9/11 ප්‍රහාරය ඇමෙරිකා ආණ්ඩුවේ වැඩක්?

 ඡායාරූපය:

9/11 ප්‍රහාරය ඇමෙරිකා ආණ්ඩුවේ වැඩක්?

හෙට, ඒ කියන්නේ සැප්තැම්බර් 11දා, 9/11 යනුවෙන් හැඳින්වෙන ත්‍රස්ත ප්‍රහාරයේ 18 වැනි සංවත්සරය යෙදෙයි. අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කෙරුණු එම ප්‍රහාරයෙන් 3,000ට ආසන්න පිරිසක් ඝාතනය වූ බව සැලකේ.

මේ ප්‍රහාරයේ වගකීම අල්-ඛයිඩා නම් ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධානය විසින් බාර ගන්නා ලදි. එය නිසා එදා ලොව කම්පාවට පත් විය. ඉන්පසු ලොව වෙනස් විය.

පහත පළ වන්නේ, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මණ්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, 2006 සැප්තැම්බර් 9-10 දෙදින තුළ පවත්වනු ලැබූ පක්ෂයේ සාමාජික රැස්වීමට ඉදිරිපත් කළ වාර්තාවෙන් ගත් උද්ධෘතයකි. මෙය වර්තමානයේ අපේ රටටත් යම්තාක් දුරකට අදාළ බැවින් එය කියවා බැලීම වැදගත්ය.

2001 සැප්තැම්බර් 11 දින උදෑසන, එකිනෙකට සබැඳි ත්‍රස්ත ක්‍රියා මාලාවක ප්‍රතිඵල වශයෙන් අහිමි වූ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත සංඛ්‍යාව 3,000කට ආසන්නය. 9/11 යන සංකේතය ලොව වෙනත් සිද්ධියකට අදාළවන්නේ නැත. ගෝලීය වශයෙන් එය ප්‍රකට කරන්නේ නිවුන් කුලුනු වෙතින් බුරබුරා නැඟෙන ඝන දුමාරයේ මනෝ රූපය පමණක් නොවේ; එම සිද්ධිදාමයේ ප්‍රතිඵලය ලෙස ලෝක දේශපාලනය, අලුත් හා අන්තරායකාරී දිශාවලට නැඹුරු වීම පිළිබඳ සිතිවිල්ලයි. කෙසේ වුවද බුෂ් පරිපාලනයද දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍යයේ වැඩි කොටසක්ද සියලු දෙනාම විශ්වාසයට ගත යුතු යයි කියා සිටි දේට වඩා වැදගත්කමක් 9/11ට ඇත්තේය. 2001 සැප්තැම්බර් 11, ඇමරිකාවේ හා ලෝක දේශපාලනයේ යම් ආකාරයක ප්‍රධාන සන්ධිස්ථානයක් සලකුණු කිරීම ගැටලුවක් නොවේ. එහෙත්, රාජ්‍ය අනුග්‍රහය ලත් ප්‍රචාරණයෙන් විශාලකොට දක්වනු ලැබූ, එදින සිදුවීම්වල ප්‍රකට ආවේගී බලපෑමද, එක්සත් ජනපද රජය විසින් පසුව ගනු ලැබූ පියවර අභිප්‍රේරණය කළ ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගේ වෛෂයික ක්‍රියා කලාපයද අතර වෙනස වටහා ගැනීම සිදුවිය යුතුය.

එහෙත් 9/11 පසුව බුෂ් පරිපාලනය විසින් ගනු ලැබූ පියවර, බෙහෙවින්ම තීරණය වූයේ එදින සිදුවීම් විසින්ද නොඑසේ නම්, කලකට පෙර වර්ධනය කැරුණු එහෙත්, 9/11 නොමැතිව සැලකියයුතු ජනතා සහයෝගයක් ලැබිය නොහැකි වනු ඇති විරුද්ධ බලවේග ක්‍රියාත්මක කිරීමට ත්‍රස්තවාදී ප්‍රහාර විසින් නිමිත්ත සම්පාදනය කරන ලද්දේද යන ප්‍රශ්න උද්ගත වනු කිසැකය. ඇෆ්ගනිස්ථාන හා ඉරාක ආක්‍රමණය, ප්‍රජාතන්ත්‍රීය අයිතිවලට එල්ල කරන ප්‍රහාර, අන්තර්ජාතික නීති උල්ලංඝනය කිරීම් හා, බුෂ් පරිපාලනය සහ එහි ඇලිය අනවරත නැති “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” කොටසක් ලෙස සැලසුම් කරන, දිගින් දිගටම විස්තාරණය වන ප්‍රචණ්ඩත්වය එහි සුජාතභාවය අත් කර ගත්තේ “9/11 සියල්ල වෙනස් කළේය” යන්නම එකම කියමන ලෙස නොකඩවා ඉදිරිපත් කරන බුෂ් පරිපාලනයේ ප්‍රකාශවලිනි. එහෙත්, ලෝක ඉතිහාසයේ මේසා ඉරණම්සහගත වූ 9/11 සිද්ධිය තව දුරටත් අනාවරණය නොවූ අභිරහසක්ව පවතියි. ඒ සිදුවීම් විනිවිද දකින විශ්වාසකටයුතු, වෘත්තීයමය හා බැරෑරුම් යයි දුරින් හෝ සැලකිය හැකි පරීක්ෂණයක් ඇ.එ.ජ. රජය කිසිදා පවත්වා නැත. ඊනියා 9/11 කොමිසම පත් කළ බව ඇත්තකි. එහෙත් එම කොමිසම එක්සත් ජනපද ඔත්තු සේවාවන්ට 9/11 ත්‍රස්තයන්ගේ සම්බන්ධය සහ 9/11 කුමණ්ත්‍රණය සාර්ථක කැර ගැනීමට අනුබලය හා පහසුකම් සැපයීමට සම්බන්ධ රජය තුළ සිටින අයගේ පාර්ශ්වයෙන් පළ වූ සාපරාධී උදාසීනත්වය හෙළිදරව් කිරීමට අදාළ සාක්ෂ්‍ය සොයා ගැනීම වැළැක්වීම හා සැබෑ අපරාධ පරීක්ෂණයකට අවහිර කිරීමේ අඩු හෝ වැඩි වශයෙන් පැහැදිලි අරමුණ සහිතව සංවිධානය කළ, නරුම හා ව්‍යාජ ව්‍යායාමයකට වැඩි දෙයක් නොවේ.

2002 නොවැම්බර් 27 දින පත් කැරුණු 9/11 කොමිසමේ ප්‍රෝඩාකාරී ස්වභාවය, එහි සභාපති තෝමස් කීන්ගෙන් පටන් ගෙන අනෙකුත් ප්‍රමුඛයන් තෝරාගැනීමෙන්ම සහතික කෙරී තිබේ. ඔහු නිව් ජර්සි හි හිටපු ආණුඩුකාරයාද ඇම්වරාඩා හෙස් නම් ජාත්‍යන්තර තෙල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්ද විය. ඔහුගෙන් යමෙකු බලාපොරොත්තු විය යුතු ආකාරයේ, සත්‍ය සඳහා උද්යෝගයත් අවංක කමත් ඔහු මෙම පරීක්ෂණය තුළට ගෙන ආ බව පෙනෙන්නට තිබිණි. සත්තකින්ම 9/11 කොමිසමේ සමසභාපතිවරයකු ලෙස සේවය කිරීම සඳහා කීන් සතු වූ විශේෂ සුදුසුකම් අතර අල්කයිඩාවට හා ඔසාමා බින් ලාඩන්ට ඩොලර් මිලියන ගණන් අරමුදල් සැපයුවේ යයි විශ්වාස කරන සවුදියේ පාලනය යටතේ පවතින ඩෙල්ටා තෙල් සමාගම සමග පැවති ඔහුගේම රහසිගත ව්‍යාපාරික ගනුදෙනු විය හැක. කීන් ඔහුගේ පත්වීම ලබා ගත්තේ කොමිසමේ සභාපති තනතුරට ජනාධිපති බුෂ්ගේ ප්‍රථම තේරීම වූ හෙන්රි කිසිංජර්ට ඉල්ලා අස් වීමට බලකැරුණු තත්ත්වය තුළ පමණක් බව සිහියට නඟාගැනීමට වටින්නේය.

9/11 ප්‍රහාරයන්ගෙන් 2500කට වැඩි ජනකායකට සිය ජීවිත අහිමි වූයේය යන කාරණය සැලකිල්ලට ගත් විට ජනතාවගේ නියෝජිතයා බවට අනුමාන කරන කොංග්‍රසයට, දිව්රුමක් යටතේ සාක්ෂ්‍ය දීමට කැඳවන සාක්ෂ්‍යකරුවන් සහිත, නිල පරීක්ෂණයක් පැවැත්වීමට පවා නොහැකි වීම එයට එරෙහි බරපතළ චෝදනාවකි. තවද, අව්‍යාජ පැහැදිලි කිරීමක් ප්‍රතික්ෂේප කළ පොලිස් හා ඔත්තු සේවා ආයතනවල, කිසිදු පුද්ගලයෙකුට මොනම ආකාරයකින් හෝ අවම වශයෙන් ආණ්ඩුවේ ආරක්ෂාව පිළිබඳ දැවැන්ත අසාර්ථකත්වය වෙනුවෙන් හෝ චෝදනා එල්ල නොකැරිණි. 9/11 පිළිබඳව එකම සැබෑ පරීක්ෂණය වූයේ, ආණ්ඩුවෙන් මුළුමනින්ම ස්වාධීනවද එහි තොරතුරුවලට පටහැනිවද පැට්‍රික් මාටින් විසින් ලියූ වැදගත් විශ්ලේෂණයක්ද ඇතුළත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය බාරගත් පරීක්ෂණයයි. සිද්ධීන් පිළිබඳ නිල අනුවාදයේ විකෘතිකරණයත්, අභූත ස්වභාවයත් හෙළිදරව් කෙරෙන පොත් ගණනාවක් තුළ එම කාරණය සඳහන් කැර තිබේ.

9/11 කොමිසම සිදු කළ වසංකිරීම හෙළිදරව් කෙරෙන කරුණු කිහිපයක් සඳහන් කරන්නේ නම්, පැහැර ගත් ගුවන් යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පිළිබඳව, ජර්මනිය, ඊජිප්තුව, රුසියාව හා ඊස්රායල් ආණ්ඩු එක්සත් ජනපදය වෙත පූර්ව අනතුරු ඇඟවීම් කර තිබීම සහ ගුවන් යානා පැහැර ගැනීමේ අල්කයිඩා සැලසුමක් ගැන අනතුරු අඟවන සීඅයිඒ වාර්තාවක්, ප්‍රහාරයන්ට සති පහකට පෙර එනම් 2001 අගෝස්තු 06 දින ජනාධිපති බුෂ් වෙත ලැබී තිබීමද වේ. 2001 අගෝස්තුවේදී සකාරියස් මවුසාවි අත්අඩංගුවට ගැනීම, ආණ්ඩුවේ තීරණය වූ විට, ගුවන් යානා පැහැර ගනිමින් හා ඒවා බෝම්බ ලෙස යොදා ගැනීමේ ත්‍රස්තවාදී මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබීම පිළිබඳව සැකයට ඉඩක් නොතිබීමද එසේමය. මිනසෝටාහි පෑන් ඇමෙරිකානු පියාසර ඇකඩමිය, මවුසාවි ගුවන් යානයක් පැහැර ගැනීමට සැලසුම් කරනවා විය හැකියයි සිය කනස්සල්ල එෆ්බීඅයි වෙත දැනුම් දුන්නේය.

කුමන්ත්‍රණයේ නායකයා ලෙස හඳුනා ගෙන ඇති මොහොමඩ් අටා, ඊස්රායල් බෝම්බ සිද්ධියට සම්බන්ධ බව හඳුනාගැනීමෙන් පසු, 1986 පටන්ම ආණ්ඩුවේ ත්‍රස්තවාදී සුපරීක්ෂණ ලේඛනයට ඇතුළත්ව සිටි අතර 1999 වසර පුරාම ජර්මන් පොලිසියේ ඔහු ගැන ඇහැ ගසා ගෙන සිටියේය. 2000 වසරේ ඔහුගේ හැසිරීම එෆ්බීඅයිය නිරීක්ෂණය කර තිබිණි. 2001 ජනවාරියේ දී අටාට, එක්සත් ජනපදයට පිවිසීම සඳහා අවසර ලැබුණේ, ඔහුගේ සංචාරක වීසා බලපත්‍රයේ කොන්දේසි පැහැදිලිවම උල්ලංඝනය කරමින් තමන් ගුවන් යානා පැදවීමේ පාඨමාලාවක් හදාරන බවට ප්‍රකාශයක් ආගමන බලධාරීන් වෙත කර තිබියදීය. අටා එක්සත් ජනපදය තුළදී සිය වැඩ කටයුතු අසාමාන්‍ය පහසුවකින් කරගෙන ගිය ආකාරය, The War on Truth (සත්‍යයේ යුද්ධය) යන සිය කෘතිය තුළ නෆීස් මොසාඩෙක් අහමඩ් නමැති ලේඛකයා මනාව කැටි කොට දක්වා ඇත.

“කෙටියෙන් කිවහොත්, බලධාරීන් ඉදිරියේ හොඳින් හෙළිදරව් වී සිටියත් මොහොමඩ් අටා ගෙනගියේ නිස්කලංක ජීවිතයකි. 1986 පටන් ඔහු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදී සුපරීක්ෂණ ලේඛනයට ඇතුළත් කොට සිටියත්, එක්සත් ජනපදයට නිදහසේ ඇතුළු වීමටත් පිටව යෑමටත් කිහිප වතාවකදීම ඔහුට අවසර ලැබී තිබිණි. පුපුරන ද්‍රව්‍ය සෑදීමට යොදාගත හැකි රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මිලට ගැනීම නිසා 2000 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ඔහු සීඅයිඒ ඒජන්තයන්ගේ ආවේක්ෂණයට ලක් විය. 2001 ජනවාරියේ දී ඔහු, අයිඑන්එස් ඒජන්තයන් විසින් මියාමි ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී විනාඩි 57ක් රඳවාගනු ලැබුවේ, මීට පෙර වීසා කාලය ඉක්මවා රැඳී සිටීම නිසා හා ෆ්ලොරිඩාහි ගුවන් යානා පැදවීමේ පාසැලෙහි පුහුණු වීම සඳහා එක්සත් ජනපදයට ඇතුළු වීමේදී පිළිගතහැකි වීසා බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අසමත් වීම නිසා ය. එහෙත් එය ඔහු නතර කිරීමට සමත් නොවී ය. එක්සත් ජනපදයේ ගුවන් යානා පැදවීමේ පාසැල්වලට ත්‍රස්තවාදීන් ඇතුළු වීමේ හැකියාව පිළිබඳව කලක් තිස්සේම එෆ්බීඅයියට සැකයක් පැවතියේ වී නමුත්, ෆ්ලොරීඩා හි පියාසර පාසැලකට ඇතුළත්වීමට අටාට ඉඩ ලැබුණි. 2001 අප්‍රේල් මාසයේදී බලපත්‍රයක් නොමැතිව වාහනයක් පැදවීම සම්බන්ධයෙන් පොලීසිය ඔහු රඳවා ගත්තේය. ඔහු මැයි මාසයේදී උසාවියේ පෙනීසිටීමට අසමත් වූ අතර අත්අඩංගුවට ගැනීමේ උසාවි වරෙන්තුවක් නිකුත් කර තිබුණි. එයද ඔහු නතර කිරීමට සමත් නොවූයේ කිසි විටෙකත් වරෙන්තුව ක්‍රියාත්මක නොකිරීම නිසාය. එනමුදු බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් ඔහු පසුව අවස්ථා දෙකකදීම අත් අඩංගුවට ගෙන තිබිණි. එක්සත් ජනපදයේ ඔහු ගත කල කාලය තුල අටා කිසි විටෙකත් ආරූඪ නාමයකින් කටයුතු කිරීමට උත්සාහ නොකළ අතර පාසැලෙහි ඉගෙනීමේදීද, ගමන් බිමන් යෑමේදීද, ජීවිතය ගතකිරීමේනදීද, ඔහු කටයුතු කළේ සිය නියම නමින්ය. 2001 සැප්තැම්බරයේදී එෆ්බීඅයිය සොයා ගත් පරිදි අටා නිතිපතා සම්බන්ධකම් පවත්වා ගෙන ගිය පුද්ගලයන් හතළිස් දෙනකුගේ ලිපින තැපැල් ලේඛනයෙහි දැක්වුණි. ඔවුන් එක්සත් ජනපදයේ ප්‍රධාන ආරක්ෂක කොන්ත්‍රාත් ආයතනවල දැනට සිටින හා හිටපු සේවකයන් වීමද කුතුහලය දනවයි.... “මෙම සිද්ධිදාමය මුදු ලෙස අර්ථනිරූපනය කිරීම දුෂ්කරය. කෙටියෙන් කිවහොත් විසඳිය නොහැකි නම් නොවැළැක්විය හැකි ලෙසම එළැඹිය හැකි නිගමනය වන්නේ එක්සත් ජනපද රජය දැනුවත්ව හා යළියළිත් හඳුනා ගත් ත්‍රස්තවාදියෙකුට බාධාවකින් තොරව එක්සත් ජනපදයට ඇතුඵ වීමටත් පියාසර පුහුණුවල යෙදීමටත් ඉඩ සැලසූ බවයි.” [Oliver Branch press, Northampton, mass 2005. pp 205-06]

එක්සත් ජනපද ආණ්ඩුව වෙතින් අටාට හිමි වූ වීඅයිපී සැලකිලිවලට කිසි සේත් නොදෙවැනි ලෙස අසාමාන්‍ය අනෙක් කාරණය නම්, 9/11 අනෙකුත් ත්‍රස්තයන් කෙරෙහි පිදූ අතිථි සත්කාරයි. නවාෆ් අල්හස්මි හා ඛාලීඩ් අල්මිඩාර් යන දෙදෙන 2000 ජනවාරියේ දී අල්-ඛයිඩාවේ “සමුළු රැස්වීමට” සහභාගි වී ඇති බව සීඅයිඒ විසින් හොඳින් හඳුනාගෙන තිබිණි. ඔවුන්ගේ හැසිරීම සීඅයිඒ විසින් වසරකට අධික කාලයක් තිස්සේ නිරීක්ෂණය කර තිබුණද ඉන් එක් අයෙකුට හෝ එක්සත් ජනපදයට ඇතුළු වීමේදී කිසිදු ගැටලුවක් ඇති නොවීය. අල්මිඩාර්, 2000 ඔක්තෝබරයේ දී යූඑස්එස් කෝල් යුද නැවට බෝම්බ තැබීමට සම්බන්ධ බවට හඳුනා ගෙන තිබුණත් ඔහු එක්සත් ජනපදයට පැමිණියේ 2001 ජුනි මස අලුත් කළ බහුවිධ වීසා බලපත්‍රයකිනි. 2001 ජනවාරි 30 දින ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි විට, එක්සත් ජනපද ආණ්ඩුවේ නිශ්චිත උපදෙස් මත, ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් රඳවා ගනු ලැබූ සියාඩ් සමීර් ජරා 9/11 ගුවන් යානා කොල්ලයේ තවත් අනාගත හවුල්කරුවෙකු විය. මෙම පුද්ගලයාගේ කටයුතු පිළිබඳව උනන්දුවීමට තරම් බරපතළ හේතු එක්සත් ජනපදය සතුව නොතිබියේ නම් මෙවැන්නක් සිදුවීමට ඉඩක් නැතැයි යමකු සිතනු ඇත. මෙම සිදුවීම නොතකාම අට මසකට පසුව ජරාට එක්සත් ජනපදයට ඇතුළුවීමටත් පියාසර පුහුණුවට බැඳීමටත් හැකි විය. දැනටමත් තහවුරු කර ඇති කරුණු මත පදනම්ව, මොහොමඩ් අටා සහ අනෙකුත් ගුවන් කොල්ලකරුවන් 9/11 සඳහා සූදානම් වූයේ එක්සත් ජනපද ආණ්ඩුවේ සීඅයිඒ සහ අනෙකුත් ඔත්තු සේවා ඒජන්සිවල බලගතු අය විසින් සම්පාදනය කළ ආරක්ෂක ඡත්‍රය යට බව නිසැකය.

ලබන සතියට...

මාතෘකා