත් ගැළපෙන බැංකු සේවාවන් සමීප කරවීම සඳහා ඇපකැප වී සිටින DFCC බැංකුව රටේ සංවර්ධනය, තිරසාරත්වය සහ ජාතික සහජීවනය උදෙසා සක්‍රිය දායකත්වයක් දක්වයි.

මාතෘකා