වයස්ගතම රයිනෝ ලොව හැර යයි

 ඡායාරූපය:

වයස්ගතම රයිනෝ ලොව හැර යයි

ටැන්සානියාවේ විසූ ලොව වයස්ගතම රයිනෝ සත්ත්වයා පසුගිය දෙසැම්බර් මස අවසානයේදී මියගිය අතර 'ෆවුස්ටා' යන සුරතල් නාමයෙන් හැඳින්වූ එම ගැහැනු රයිනෝ සත්ත්වයා මිය යන විට 57 වැනි වියේ පසුවිය. ස්වභාවික හේතු මත එම මරණය සිදුව ඇති බව පශූ වෛද්‍යවරුන් විසින් තහවුරු කොට තිබේ.

ෆවුස්ටා අයත් වන්නේ නැඟෙනහිර කළු රයිනෝ නම් සත්ත්ව විශේෂයටයි. එම සත්ත්වයා වයස අවුරුදු 54ක් පමණ වනතෙක් වනාන්තරයේ නිදහසේ සැරිසරමින් දිවි ගෙවූවද සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් ෆවුස්ටා හට විශේෂ ආරක්ෂාවක් සහ ප්‍රතිකාර ලබා දීමට ටැන්සානියානු බලධාරීන් පියවර ගනු ලැබිණ. දීර්ඝ කාලයක් තිස්සේ හයිනා වැනි සත්ත්වයන්ගේ ප්‍රහාරවලට ගොදුරු වීම හේතුවෙන් ෆවුස්ටා රයිනෝ සත්ත්වයාට මෙලෙස බරපතළ සෞඛ්‍ය ගැටලු මතු වී ඇති බව ටැන්සානියානු සත්ත්ව විශේෂඥයන්ගේ අදහසයි. ඔවුන් ෆවුස්ටාගෙන් පැටවකු ලබා ගැනීමට දැරූ උත්සාහයන්ද ව්‍යර්ථ වී ඇති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් වනාන්තර ආශ්‍රිතව ජීවත් වන නැඟෙනහිර කළු රයිනෝ සත්ත්වයකුගේ ආයු කාලය වයස අවුරුදු 37- 43ත් අතර වේ. මේ වන විට ශීඝ්‍රයෙන් වඳ වී ගෙන යන සත්ත්වයන්ගේ ලැයිස්තුවටද මෙම සත්ත්ව විශේෂය ඇතුළත් වේ. මාංස භක්ෂක සතුන්ගේ ගොදුරු බවට පත්වීම, රයිනෝ අඟ යොදා අධික මිලකින් යුතු විසිතුරු භාණ්ඩ සැකසීම වෙනුවෙන් මිනිසුන් විසින් රයිනෝ සතුන් ඝාතනය කිරීම හේතුවෙන්ද මෙම සත්ත්ව විශේෂය ශීඝ්‍රයෙන් ලොවෙන් තුරන් වෙමින් සිටින බව පරිසරවේදියෝ පෙන්වා දෙති.

[ශ්‍යාමලී නිශාන්ති]

News Order: 
1
මාතෘකා