තකාශි මුරකාමි

 ඡායාරූපය:

තකාශි මුරකාමි

තකාශි මුරකාමි (1962) වර්තමානයේ වැඩ කරමින් සිටින ජපන් ජාතික ප්‍රමුඛතම දෘශ්‍ය කලා ශිල්පියෙකි. ජනප්‍රිය කලාව හා ඇන්ඩි වෝහල්ගේ කෘති ඇසුරේ පෝෂණය වී ඇති අතර ප්‍රමාණාත්මකව ගත් විට විශාල වශයෙන් දෘශ්‍ය කලා නිර්මාණකරණයක් දැකිය හැකිය. දෘශ්‍ය කලා ප්‍රදර්ශන ගණනාවක් සම්පාදනය කර ඇති ඔහු ජපානයේ, National University of Fine arts and Music හි BFA, MFA හා PHD යන උපාධි ත්‍රිත්වය හදාරා ඇති අතර ඇකඩමියාවේ සාරයද සහිතව ප්‍රායෝගිකව බොහෝ කෘති ප්‍රමාණයක් නිර්මාණය කළ ශිල්පියෙකි. සාම්ප්‍රදායික ජපන් සිතුවම කෙරෙහි බටහිර බලපෑම හා තමා නිෂ්පාදනය කරගත් දේ සම්ප්‍රදායක් ලෙස ව්‍යාප්ත කිරීමේ හැකියාව ඔහු සතු විය. එහිදී අති නවීන තාක්ෂණය කලාව හා ඒකාබද්ධ කිරීමට ඔහු සමත් වෙයි. මුරකාමිගේ කලාත්මක පුහුණුව විලාසිතා, වාණිජ ක්ෂේත්‍රය හා අනෙකුත් ක්ෂේත්‍රයන් අතර අතිශය පුළුල් ලෙස විහිදී යයි.

ඔහු කලා සම්ප්‍රදායන් රැසක, එනම් ජනප්‍රිය කලාව, උසස් කලාව අතර පශ්චාත් හිරෝෂිමා තත්ත්වය පිළිබඳව වූ අවබෝධය සහ පෙරටුගාමී කලාව, මංග හා ඇනිමෙ කලා ආභාසයන් අතර අන්තර් සම්බන්ධතා ගවේෂණය කර පුළුල් ලෙස අධ්‍යයනය කරමින් නිර්මාණකරණයේ නියැළුන කලාකරුවෙකි. පර්යාවලෝකනය නොමැතිකම යන පුරාණ ජපන් කලාවේ ද්විමාන භාවය සෑම මාධ්‍යයක් වෙතම ප්‍රක්ෂේපනය කරයි.

1990 දශකයේ මුල් භාගයේ සිට මුරකාමි විසින් ජපානය, යුරෝපය සහ එක්සත් ජනපදය යන රටවල ජනප්‍රිය කාටූන්වල අංගයන් ඒකාබද්ධ කරන චරිත නිර්මාණය කරනු ලැබ ඇත. ඔහුගේ පළමු 'ඩොබ්' චරිතය ඇතැම් විට කලාකරුවා වෙනුවෙන් පෙනී සිටිමින් විවිධ සජීවිකරණ සහ සිනහවෙන් යුත් මල්, වලසුන් සහ සිංහයන් නිර්මාණය කරයි. මේවා අයිකන සහ සංකේත ලෙස ක්‍රියා කරයි. ප්‍රචණ්ඩත්වය, තාක්‍ෂණය සහ කල්පිත යන වඩාත් සංකීර්ණ තේමාවන් සඳහා සත්කාරකත්වය සපයයි.

සංස්කෘතික වශයෙන් සාම්ප්‍රදායික ජපන් කලාවේ දිශානතිය වෙනස් කරන ඔහු විසින් නිර්මාණය කරන ලද ප්‍රදර්ශනවලින් පසුව 2001දී හඳුන්වා දුන් Superflat aesthetic පිළිබඳව ඔහුගේ න්‍යායේ සීමාවන් බොඳ කිරීමට උත්සහ කරයි. Superflat සෞන්දර්ය, එනම් ජපන් ග්‍රැෆික් කලාව, සජීවීකරණය, පොප් සංස්කෘතිය හා ලලිත කලාවන්හි විවිධ පැතලි ආකෘතීන් මෙන්ම "ජපන් පාරිභෝගික සංස්කෘතියේ නොගැඹුරු හිස් බව" ගැන සඳහන් කිරීමට මුරකාමි විසින් භාවිත කරන ලද කලා නිර්මාණාවලියයි. මුරකාමිගේ නිරූපණය පෙර නොවූ විරූ චරිත සහ ආකෘති රැසක් ඉදිරිපත් කරන රැඩිකල් පියවරක් ගත් අයකුගේ බවක් පෙනෙන්නට තිබේ. එමෙන්ම ඒවායෙහි පැහැදිලි කලා ඉතිහාසයක අඩංගු කිරීමක් වන අතර ඇතැම් ඒවා සාම්ප්‍රදායික ජපන් කෘති පිළිබඳව ඍජු සමකාලීන යාවත්කාලීන කිරීම්ද වේ.

1995දී ජපානයේ ගැලරි අවකාශයෙන් පිටත පළමු දෘශ්‍ය කලා ප්‍රදර්ශනය පවත්වන අතර එහිදී ප්‍රමුඛ සිත්තරකු ලෙස ලබා ගත් පිළිගැනීමත් සමඟ ඔහුගේ කෘති ලොව පුරා කෞතුකාගාරවල සහ කලාගාරවල ඒකල ප්‍රදර්ශන ලෙස ජනගත විය. වර්තමානයේදීද අඛණ්ඩව එම ගලායෑමේ ඇති මුරකාමිගේ නිර්මාණ පුළුල් පරාසයක විහිදී ඇති බව දැකගත හැකිය.

[ප්‍රගීත් රත්නායක]

මාතෘකා