ඉරාකයේ විරෝධතා

 ඡායාරූපය:

ඉරාකයේ විරෝධතා

පසුගිය සඳුදා ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සහ නගරෝපාන්තවල රජයට එරෙහි විරෝධතා ව්‍යාපාර අරැඹි අතර මේ වනවිටත් තත්ත්වය සමනය වී නොමැත. විරෝධතාකරුවන් සහ රජයේ ආරක්‍ෂක බළකා අතර ගැටුම් තවමත් පවතියි. ඉරාක ආරක්‍ෂක හමුදා විසින් පහර දෙන ලදුව විරෝධතාකරුවන් සියයකට අධික සංඛ්‍යාවක් මිය යන්නට ඇති බව වාර්තාවල සඳහන් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 6,000 ඉක්මවන බව දැක්වේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ දවස පුරා ඇඳිරි නීතිය පනවා තිබූ පසුගිය සෙනසුරාදාය. හමුදාව විරෝධතාකරුවන් ඉලක්ක කොට ගනිමින් ජීව උණ්ඩ භාවිතයෙන් වෙඩි තැබූ බවට සාක්‍ෂි ඇතැයි පැවසේ. ඊට අමතරව විරෝධතාකරුවන් පලවා හරින්නට රබර් උණ්ඩ භාවිතයෙන් වෙඩි තැබීමත් කඳුළු ගෑස් සහ ජල විදිනවලින් ප්‍රහාර එල්ල කිරීමත් නොකඩවා සිදු වෙයි.

ඉරාකය පුරා අන්තර්ජාලය අවහිර කොට ඇති අතර කුඩා කණඩායම් වශයෙන් හෝ එක්රැස්වීම ප්‍රහාර එල්ල වන්නට හේතු වෙයි. සන්නද්ධ හමුදා සෙබළුන් සිවිල් ඇඳුමින් කැරලි නායකයන්ගේ නිවෙස්වලට ගොස් පහරදෙන බවටද චෝදනා නැඟේ.

මේ විරෝධතා ව්‍යාපාර ඇරඹුණේ වර්තමාන අග්‍රාමාත්‍ය අබ්දුල් මහ්දි නිල වශයෙන් රාජකාරි බාරගෙන වසරක් ගෙවී සැපිරෙන දිනයේය.

කේම්බ්‍රිජ් උපාධිධරයෙක් වන මහ්දි වෘත්තියෙන් ආර්ථික විශේෂඥයෙකි. එහෙත් ඔහුගේ එක් වසරක පාලන සමය තුළ සිය ජීවන තත්ත්වය ඉතා පහළ අඩියකට වැටුණු බව පොදු ජන මතයයි.

අතීතයේ ඉරාකය සමෘද්ධිමත් දේශයක් විය.

ඒ සමෘද්ධිමත් බව සද්දම් හුසෙයින්ගේ බලලෝභය නිසා කෙමෙන් පිරිහිණි. වර්තමානයේ පවතින අවාසනාවන්ත තත්ත්වයේ මූලය එයයි. ඒ නිසා බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්නට එරටට සිදු විය. ඉරාණය සමග 1980 සැප්තැම්බර් මස ඇරැඹි වසර අටක් පුරා ඇදී ගිය ඉරාණ - ඉරාක යුද්ධය නිසාත් ආර්ථික සම්බාධක නිසාත් රට ආර්ථික අගාධයට ඇදී ගියේය. විදේශවලට ණය වූ ප්‍රමාණය ඇ.ඩො. බිලියන 80 - 90 පමණ වේ. ඇත්තටම නම් මැද පෙරදිග දැන් පවත්නා අස්ථාවරභාවයේ පුරෝගාමියා හුසෙයින් යැයි කිවහොත් නිවැරදිය. මන්දයත් අමෙරිකා එක්සත් ජනපදය ඒ කලාපයට ප්‍රසිද්ධියේම අත පොවන්නට පටන් ගත්තේ ඉන් ඉක්බිති වන හෙයිනි.

1979 ජූලි මස ඉරාකයේ ජනාධිපතිවරයා ලෙස පත් වූ හුසෙයින් අමෙරිකානු මැදිහත්වීමකින් 2003 අප්‍රෙල් මස බලයෙන් පහ කරෙන තෙක්ම බලය පවත්වා ගෙන ගියේය. මේ කාලය තුළ ඉරාක වැසියන් ලක්ෂ දෙකහමාරක් පමණ විවිධ හේතු නිසා ඝාතනය කරනු ලබන්නට ඇතැයි සඳහන්ය. ඉරාණය සමග 1980 සැප්තැම්බර් මස ඇරැඹි වසර අටක් පුරා ඇදී ගිය ඉරාණ - ඉරාක යුද්ධයේදී අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව මිලියනය ඉක්මවයි. එම යුද සමයේ සිදු වූ කුර්දි ගෝත්‍රික සමුලඝාතනයේදී මරා දමන ලද සංඛ්‍යාව 180,000 පමණ වෙති’යි ගණන් බලා ඇත. ඒ අනුව ඔහු ලේ පිපාසාවෙන් පෙළුණු ඝාතකයකු ලෙස ඇතැම් විටෙක හැඳින්වෙයි. 1990 අගෝස්තු 02දා කුවේට් ආක්‍රමණය කළ ඔහු දින දෙකක් එය අල්ලා ගෙන සිටිමින් පර්සියන් ගල්ෆ් කලාපය යුද උණුසුමින් රත් කළේය. ඒ දින දෙක තුළ දහසක් පමණ දෙපාර්ශ්වයෙන්ම මරා දැමෙන්නට ඇති බව සඳහන්ය. මේ නිසා එක්සත් ජාතීන් විසින් ඉරාකයට එරෙහිව පනවන ලද සම්බාධක 2003 හුසෙයින් බලයෙන් පහ වන තුරුත් ඉවත් නොකෙරිණි.

හුසෙයින් ලිබියාවේ ගඩාෆි මෙන් ආර්ථික සංවර්ධනයට විශේෂ තැනක් දී කටයුතු කළ පොදු මහජන සුබ සාධනය සඳහා විශේෂ වැඩ කොටසක් ඉටු කළ පාලකයෙක් නොවේ. එහෙත් අනෙක් අරාබි පාලකයන්ට වඩා ලිබරල් චින්තනයකින් යුතු වූයේය. ඉස්ලාම් නීති විශේෂයෙන්ම සුන්න නීති රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වූයේ නැත. ඊට හේතුව ඔහුගේ දේශපාලන පක්‍ෂය භාත් නම් නව මුස්ලිම් නිකායකට නතු වීමයි.

අරාබි භාත් සමාජවාදී පක්‍ෂය නම් එම පක්ෂය මුලින් අැරඹූණේ සිරියාවේය. එය ඉස්ලාමයේ ෂිට් මූලයෙන් බිඳී ආ අලුත් නිකායකි. එහෙත් පසුව හුසෙයින් සිරියාවෙන්ද බිඳුණේය. ඉරාණ ආක්‍රමණය ඔහු විසින් නොකළ යුතුව තිබුණක් බව බොහෝ දෙනා විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. රටේ ආර්ථිකය පිරිහී ජීවිත විශාල සංඛ්‍යාවක්ද අහිමි වුණත් එයින් දිනා ගත් දෙයක් නැත. කොහොමටත් යුද්ධයක් යනු කිසිදා කිසියකුට ජයක් ලැබිය හැක්කක් නොවේ. හුසෙයින්ට අවශ්‍ය ව තිබුණේ ඉරාණ - ඉරාක දේශ සිමාවේ ඉරාණය පැත්තේ තිබූ තෙල් ක්‍ෂෙත්‍ර කිහිපයක් අල්ලා ගන්නටය.

මේ ඉරාණ විප්ලවය සිදු වූ අලුතය. ඉරාණයේ හමුදා බලය හුසෙයින්ට නිවැරදිව තක්සේරු කරන්නට නොහැකි වු බව පැවසේ. ආක්‍රමණය සාර්ථක නොවූයේ ඉරාණයේ විප්ලවකාරී හමුදාවේ දිවි පිදීමට සූදානම්ව සිටි සෙබළුන්ගේ ප්‍රාණපරිත්‍යාග නිසා බව පසුව අනාවරණය විණි.

කෙසේවෙතත් පසු කලෙක අමෙරිකා එක්සත් ජනපදය ඉරාකයට එරෙහිව නැගී සිටියේය. ඉරාණය ආක්‍රමණය කරමින් ගල්ෆ් කලාපයේ ඇති කළ ආතතිය ඊට හේතු විය. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය 1993 ජුනි 26 දින ඉරාකයේ රහස් ඔත්තු සේවා මූලස්ථානයට මිසයිල් ප්‍රහාරයක් එල්ල කළේය.

ඉරාකය සතුව මහා ජන සංහාරක අවි, ඒ කියන්නේ රසායනික අවි සහ ජීව විද්‍යාත්මක අවිද ඇති බවට චෝදනා කැරිණි. එක්සත් ජාතින්ගේ අංක 1441 දරන යෝජනා සම්මතය මගින් ඉරාකය සතුව ඇති සියලු අවි එක්සත් ජාතින්ගේ නියෝජිතයකුට සහ එහි නියෝජ්‍යායතනයක් වන අන්තර්ජාතික පරමාණුබල ශක්ති ආයතනයේ නියෝජිතයකුට ඉදිරිපත් කරන ලෙස දැන්විණි. චෝදනා ප්‍රතික්‍ෂෙප කළ හුසෙයින් සිය අවි පරීක්‍ෂා කර බලන්නට එම නියෝජිතයන්ට අවස්ථාව ලබා දුන්නේ ය. මහා ජන සංහාරක අවි සොයා නොගන්නා ලද නමුත් එක්සත් ජාතින් විසින් නොඅනුමත වෙනත් අවි එහි තිබූ බව සෙයා ගන්නා ලදි.

ජනාධිපති බුෂ් 2002 වසරෙ සිය වාර්ෂික යුනියන් දේශනයේදී ඉරාකයේ ඇදවැටීම තම අපේක්‍ෂාව බව සඳහන් කළේය. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය සහ එහි බටහිර ඇලිය විසින් 2002 මාර්තු 20 දින ඉරාකය ආක්‍රමණය කරන ලදි. ඉරාක හමුදාවට බටහිර හමුදාවලට මුහුණ දීමේ ශක්තියක් නොවූ අතර ඔවුන් විසින් භාවිතා කරන ලද්දේ ගරිල්ලා උපක්‍රමය. මේ නිසා බැග්ඩෑඩ් පාලනය බිඳ වැටිණි. සද්දම් හුසෙයින් සැඟව පලා ගියේය. පසුව බැග්ඩෑඩ් නගරයෙන් ඔබ අද්-දවුර් නම් ගොවිපොළක බිම් කුටීරයක් තුළ සැඟව සිටියදී 2003 දෙසැම්බර් මස 03 දින ඔහු ගලග්‍රහණයෙන් ගන්නා ලදි.

වෙහෙසකාරී ප්‍රශ්නකිරීම්වලින් පසු චෝදනා ගොනු කරන ලදුව 2004 ජුනි 30 දින නඩු විභාගය අරැඹිණි. දීර්ඝ නඩු විභාගයකින් පසුව 2006 නොවැම්බර් 05 දින වරදකරු බව තිරණය කරන ලදුව එම වසරේ ඉරාක ඉස්ලාම් ලබ්ධිකයන්ගේ ශූද්ධ උත්සවයේ ආරම්භක දිනය වූ දෙසැම්බර් 30 දින ඔහු එල්ලා මරන ලදි. එම සිද්ධිය ලොව පුරා පුවත් නාලිකාවල විකාශය කිරීම විශේෂයකි.

මේ අතර 2003 අප්‍රෙල් මස 09 දින ඔහු තවදුරටත් ඉරාකය පාලනය නොකරන බවට නිවේදනය කැරුණු අතර අන්තර්වාර පාලක මණ්ඩලයකට පාලනය පැවරිණි.

මෙයින් පසු ‘ඉරාකය සහ සිරියාව සඳහා වන ඉස්ලාමීය රාජ්‍යය’ හෙවත් ISIS සංවිධානය අල්-ඛයිඩා සමග එක්ව ඉරාකයේ ත්‍රස්ත ක්‍රියා ඇරඹීම විශේෂ සිද්ධියකි. ISIS සංවිධානය ඉරාක හමුදාවෙන් අවි සහ වාහනද වෙනත් යන්ත්‍රොපකරණද ඉරාක මහ බැංකුවේ මොසුල් ශාඛාව බිඳ ඇඩොලර් මිලියන 500ක් පමණද කොල්ලකා සිය ශක්තිය තහවුරු කැරගත් බව සඳහන්ය. විදේශ හමුදාවල සහායයෙන් ඔවුන් පලවා හරින්නට ඉරාකයට හැකි වූයේ ඉන් වසර 15කට පමණ පසුය.

2003දී ව්‍යවස්ථාව සංශෝධනය කරන ලදුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලදි. ඒ අනුව සිව්වසරකට වරක් මහමැතිවරණය සහ ජනාධිපතිවරණය එකට පවත්වා පාර්ලිමේන්තුවට හෙවත් මහජන නියෝජිත සභාවට නියෝජිතයන් 329ක්ද ජනාධිපතිවරයකු වෙනමද තෝරා ගැනේ. පසුගිය වසරේ මාර්තු මස අවසන් මහමැතිවරණය පැවැත්වුණු අතර මීළඟ මැතිවරණය 2022 පැවැත්වෙනු ඇත. ජනාධිපතිවරයා විධායක බලතල ඇත්තකු නොවන නමුත් අග්‍රමාත්‍යවරයා ලෙස වැඩිම පක්ෂපාතිත්වය ඇති මන්ත්‍රීවරයා අගමැති ලෙස පත් කිරීමේ බලය ඇත්තේ ඔහුටය. නව ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා කුර්ද් ගෝත්‍රිකයකු විය යුතු අතර අගමැතිවරයා ෂියා ලබ්ධිකයකුද කතානායක සුන්නි පාර්ශ්වයේ සාමාජිකයකුද විය යුතුය.

ජන අසහනය දිළිඳු ගම්වල පැන නැගෙන අතර ඒවා කැරලි සහ විරෝධතා ලෙස බැග්ඩෑඩ් හි මෝදු වෙයි. මේ කැරලිවල ප්‍රත්ඵලය වනුයේ නිෂ්පාදනය කඩාකප්පල් වීමයි. මේ අතර කැරලිකරුවෝ රාජ්‍ය ආයතනවලට පහර දෙමින්ද, ඇතැම් ඒවා ගිනිබත් කරමින්ද ප්‍රචණ්ඩත්වයට යොමු වී සිටිති. මේ ආයතනවලට කඩා පනින මුහුණු ආවරණය කැරගත් තුවක්කුකරුවෝ ඒවා වනසති. බැග්ඩෑඩ්හි පිහිටි සෞදි අරාබියට අයත් අල්-අරාබියා රූපවාහිනී නාලිකාවේ කාර්යාලයයට එබඳු කණ්ඩායමකින් ප්‍රහාරයක් එල්ල විය. පූර්ව අනතුරු හැඟවීම් තිබුණු නිසා සේවකයන්ගේ දිවි ගැලවී ඇති නමුත් විකාශය පවත්වාගෙන යා නොහැකි මට්ටමට එහි යන්ත්‍රෝපකරණ වනසා ඇතැයි වාර්තාවේ. තුවාලකරුවන්ද නැත්තේම නොවේ. තවද එම නගරයේම පිහිටි පෞද්ගලික සමාගම් සතු මාධ්‍ය ආයතන දෙකකටද කැරලිකරුවන් විසින් අලාභහානි සිදුකොට ඇති බව වාර්තා වේ.

ප්‍රචණ්ඩ ක්‍රියා වහා නවත්වා දැමිය යුතු බව එරට සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රජයට දන්වා ඇති අතර අනෙක් පාර්ශ්වයෙන්ද ඉල්ලීමක් කොට ඇත. එසේම ප්‍රචණ්ඩත්වය පවත්වා ගෙන යන අයට සහ ඊට සම්බන්දිත අයට තරාතිරම නොබලා ක්‍රියාත්මක විය යුතු බවට ඇය යෝජනා කරන්නීය.

පසුගිය ඉරිදා එරට කතානායක මොහමඩ් අල්-හබඋසි විරොධතා කණ්ඩායම් නියෝජිතයන් හමු වී තිබිණි. මේ වනවිට ඉරාකයේ පවතින දූෂණය, වංචාව සහ විරැකියාවට තිත තබන්නට රජය කටයුතු යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ. අල්-හබඋසි මේ සියල්ලට එකඟ බව ඔවුන්ට පවසා ඇති අතර විරෝධතා අවසන් කරන්නට එයින් හැකි වී නැත. අල්-ජසීරා මාධ්‍යවේදී ඉම්රාන් ඛාන් ඉදිරිපත් කොට ඇති වාර්තාවක 2022 මහමැතිවරණයට ඔහු දැනටම සූදානම් වන බව ඔහුගේ පොරොන්දුවලින් වටහා ගත හැකි බව දැක්වේ.

අප්‍රෙල් මස අවසන් වූ ලිබියාවේ මෙන් ම තවමත් පවතින හොංකො විරෝධතාවලටද පැරිසියේ කහ උඩුකබා විරෝධතාවලටද මෙම විරෝධතාවලටද කිසියම් පුද්ගලයකු හෝ සංවිධානය වූ කණ්ඩායමක් විසින් නායකත්වය නොදීම විශේෂත්වයකි.

අග්‍රාමාත්‍ය මෙහ්දි පසුගිය සිකුරාදා රූපවාහිනී චැනලයකින් ජාතිය අමතමින් ප්‍රකාශ කළේ විරෝධතා ඇරඹෙන්නටත් පෙර සිට ඔවුන්ගේ දුක්ගැනවිලි ගැන රජයේ අවධානය යොමුව තිබු බවයි. දිළිඳු පවුල්වලට කිසියම් ආකාරයක ඩෝලයක් දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන්නට නීති සම්මත කරන්නට බලාපොරොත්තු වන බව පැවසූ අගමැතිවරයා ඒවා ක්‍රියාත්මක වන්නට තරමක කාලයක් ගතවිය හැකි බැවින් ඉවසිල්ලෙන්, පටි තද කැර ගෙන සිටිනු ඇතැයි ජනතාවගෙන් අපේක්ෂා කරන බව පැවසීය. දූෂණය පිටු දැකීමටත් රජයේ කාර්යාල කාර්යක්ෂම කරන්නටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව පෙන්වා දුන් ඔහු පැවසූයේ පරිපූර්ණ විසඳුමකට එන්නට මැජික් බලයකින් නොහැකි බවයි.

 

මාතෘකා