තුර්කියෙන් සිරියාවට තහනම් රසායනික අවි ප්‍රහාර

 ඡායාරූපය:

තුර්කියෙන් සිරියාවට තහනම් රසායනික අවි ප්‍රහාර

සිය දේශය තුළ ස්ථාපිත කොට තිබූ ඉස්ලාමීය ත්‍රස්තයන්ගේ කැලිෆේටය බිඳ වැටීම නිසා සිරියාව පසුගිය මාර්තු මාසයේ තරමක අස්වැසිල්ලක් ලැබීය. එහෙත් පසුගිය 9දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කියට කැමති දෙයක් කළ හැකි බව නිවේදනය කිරීමත් සමග ඒ අස්වැසිල්ල බිඳී ගියේය. මන්දයත් සිරියාවේ ක්‍රියාත්මක කුර්දිශ් සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කරන්නට තුර්කිය පටන් ගත් හෙයිනි.

වසර කිහිපයක් තිස්සේ සටන් ඇවිලී පවතින, ඒ සටන් නිසා සාමාන්‍ය ජන පිවිතය බරපතළ ලෙස කඩා වැටුණ රාජ්‍යයකට හොඳ උදාහරණයකි සිරියාව. එරට ජාතික හමුදාවට පාර්ශ්ව කිහිපයක් සමග සටන් කරන්නට සිදුව තිබිණි. ජනාදිපති බෂිර් අල්-අසාද්ගේ ආණ්ඩුවට එරෙහිව ‘අරාබි වසන්තය’ නිසා පැන නැගුණු විරුද්ධ පාක්ෂියන්ගෙන් සමන්විත විකල්ප කණ්ඩායම ඉන් පළමුවැන්නයි. දෙවැන්න වූයේ අමෙරිකා එක්සත් ජනපදයේ මෙන්ම බටහිර රටවලද රුසියාවේද උදව්වෙන් කුර්දිශ් සටන්කාමීන් විසින් පලවා හරින ලද අයිසිස් කල්ලියයි. අවි බලයෙන් මෙන්ම පිරිස් බලයෙන්ද ඉතා බලවත්ව සිටි එම කණ්ඩායම විසින් කරන ලද හානිය සුළුපටු නොවේ.

දැන් සටනට එළැඹ සිටින්නේ තුර්කියයි. එහෙත් ඒ සිරියානු රජය සමග නොවේ; සිරියාවේ ක්‍රියාත්මක කුර්දිශ් සටන්කාමීන් සමගය. එහෙත් සිරියා දේශයෙන් බිම් කොටසක් සිය පානය යටතට ගැනීමද ඒ ප්‍රහාරවල එක් අරමුණක් බව පැහැදිලිය.

කුර්දි ත්‍රස්තයන් මෙහි මතු විස්තර කෙරෙන යෝජිත ආරක්ෂිත කලාපයෙන් ඉවත්ව නොගියහොත් ඔවුන්ගේ ‘ඔළුගෙඩි තලා දමන බව’ පසුගිය සෙනසුරාදා (19) තුර්කි ජනාධිපති රෙසෙප් ටයියිප් එරදගොන් පැවසීය’යි බීබීසී වාර්තාවක දැක්වේ.

කුර්දිවරුන් යනු ඉරාන මූලය සහිත ජන කණ්ඩායමකි. අතීතයේ කුර්දිස්තානය නම් දේශයක් පැවැති අතර 20 සියවසේ මුලදී ඉංගිරීසින් විසින් රටවල මායිම් බෙදාවෙන් කිරීමේදී කුර්දිස්තානය සිතියමෙන් අකාමකා දමා වර්තමානයේ තුර්කිය, සිරියාව, ඉරාකය, ඉරානය, අසර්බයිජානය, ආර්මේනියාව සහ ජෝර්ජියාව යන රටවලට ඇතුළත් කොට සිතියම් සැකසීම නිසා කුර්දිවරුන්ට තම නිජ භූමිය අහිමි විය. දැන් ඔවුහු මේ සෑම රටකම සහ ඩයස්පෝරාවේද ජීවත්වෙති. ලොව පුරා ඔවුන්ගේ මුළු ජනගහනය මිලියන 40 - 45 පමණවෙති’යි ගණන් බලා තිබේ. ඔවුන්ගේ ප්‍රශ්නයට එක්සත් ජාතීන්ට පවා විසඳුමක් නැති අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය පලස්තීනුවන්ටත් අන්තය.

කුර්දි ජනයාට අනුව උතුරු කුර්දිස්තානය නිරිත දිග තුර්කියේත්, බටහිර කුර්දිස්තානය උතුරු සිරියාවේත්, දකුණු කුර්දිස්තානය වයඹ දිග ඉරාකයේත්, නැගෙනහිර කුර්දිස්තානය ඉරානයේත් තිබිය යුතුය. මේ අතරින් සිරියාව සහ ඉරාකය කුර්දි ජනයාට ස්වයං නිර්ණය සහිත පාලන ප්‍රදේශ වෙන්කොට දී ඇති අතර ඒවායේ පාලනය මධ්‍යම රජයේ පාලනයෙන් වියුක්තව එහෙත් එකම රටකට අයත් සේ පිළිගැනෙනු ඇත.

උතුරු සිරියාවේ තුර්කි දේශ සීමාව ආසන්යේ පිහිටි කුර්දින්ගේ පාලන ප්‍රදේශය ‘උතුරු සිරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරේශනය’ නමි. රොජාවා (Rojawa) නමින් ද හැඳින්වේ. ප්‍රධාන දේශපාලන ධාරා දෙකක් ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්‍ෂය එය පාලනය කරයි. කුර්දි බසේ වචනවල මුලකුරු භාවිතයෙන් YPG ලෙස හැඳින්වේ. අයිසිස් ත්‍රස්තයන් හා සටන් කළේ එහි සනනද්ධ අංශය වන සිරියානු ප්‍රජාතන්ත්‍රීය හමුදාවයි. (SDF) ඉරානයේ මධ්‍යම රජය යටතේම වෙනම පළාතක් පමණක් කුර්දිවරුන්ට වෙන් කොට ඇති අතර එහි කියාත්මක නීතිය තරමක් වෙනස්ය. තුර්කිය කිසිම ආකාරයකින් කුර්දි ජනයා පිළිගන්නේ නැත.

පසුගිය සියවස දෙවැනි දශකයේ පමණ කුර්දිවරුන් සහ තුර්කි රජයේ හමුදා අතර ගැටුම් ඇරැඹිණි. දිගින් දිගටම පැවැති එම මරාගෙන මැරෙන ගැටුම් නිසා දෙපාර්ශ්වයේම බොහෝ දෙනා මරණයට පත් වුහ. 1980 වසරේ තුර්කියේ සිදුවු හමුදා කුමන්ත්‍රණයෙන් බලය අල්ලාගත් හමුදාව කුර්දිශ් බස භාවිතය තහනම් කළේය. ඒ බස වැහැරූවන් අල්ලා ලඝු නඩු විභාගවලින් පසු සිරගත කරන ලදි. 1991 දී කුර්ද් යන්නෙන් බිඳී එන සියලු වචන තුර්කියේ භාවිතය තහනම් කරන ලද අතර එම ජන කණ්ඩායම හැඳින්වීමට කඳුකර තුර්කින් (Mountain Turkish) යන්න භාවිත කරන ලදී. මෙසමයේ PKK යන නමින් හැඳින්වෙන කුර්දි කම්කරු පක්ෂය බිහි විය. යුද නීතිය පනවන ලදී. ඒ යටතේ අත් අඩංගුවට ගන්නා ලද කැරලිකරුවන් ලඝු විභාගවලින් අනතුරුව මරණ දඬුවමට යටත් කොට හිස් ගසා දමන ලදි. තුර්කිය තුළ පිහිටි කුර්දි ගම්මාන ගිනිතබා වනසන ලද අතර 20,000 ඉක්මවන පිරිසක් අමුඅමුවේ මරා දමා අසංඛෙය ජනතාවක් පලවා හරින ලදි.

මේ අනුව තුර්කියේ අරමුණ පැහැදිලිය. තුර්කියට අවශ්‍ය වී ඇත්තේ කුර්දි ජනයාට සිය රටේ ඉඩක් නොදන අතරම සිරියාවෙන්ද ඔවුන් පලවා හැරීමය. ඒ යටිපෙළ කියැවීමයි. මතුපිටින් පෙන්වා දෙනු ලබන්නේ වෙනත් හේතුය. ඒ සියල්ල සමාන වැදගත්කමකින් යුත් බව මෙහිදී සැලකිය යුතුය.

ඉන් එකක් වනුයේ කුර්දිශ්වරුන් සිරියාවේ ස්වයංනිර්ණ පාලන ඒකකයක් පවත්වා ගෙන ගියත් එම ගෝත්‍රය තුර්කි භූමියටද හිමිකම් කීම සහ තුර්කිය එය පිළි නොගැනීමය. වර්තමානයේ කුර්දිශ් කණ්ඩායම ස්ථානගත වී සිටින්නේ උතුරු සිරියාවේ සහ ඉරාකයේ තුර්කි දේශ සීමාවල හා ඊට ආසන්නවය. මෙය අන්කාරා පාලනයට නොරිසිය. සිරියාව තුළ පවතින කුර්දි ස්වයංපාලන ඒකකයේ බලයට පත්ව සිටින YPG නමින් කුර්දි වචනවල මුලකුරුවලින් හැඳින්වෙන කුර්දි ජනතා ආරක්ෂක ඒකකය ත්‍රස්ත කන්ඩායමක් ලෙස අන්කාරා පාලනය විසින් නම් කරනු ලැබ තිබේ. තුර්කිය පෙන්වා දෙන තවත් එක් කාරණයක් නම් සිරියාවේ පැවැති යුදමය තත්ත්වය නිසා එරට ආර්ථිකයට දරාගත නොහැකි තරම් සරණාගතයන් පිරිසක් තුර්කිය වෙතට සිරියාවේ සිට පලා ඒමයි. දැන් අයිසිස් තර්ජනය නොමැති හෙයින් ඒ සරණාගතයන්ට ආපසු සිය මව් බිම වෙත යන්නට කාලය උදා වී තිබේ. එහෙත් දේශ සීමාවේ සිටින කුර්දිශ් ත්‍රස්තයන්ගෙන් ඊට ඉඩක් නැත. ඒ නිසා තුර්කි සිරියා දේශ සිමාවේ කිමී 480ක් දුරට සිරියාව පැත්තේ කිමි 32ක් ඇතුළට (වර්ග සැතපුම් 300x20) ආරක්ෂිත කලාපයක් තිබිය යුතුය. තුර්කිය කුර්දි සටන්කාමීන් සමග සටන් වැද සිටින්නේ ඒ ආරක්‍ෂිත කලාපය ස්ථාපිත කරන්නටය.

තවත් හේතුවක් වන්නේ අයිසිස් ත්‍රස්තයන් සමග සටන් කරනු පිණිස අමෙරිකානු හමුදාවෙන් ලද අවි සහ අනෙකුත් යුද්ධොපකරණ තවමත් කුර්දි සටන්කරුවන් අත තිබිමයි. ඔවුන් සිටින්නේ තුර්කි මායිමට නුදුරින් වන හෙයින් ප්‍රහාරවලට ලක්වීමේ අවදානමක් තුර්කි වැසියන්ට තිබේ.

කෙසේ වෙතත් එබඳු ආරක්ෂිත කලාපයක් පිහිටුවනු ලැබුවහොත් එහි පාලනය තුර්කි හමුදාව විසින් පවත්වා ගෙන යනු ඇති අතර රාජ්‍යයක් ලෙස සිරියාව මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නයක් වනු ඇත. එවිට ගෝලාන් කඳුකරය මෙන් ඒ ප්‍රදේශයද සිරියාවට අහිමි වන්නට ඉඩ තිබේ.

මේ සියල්ල ඇරැඹුණේ පසුගිය 06 ඉරිදා ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයත් සමග ය. ‘තුර්කිය දිගු කාලයක් තිස්සේ සැලසුම් කළ පරිදි උතුරු සිරියාවේ ක්‍රියාන්විතවලට එළැඹෙන්නේ නම් ඉස්ලාමීය රාජ්‍යය පරාජයට පත් කළ අමෙරිකා හමුදා එම ක්‍රියාන්විතවලට සම්බන්ධ වන්නේ හෝ එරෙහි වන්නේ හෝ නැත.’ එයින් පසු 13දා අමෙරිකාව සිරියාවේ ස්ථානගතකොට සිටි සිය හමුදා ඉවත් කැර ගැනීම ඇරැඹීය. තුර්කිය, සිරියා දේශ සීමාව තුළ ආරක්ෂිත කලාපයක් ප්‍රකාශයට පත් කොට කුර්දින් පලවා හරින්නට අවි බලය යොදන්නේ මේ අතරවාරයේය.

පෙර සඳහන් නිවේදනය නිකුත් කරන්නට පෙර ජනාධිපති ට්‍රම්ප් සහ තුර්කි ජනාධිපති රෙසෙප් එර්දගොන් අතර දීර්ඝ දුරකතන සංවාදයක් පැවැති බව සඳහන්ය.

ඔක්තෝබර් 07 වනදා ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩය ඉහවහා ගිය ආත්ම වර්ණනාවකින්ද යුක්තය. ‘මා මීට පෙර තදින්ම කියා ඇති පරිදි සහ පුනරුච්චාරණය කරන පරිදි තුර්කිය සීමාව ඉක්මවා යන බව මගේ මහාර්ඝ සහ අසමසම ප්‍රඥාවට හැඟුණහොත් පෙරද මා කර ඇති පරිදි තුර්කියේ ආර්ථිකය කටුගා දමා වනසමි. ඔවුන් යුරෝපය සහ අප හා එක්ව සිටිය යුතුයි’

ඊට පසුදා ඔහු සිය රට සමග වෙළෙඳ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් තුර්කියට ප්‍රශංසා කළ අතර කුර්දිවරුන් තනි නොකරන බවද සඳහන් කළේය.

නැවත 09දා ඔහු ට්වීට් කළේ තුර්කි ක්‍රියාන්විතය මානුෂික මුහුණුවරකින් යුතු වීම අනිවාර්ය බවයි. එසේ නොවුණහොත් දැඩි ආර්ථික විපාකවලට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවයි.

නැවත 10දා ජනාධිපති ට්‍රම්ප්, තමා කුර්දිවරුන්ට කැමැත්තෙන් සිටි බවත් එහෙත් ඔවුන් සටන් කළේ තමන්ගේ උදව්වට නොව තමන්ගේ උදව්වෙන් සිය භූමිය බේරා ගැනීිමට බවත් සඳහන් ට්විටර් පණිවුඩයක් තැබීය. දෙවන ලෝක සංග්‍රාමයේදී කුර්දිවරුන් තමන්ද ඇතුළත් මිත්‍ර පාර්ශ්වයට නොව නාසි ජර්මනියට උදව් කළ බවද එහි සිහිපත් කළේය.

කුර්දි ජනතාවගේ අදහස වන්නේ අමෙරිකා එක්සත් ජනපදය නින්දිත ලෙස තමන් පාවා දුන් බවයි. ඔවුන්ගේ තරුණ තරුණියන් දිවි දුන්නේ අමෙරිකාව කෙරෙහි විශ්වාසය තබා වන නමුත් අමෙරිකාව මේ වන විට තමන් පාවා දී තිබෙයි.

තුර්කිය මෙම ක්‍රියාන්විතය හඳුන්වන්නේ ‘සාම වසන්තය’ යන නමිනි.

මේ අතර තුර්කියේ ප්‍රහාර පමණ ඉක්මවා යන බව පෙන්ටගනයේ අදහසයි. එක්සත් ජාතින්ගේ මතයද එයම වෙයි. එම ප්‍රහාර නිසා සිවිල් වැසියන් සියයකට අධික සංඛ්‍යාවක් මරණයට පත් වීම එක්සත් ජාතීන්ගේ කනස්සල්ලටත් අමෙරිකාවේ කෝපයටත් හේතු වී තිබෙන බව දැකිය හැකිය. ජනාධිපති ට්‍රම්ප් පසුගිය අඟහරුවාදා තුර්කියෙන් ආනයනය කරන වානේවලට 50% බදු පැනවූ අතර වෙළෙඳ සම්බාධකද පනවා තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාරික ස්ටීව් ම්නුචින් සහ උප ජනාධිපති මයික් පෙන්ස් එක්ව පසුගිය 15 දින නිකුත් කළ නිවේදනයකට අනුව මේ වනවිට තුර්කියේ ආරක්ෂක සහ බලශක්ති අමාත්‍යංශවලත් එම ආත්‍යවරුන්ගේත් අමෙරිකාවේ පවත්වා ගෙන යන ගිනුම් සියල්ල ශීතනය කරනු ලැබ ඇති අතර අමෙරිකාවේ මූල්‍ය පද්ධතියට සම්බන්ධ කිසිම ආයතනයකට එම අමාත්‍යංශ සහ පෞද්ගලිකව අමාත්‍යවරුන් සමග ගනුදෙනු කිරීම සපුරා තහනම්ය. ‘තුර්කි ආණ්ඩුවේ ක්‍රියාකලාපය අහිංසක සිවිල් පුරවැසියන්ගේ ජීවිත අනතුරට පත් කරන අතරම කලාපයේ ආරක්‍ෂාවටද තර්ජනයකි. එය අයිඑස් ත්‍රස්ත මර්දනයේ අමෙරිකානු ක්‍රියා පිළිවෙත යටින් බිඳියි.’

ඒ අතර පෙන්ස් පසුගිය සතියේ අන්කාරා වෙත ගොස් සටන් විරාමයකට එර්දගොන් පොළඹවා ගත් බව පළ වෙතත් එය එතරම් සාර්ථක බවක් වාර්තා අනුව නොපෙනේ.

මේ අතර කුර්දි සටන්කාමීන් කලක් තමන් සමග එදිරිව සිටි සිරියානු රජයෙන් මිලිටරිමය සහාය ඉල්ලා ඇති අතර රජය ඔවුන්ට එම සහාය ලබා දෙන්නට එකඟ විය. මේ වනවිට රුසියාවේ පිටුබලය සහිත සිරියානු හමුදා උතුරු සිරියාවේ ස්ථානගත කරනු ලැබ තිබේ.

මෙහිදී රුසියාව කෙළින්ම මැදිහත් වෙති’යි සිතීම තරමක් අපහසුය. මන්දයත් සිරියාව සහ රුසියාව අතර ඉතා මෑතකදී යුද අවි විකිණීම සඳහා ගිවිසුමක් අත්සන් තබන ලද හෙයිනි. තෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමා ජනාධිපති පුතින් සමග සාකච්ඡාවකට එළැඹෙන බව ජනාදිපති එර්දගොන් පවසා තිබේ.

අවි මිල දී ගැනීමට අමෙරිකාවේ විරෝධය පළ වූ නමුත් තුර්කි ජනාධිපති එර්දගොන් අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සමග සාකච්ඡා කොට එකඟත්වය ලබා ගන්නට සමත් විය.

තුර්කිය විසින් ආරක්ෂිත කලාපය ලෙස නම් කොට ඇති වර්ග සැතපුම් 6,000ක ප්‍රදේශය දකුණේ මුඩු නිස්සාර බිම් මෙන් නොව සාරවත් යහපත් අස්වැන්නක් ගොවීන්ට ලබා දෙන බිමකි. මේ ප්‍රදේශයේ ගම්මාන 50ක් පමණ ඇති අතර ගොවි පවුල් 6,000 ඉක්මවන සංඛ්‍යාවක් ඇති බව සඳහන්ය. තුර්කිය මේ පෙදෙසේ වෙසෙන කුර්දි සටන්කාමින්ට ප්‍රහාර එල්ල කරන විට ඒවායින් විපතට පත් වන්නේ අහිංසක නිරායුධ ජනතාවය. පොස්පරස් වැනි තහනම් රසායනික අවි පවා මේ ප්‍රහාරවල දී භාවිත කෙරෙන බව පැවසේ.

ජනාධිපති ට්‍රම්ප්ට අනුව මෙය පිට්ටනියක ළමුන් අතර සණ්ඩුවක් වාගේය. ගහගෙන ඇති වුණාම දෙගොල්ලෝම එය අත්හරිති. ඒ නිසා කිසිවකුත් එයට මැදිහත් වීමේ අවශ්‍යතාවක් නැත.

මේ ප්‍රකාශයත් සමග ඔහුගේ සිහිය විකල් වී ඇත්ද කියා සැක පහළ වෙයි. මන්දයත් මෙහි දී මිනිස් ජීවිත විනාශ වන හෙයිනි. පොස්පරස් ප්‍රහාරවලට ලක් වූ දරුවන්ගේ පින්තූර පුවත් වෙබ් අඩවිවල දැකිය හැකිය.

මේ අතර කුර්දිශ් ගෝත්‍රිකයන්ගේ මේ ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම ඉතා අවම මට්ටමක පවතින බව ප්‍රකටය.

මාතෘකා