9/11 ප්‍රහාරයෙන් පසු අමෙරිකාවේ භූමිකාව

 ඡායාරූපය:

9/11 ප්‍රහාරයෙන් පසු අමෙරිකාවේ භූමිකාව

(මේ ලිපියේ මුල් කොටස පසුගිය කලාපයේ පළවිය)

පසුගිය බදාදා ඒ කියන්නේ සැප්තැම්බර් 11දා, 9/11 යනුවෙන් හැඳින්වෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට 3,000ට ආසන්න පිරිසක් මැරෙන සේ එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයේ 18 වැනි සංවත්සරය යෙදිණි.

මේ ප්‍රහාරයේ වගකීම අල්-ඛයිඩා නම් ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධානය විසින් බාර ගන්නා ලදි. එය නිසා එදා ලොව කම්පාවට පත් විය. ඉන්පසු ලොව වෙනස් විය.

පහත පළවන්නේ ලෝක සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, එම ප්‍රහාරයේ පස්වන සැමරුම වෙනුවෙන් 2006 සැප්තැම්බර් 9-10 දෙදින තුළ පවත්වනු ලැබූ පක්ෂයේ සාමාජික රැස්වීමට ඉදිරිපත් කළ වාර්තාවෙන් ගත් උද්ධෘතයකි. මෙය වර්තමානයේ අපේ රටටත් යම්තාක් දුරකට අදාළ බැවින් පළ කරන ලදි.

දැනටමත් තහවුරු කර ඇති කරුණු මත පදනම්ව මොහොමඩ් අටා සහ අනෙකුත් ගුවන් කොල්ලකරුවන් 9/11 සඳහා සූදානම් වූයේ එක්සත් ජනපද ආණ්ඩුවේ සීඅයිඒ සහ අනෙකුත් ඔත්තු සේවා ඒජන්සිවල බලගතු අයවලුන් විසින් සම්පාදනය කරන ලද ආරක්ෂක ඡත්‍රයට බව නිසැකය. එක්සත් ජනපදය තුළ ඉන් පිටත හා එය වටා සිදුවූ ඔවුන්ගේ අබාධිත වැඩ කටයුතු බලගතු පුද්ගලයන්ගේ ආරක්ෂක අනුග්‍රහයකින් තොරව ක්‍රියාත්මක කළ නොහැකි වනු ඇත. එක්සත් ජනපදයේ ජීවත් වීමේදී ඔවුන්ගේ කැත හා නොහික්මුණු හැසිරීම පිළිබඳව හෙළිදරව් වූ තොරතුරු අනුවද පොලිසියේ අවධානයට යළියළිත් ලක්වීමට තුඩු දුන් ඔවුන්ගේ නොසැලකිලිමත්භාවයට අනුවද අටා හා ඔහුගේ සගයන්, ප්‍රධාන කුමන්ත්‍රණකරුවන් වූයේ යැයි සැලකීම පවා දුෂ්කර වේ. ඔවුන් කළ සෑම දෙයකදීම ඔවුන්ගේ ත්‍රස්ත අරමුණු ප්‍රකට කෙරෙන සලකුණු දිස්විය.

 එහෙත් ඉහළම මට්ටමේ “දෙවි දේවතාවුන්” ඔවුන්ට රැකවරණ සැලසූ බව පැහැදිලිය. ඒ කුමන අරමුණක් සඳහාද? අටා සහ ඔහුගේ සහචරයන් වෙනුවෙන් මැදිහත් වූවන් ඔවුන් කිසියම් වර්ගයක ත්‍රස්තවාදී ක්‍රියාවක් සැලසුම් කරන බවත් එවැන්නක් සිදු කළහොත් එය නිශ්චිත ප්‍රතිපත්තිමය අරමුණුවලට උපකාරී වන්නේ යැයි විශ්වාස කළ බවත් නිගමනය කිරීමට විශේෂිත කුමන්ත්‍රණකාරී සිතුවිල්ලක් අවශ්‍ය නොවනු ඇත. එසේ නම් මේ අරමුණු මොනවාද? ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය මූලෝපාය මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා 9/11 සිදුවීම් පුළුල් ඓතිහාසික සන්දර්භයක තැබීම අවශ්‍ය වේ.

පසුගිය පස් වසර තුළ (2001 - 2006) අමෙරිකා එක්සත් ජනපදය අනුගමනය කළ ප්‍රතිපත්තිවල සැබෑ මූලාරම්භය ඇත්තේ 9/11 සිදුවීම් තුළ නොව ඊට හරියටම දශකයකට පෙර 1991 දෙසැම්බරයේදී සෝවියට් සංගමය විධිමත් ලෙස දියකර හැරීම තුළය. සෝවියට් සංගමයේ බිඳ වැටීම ඇමරිකානු පාලක පැලැන්තිය අර්ථ දක්වන ලද්දේ එක්සත් ජනපදයේ අනභියෝගී ගෝලීය භූ මූලෝපායික ආධිපත්‍යය ස්ථාපිත කිරීමේ අපූර්ව අවස්ථාවක් ලෙසය. සෝවියට් සංගමය නොතිබුණා නම් ලෝකයේ ඕනෑම තැනක ඇමරිකානු මිලිටරි බලයේ ප්‍රක්ෂේපනය මත සාර්ථක මර්දනයක් යෙදිය නොහැකි වනු ඇත. සැබැවින්ම අමෙරිකා එක්සත් ජනපදය මිලිටරි බලය යන්නේ වාච්‍යාර්ථයෙන් එහි ආධිපත්‍යය, සිය රටේ ආර්ථික තත්ත්වයේ දිගුකාලීන පරිහානිය වැළැක්වීමට ලෝක ආර්ථිකය තුළ යෙදිය හැකිය යන්න දැඩිව විශ්වාස කළේය.

සෝවියට් සංගමය බිඳ වැටීමේ වඩාත් වැදගත් ප්‍රතිඵල අතුරින් එකක් වූයේ යුරේසියාවේ දැවැන්ත භූමි ස්කන්ධය තුළ භෞතික බල තුලනයේ රැඩිකල් වෙනසයි. පැරණි සෝවියට් සංගමයේ මධ්‍යම ආසියානු සමූහාණ්ඩු, ස්වාධීන රාජ්‍යය බවට පරිවර්තනය වීම විසින්ද නිර්මාණය කරන ලද්දේ ප්‍රයෝජනයට ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය දැඩි ගිජුකමක් දැක්වූ බලයේ යෝධ රික්තයකි. එම රික්තය මැදපෙරදිග තුළ ඇමරිකානු බලයේ ආක්‍රමණශීලී ප්‍රක්ෂේපණයට මඟපෑදීය. ලෝකයේ මූලෝපායයික තෙල් හා ගෑස් සංචිතවලින් අතිවිශාල ප්‍රමාණයක් භූගෝලීයව ඒකාග්‍ර වූ මේ කලාප තුළ පිහිටා තිබෙන බව වටහා ගැනීමට අමෙරිකා එක්සත් ජනපදයට වැඩි ආයාසයක් යෙදිය යුතු නොවීය. 1990 දශකයේ මැද භාගය වන විට නව මූලෝපායික බාහිර හැඩතල මතුවීමට පටන් ගෙන තිබිණි. ජනාධිපති කාටර්ගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නිව් බ්‍රෙසෙන්ස්කි විසින් ලියා ‘ෆොරින් අෆෙයාර්ස්’ සඟරාවේ 1997 සැප්තැම්බර් - ඔක්තෝබර් කලාපයෙහි පළ කෙරුණු වැදගත් කරුණු ඇතුළත් ලිපියක එක්සත් ජනපදයේ ලෝක ආධිපත්‍යය කෙරෙහි යුරේසියාවේ තීරණාත්මක වැදගත්කම ගෙනහැර දැක්වීය:

“යුරේසියාව වනාහි ලෝකයේ අක්ෂගත සුපිරි මහාද්වීපයයි. යුරේසියාව අධිකාරවත් කරන බලය, ලෝක ආර්ථිකයේ ප්‍රධාන නිෂ්පාදන කලාප තුනෙන් බටහිර යුරෝපය හා නැඟෙනහිර ආසියාව යන දෙක කෙරේ තීරණාත්මක බලපෑමක් ඇති කරයි. යුරේසියාව තුළ අධිකාරිත්වය දරන රට නිතැතින්ම අප්‍රිකාව හා මැදපෙරදිගද පාලනය කරන බව සිතියමට නෙත් යොමු කිරීමෙන් පමණක්ම තීරණය කළ හැක. යුරේසියාව දැන් භූ දේශපාලනික චෙස් ලෑල්ලක් ලෙස ක්‍රියාත්මක වෙද්දී තවදුරටත් යුරෝපයට එකකුත් ආසියාවට තවෙකකුත් වසයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක රටාව ප්‍රමාණවත් නැත. යුරේසියානු භූමි ස්කන්ධය මත බලය බෙදී යෑමට කුමක් සිදුවන්නේද යන්න ඇමෙරිකාවේ ගෝලීය ප්‍රමුඛත්වයටත් ඓතිහාසික නීති යුක්තභාවයටත් තීරණාත්මක වැදගත්කමක් දරා සිටියි....”

“....බිඳෙනසුළු යුරේසියාවක් තුළ ක්ෂණික කර්තව්‍ය වනු එක් රාජ්‍යයක් හෝ රාජ්‍ය එකතුවක් එක්සත් ජනපදය නෙරපාදැමීමේ හෝ ක්ෂය කර දැමීමේ හැකියාව අත් කර නොගන්නා බවට වගබලා ගැනීමයි.” කෙසේ වුවද බ්‍රෙසෙන්ස්කිටද වැටහුණු පරිදි යුරේසියාව තුළ ඇමරිකානු රාජ්‍යාන්තර නායකත්වය පිහිටුවීම බිය දනවන ව්‍යාපෘතියකි. මුලින් ෆොරීන් එෆෙයාර්ස්හි පළවූ ලිපියෙන් ගෙන හැර පෑ අදහස්ම තවදුරටත් විස්තාරණය කරමින් ‘මහා චෙස් පෙත’ නම් සිය කෘතිය තුළ යුරේසියාව “යෝධ මහාද්වීපය”ක් ලෙස විස්තර කරන බ්‍රෙසෙන්ස්කි එය අවනත කර ගැනීමේදී ආර්ථිකව වඩාත්ම සාර්ථක හා දේශපාලනිකව සුපිරි ගෝලීය බලවතකුට පවා දැරීමට අපහසුතරම් විශාල, එසේම ජනාකීර්ණ, සංස්කෘතිකව විසම ජාතීන් හා ඓතිහාසිකව අභිලාෂවත් මෙන්ම දේශපාලනිකව ජව සම්පන්න රාජ්‍යයන්ගෙන් සැදුම් ලත් බව” සඳහන් කරයි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අධිපතිවාදී අභිප්‍රායන්ට පවතින තවත් බාධකයක් බ්‍රෙසෙන්ස්කි පෙන්වා දෙයි.

“එතෙරදී ආඥාදායක වීමට තරම් ඇමරිකාව, දේශීයව ප්‍රජාතන්ත්‍රවාදී වැඩිය යන්නද එක් කාරණයකි. ඇමරිකාව සතු බලය යෙදීම, විශේෂයෙන්ම මිලිටරිමය බියගැන්වීමේ පරිමාව මෙමඟින් සීමා කරයි. ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදය, මීට පෙර කවදාවත් ජාත්‍යන්තර ආධිපත්‍යය ලබා ගෙන නැත. ස්වදේශීය දිවි පැවැත්ම පිළිබඳ මහජන හැඟීමට එල්ල වන හදිසි තර්ජනයක් හෝ අභියෝගයක කොන්දේසි යටතේ හැර, බලය යොදාගැනීම මහජන ආවේගය පාලනය කරන උපක්‍රමයක් නොවේ. ආර්ථික ස්වයං ප්‍රතික්ෂේපය, එනම් ආරක්ෂක වියදම්, මානව පරිත්‍යාග එනම් වෘත්තීය සොල්දාදුවන් අතර පවා ජීවිත හානි, අවශ්‍යතාවක් බවට පත් කරන උත්සාහය, ප්‍රජාතන්ත්‍රවාදී සහජාසයන්ට ආගන්තුකය. අධිරාජ්‍ය බලමුළුගැන්වීමට ප්‍රජාතන්ත්‍රවාදය සතුරු”ය. (‘මහා චෙස් පෙත මුල් කෘතිය, 35-36 පිටු). 9/11 සිදුවීම් මඟින් හරියටම සපයනු ලැබුවේ “දිවි පැවැත්ම පිළිබඳ මහජන හැඟීමට එල්ල වන හදිසි තර්ජනයක් හෝ අභියෝගයක්”ය. එය අඩුම වශයෙන් කෙටිකාලීනව, ස්වයංආරක්ෂාවේ හා පළිගැනීමේ නාමයෙන්, ඇමරිකානු මිලිටරි බලය මුදාහැරීම සඳහා යුක්තිකරණයක් සම්පාදනය කළේය.

එහෙත් අවධාරණය කළ යුත්තක් නම් එසේ වූ පළියටම ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය හෙවත් 9/11, රාජ්‍යය ඇතුළතම සිටින අය විසින් සෘජු ලෙසම සැලසුම්කර ක්‍රියාත්මක කළා යැයි සනාථ නොකරන බවයි. එහෙත් බ්‍රෙසෙන්ස්කිගේ විශ්ලේෂනය පෙන්වා දෙන්නේ එක්සත් ජනපදයේ පතළ භූ-මූලෝපායික අභිලාෂ සහ ඒවා පිළිබඳ ඉහළ මට්ටමේ විමසිලිමත්බවයි. එම අභිලාෂ සාක්ෂාත් කර ගැනීම් සඳහා අනිවාර්ය අංගයක් වන රටේ දේශසීමා කෙරෙන් සැතපුම් දහස් ගණනක් ඈත යුද්ධයක් පවත්වාගෙන යෑම සඳහා මහජන විඥානයෙහි හදිසි නාටකීය වෙනසක් අවශ්‍ය කෙරිණි. ඒ අංශයෙන් සලකා බලන විට 9/11 කුමන්ත්‍රණය සැලසුම් කර, අනුබල දී ක්‍රියාවට නැඟීමේදී අමෙරිකා එක්සත් ජනපද පරිපාලනයේ ක්‍රියාකාරී සම්බන්ධය හා සහභාගිත්ව පරිමාණය කවරක් වුවත් ගෙවීගිය දශකය මුළුල්ලේම විස්තාරණය කෙරී, සම්පූර්ණත්වයට පත්කර තිබුණු මිලිටරිවාදී න්‍යාය පත්‍රයක් දියත් කිරීමේ නිමිත්ත ලෙස එදින සිදුවීම් වහාම ග්‍රහණය කරගත් බව නිසැකය. හරියට බූවල්ලකු සිය ගොදුර වෙත එළැඹෙන්නාක් මෙනි. තීරණාත්මක මූලෝපායික අරමුණු සාක්ෂාත් කැර ගැනීම, අවසාන හා අත්‍යවශ්‍ය එල්ලය බවට පත් වූ මිලිටරි ක්‍රියා නීති යුක්ත කිරීමේදී මෙබඳු න්‍යාය ඒ සඳහා යොදාගත් බොහෝ නිදසුන් අමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ඉතිහාසය පුරාම දැකිය හැකි බව අප අමතක නොකළ යුතුය. පුපුරාගිය මෙවන් සිදුවීම් සෑම විටම මිලිටරි ක්‍රියාවලට “හොඳ” හේතුවක් වූවා මිස “සැබෑ” හේතුව නොවීය.

සිද්ධිය වූවාට පසුව අප දැනමුත්තන් වී සිටිනවා නොවේ. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට පහර එල්ල වී පැය ගණනාවක් ඇතුළත ලෝක සමාජවාදී වෙබ් අඩවිය සිදුවිය හැක්කේ කුමක්දැයි අනතුරු ඇඟවීය. 2001 සැප්තැම්බර් 12 දින වූ ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ කළේ ‘ත්‍රස්තවාදය, අමෙරිකා එක්සත් ජනපද සංස්ථාපිතය ඇතුළත පාලක පැලැන්තියේ භූ- දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා ඉදිරියට ගෙන යෑමේදී, යුද්ධයට එළැඹීම යුක්තියුක්ත හා සාධාරණීකරණය සඳහා එවන් සිදුවීම් ග්‍රහණය කර ගන්නට ගිජුකමක් දක්වන අයගේ පිලට ක්‍රීඩාකර ඇත’ යනුවෙනි. සැප්තැම්බර් 14 දින ‘ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාර, වසර ගණනාවක් තිස්සේ පාලක පැලැන්තියේ අන්ත දක්ෂිණාංශික කොටස් හඬනඟමින් සිටි දුරදිග යන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් ලෙස වැළඳගෙන තිබේ. ප්‍රහාරය සිදු වූ දිනම කුමන්ත්‍රණයේ පරිමාව හෝ ප්‍රහාරයේ මූලය කෙරෙහි යම් එළියක් විහිදෙන්නටත් පෙර අමෙරිකා එක්සත් ජනපදය යුද්ධය වෙත අවතීර්ණ වූ බවටත් ඇමෙරිකානු ජනතාවට යුද්ධය පැවතීමේ සියලු ප්‍රතිවිපාකයන් පිළිගැනීමට සිදුවන බවත් ප්‍රකාශ කෙරෙන මනාව සම්බන්ධීකරණය කළ ව්‍යාපාරයක්, ආණ්ඩුව සහ ජනමාධ්‍ය විසින් දියත් කරන ලදි.”

බුෂ් පරිපාලනය 9/11 සිද්ධියට ප්‍රතිචාර දැක්වූයේ ‘ත්‍රස්තය මත යුද්ධය’ ප්‍රකාශයට පත් කරමිනි. සිද්ධියෙන් මසක් ඉක්මෙන්නටත් මත්තෙන් අමෙරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය ඇරඹීය. එය සාධාරණීකරණය කරන ලද්දේ 9/11 ප්‍රහාරය සැලසුම් කොට ක්‍රියාත්මක කළ ඔසාමා බින්-ලාඩන්ගේ අල්-ඛයිඩා සංවිධානයට එවකට එරට පාලනය කළ තලේබාන් සංවිධානය රක්‍ෂාවරණය සපයන්නේය යන කාරණය පෙරටුකොට ගනිමිනි. මාධ්‍යයද මේ ආක්‍රමණයේ සුලමුල සොයන්නට උත්සුක නොවූහ. එසේ වූවා නම් තලේබාන් ඇරඹුමේලා අමෙරිකා එක්සත් ජනපදයේ කාර්යභාරය සහ ඔසාමා බින්-ලාඩන්ට මහ ඔහුගේ අල්-ඛයිඩා සංවිධානයට සැපයූ පිටුබලය අනාවරණය කර ගන්නට ඉඩ තිබිණි.

මාතෘකා